පුරුෂ වඳභාවය දුරු කරන මී ඇට

මාර්තු 22, 2024

මී ගස යනු අපේ රටේ තිබෙන අතිශයින්ම වටිනා ඖෂධීය ශාකයකි. ඔෂධීය ගුණයෙන් මෙන්ම කෘෂිකර්මය පැත්තෙන් ද මී මල්වල තිබෙන පල ප්‍රයෝජනය අති විශාලය. වර්තමානයේ වැඩි දෙනකුගේ අවධානයට යොමු නොවුණත් මී ගසේ සහ මී මල්වල වටිනාකම අපේ පැරැන්නෝ ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටියහ. ඔවුහු මී ඇට, මල්වලින් තෙල් ලබා ගත්හ. මී ඇට ද ඉතා අගනා ඖෂධයක් ලෙස භාවිත කිරීමට පුරුදුව සිටියහ. ශරීරය සිසිල් වීමට, උෂ්ණ රෝග සුවවීමට නොමේරූ මී ගෙඩි රසවත් ව්‍යංජනයක් ලෙස සකසා ආහාරයට ගත්හ. මී මල් උපයෝගි කරගෙන සකස් කරන ලද හැලප හා රොටී වැනි ආහාර මඟින් අම්ලපිත්ත රෝගය හෙවත් ගැස්ට්‍රයිටීස් රෝගය සුවපත්වන බවද පැවසේ. මී මල් සහ මී ඇට මඟින් ලබා ගන්නා තෙල් වාත වේදනා, තුනටිය වේදනා, හන්දිපත් කැක්කුම, පිට කොන්ද කැක්කුම වැනි වේදනා දුරු කරන ඖෂධීය ගුණ ඇති ප්‍රතිකාරයක් ලෙස අපේ පැරැන්නන් භාවිත කළ බව කියැවේ. එය මහා ඖෂධීය ගුණ ඇති තෙල් වර්ගයක් ලෙස සඳහන් වේ. ඒ වගේම පුරුෂ වඳභාවය දුරු කිරීමට ඖෂධීය ආහාරයක් ලෙස මී මල් යොදා සකස් කරන ලද ආහාර ගත් බවද ජනවහරේ ඇත. මී මල්, මී ඇට යොදා සිඳින ලද තෙල් මඟින් සාදන ලද ආහාර ශරීරය කෙට්ටු ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම ඉතා ගුණදායක වේ. නීරෝගි සම්පන්න ජීවිතයකට ඉඳහිට හෝ මී ඇට මී මල් යොදා සාදන ලද තෙල්වලින් ආහාර සකස් කර අනුභව කිරීම ඉතා යහපත්ය. ලිංගික අප්‍රාණික පුරුෂයන්ට මී ඇට, මී මල් මඟින් සිඳින ලද තෙල් ආලේප කිරීමද ගුණදායක බව පැරැණි පොත පතේ සඳහන් වේ. ආර්ථව අවස්ථාවලදී අධික වේදනා විඳින ස්ත්‍රීන්ට හා නින්ද නොයන අයට මී මල් ඉස්ම ගෙන පානය කිරීම ඉතා ගුණදායකය වේ. බඩ පුරවා දැමීම, බඩේ අමාරුව, කෑම අරුචිය, අතීසාරය වැනි රෝග සඳහා ද මී මල් පිරිසුදුව ගෙන කොටා ලබා ගන්නා ඉස්ම තේ හැන්දක් පිරිසුදු මී පැණි සමඟ පානය කිරීමෙන් වාත රෝග සුවවෙයි. මුත්‍රා දැවිල්ල, මුත්‍රා අඩස්සිය මෙන්ම මුත්‍රා කිරීමට ඇතිවන අපහසුවටද මී මල් යුෂ ඉතා අගනේ ය. මී ඇට මඟින් නිපදවන ලද තෙල් භාවිත කිරීමෙන් කල් ගත වූ හන්දිපත් වේදනා හා වාත වේදනා වැනි රෝග පීඩාද සුවකරගත හැකිය. මී ගස යනු ඖෂධීය ගුණ රැසක්ම ඇති ආගනා වටිනා රැක ගතයුතු ශාකයකි.

පාරම්පරික යන්ත්‍රමන්ත්‍රවේදී, දේශමාන්‍ය, දේශ බන්දු

එච්. විජිත කුමාර සිංදුරගේ

 



subasetha

Comments