මිනිසාගේ සිරුර වටා ඇතැයි සැළකෙන ජෛව ප්‍රභාව

නොවැම්බර් 27, 2020

තද රතුපාට ආදරය හඟවයි. ගිනි රතුපාට සංවේදී බව හඟවයි. කළුපාට වෛරය හා පිළිකුල හඟවයි. මෙකී වර්ණ අනුව පුද්ගලයාගේ මානසික ස්වභාවය තීරණය කළ යුතුය. මහා යෝගී ලොබ්සාං රම්පා විස්තර කර ඇති පරිදි ටිබෙට් ලාමාවරු මෙම විෂයෙහි ප්‍රවීණත්වය ලැබ සිටියි.

මිනිසාගේ සිරුර වටා ඇතැයි සැලකෙන සියුම් රශ්මිමාලාව ජෛව ප්‍රභාව නම් වේ. භාවනා කිරීම හා වෙනත් උපක්‍රම මඟින් පෙනීම තියුණුකරගත් අයට ජෛව ප්‍රභාව ඇසින් දැකිය හැකිය. ජෛව ප්‍රභාව ආකාර කීපයකින් පවතින බව තාන්ත්‍රික යෝග විද්‍යාවෙහි ඉගැන්වේ.

අභ්‍යන්තර ප්‍රභාව

මෙය සිරුර අභ්‍යන්තරයේ ඇති දිලිසීමයි. සිරුර තුළට සිත යොමුකර අඳුරේ සිට භාවනා කරන විට මේ ප්‍රභාව ක්‍රමානුකූලව වැඩිදියුණු වේ. අනතුරුව ජෛව ප්‍රභාව තමාටම පෙනෙන තත්ත්වයට පත් වේ.

බාහිර ප්‍රභාව

මෙය සිරුරෙන් පිටතට විහිදෙන දිලිසීමකි. සිරුර වටා අඟල් කිහිපයක් දුරට පැතිරෙයි. සිත දුර්වල අයගේ ජෛව ප්‍රභාව මිලිනව පවතින අතර, භාවනාවෙන් සිත දියුණු කළ අයට පැතිරුණ දීප්තිමත් ජෛව ප්‍රභාවක් ඇත.

අධි මානසික හැකියා ඇත්තෙකු ලෙස සැලකෙන එඩ්කාර් කේසිගේ ඉගැන්වීම්වල ජෛව ප්‍රභාව ගැන විශේෂ විස්තර සටහන්ව ඇත. වරක් එඩ්ගාරි කේසි තට්ටු ගොඩනැඟිල්ලක් නැඟීමට ගිය අතර, ඔහු එහි විදුලි සෝපානය තුළට නැගීමට අකමැත්තක් දැක්වූයේ ය. විදුලි සෝපානය කේසිව බිම තබා ඉහළට ඇදී ගියේය. විදුලි සෝපානය වෙත ඇතුළු නොවූයේ මන්දැයි රැස්ව සිටි අය කේසිගෙන් විචාලන විට කේසි දුන් පිළිතුර පුදුම දනවන්නකි. සෝපානය තුළ සිටි අයගේ ජෛව ප්‍රභාව අතුරුදන්ව තිබූ බැවින් තමා ඒ ගමන නොගිය බව කේසි පිළිවදන් දුන්නේ ය. රැස්ව සිටියවුන් තව තවත් විශ්මයට පත් කරමින් විදුලි සෝපානය මග හිරවී ගිනි ගත්තේ ය. ජෛව ප්‍රභාව අතුරුදන්ව තිබූ අය සෝපානය තුළදීම අවසන් ගමන් ගියහ.

දෙවියන් සතුව ප්‍රකටව පෙනෙන ජෛව ප්‍රභාවක් ඇති බවත් ඔවුන් ඔවුන්ගේ මරණය ළං වූ විට ජෛව ප්‍රභාව අතුරුදන් වන බවත් පූර්ව නිමිත්ත සූත්‍රයේ දැක්වෙයි.

ජෛව ප්‍රභාව දැකිය හැකිද?

 

තාන්ත්‍රික යෝගීහු ජෛව ප්‍රභාව ඇසුරෙන් විවිධ ප්‍රයෝජන ගනිති. මිනිසුන්ගේ සිත් කියවීමට ද ඔවුන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය මැනීමට ද ලෙඩරෝග හඳුනාගැනීමට ද ජෛව ප්‍රභාව උපයෝගී කරගත හැකිය. සාමාන්‍යයෙන් සිත දියුණු නොකළ කෙනෙකුට වෙනත් අයෙකුගේ ජෛව ප්‍රභාව නොපෙනේ. එනමුත් විශේෂ උපක්‍රම ඇසුරෙන් ද සිත සමාධිගත කිරීමෙන් ද මෙය දැක බලා ගත හැකිය. පහත සඳහන් උපක්‍රම ඒ සඳහා යොදා ගත හැකිය.

තමාගේ නළල මැද දෙබැම අතරම සිත එකඟ කිරීමට හුරු වූ කළ ක්‍රමක් ක්‍රමයෙන් අනුන්ගේ ජෛව ප්‍රභාවට සංවේදී වීමට ඇරඹේ.

නිබ්බත යෝගීහු මේ සඳහා නළල සිදුරුකොට විශේෂ ඖෂධ සංයෝග ඇතුළු කරති. මෙයින් දෙබැම යටින් ඇති තෙවැනි ඇස නම් ව්‍යුහය උද්දීපනය වී ජෛව ප්‍රභාව දැකීමේ බලය ලැබේ.

Dicyanin තම රසායන වර්ගය ආලේප කර විනිවිද පෙනෙන තිරයක් හරහා බැලීමෙන් ජෛව ප්‍රභාව පෙනෙන්නට පටන් ගනී.

සරල මානසික ආභාෂයන් ඇසුරෙන් ජෛව ප්‍රභාව පෙනෙන තත්ත්වයට මනස පත්කරගත හැකි ය. එවැනි අභ්‍යාසයක් පහත දැක්වේ.

ජෛව ප්‍රභාව දැකීමේ ආභාෂය

මේ සඳහා කළුවර කාමරයක් තෝරාගත යුතුය. එතුළට තනි දොරකින් හෝ ජනේලයකින් ආලෝකය වැටීමට සැලැස්විය යුතුය. අනතුරුව කිසියම් පුද්ගලයකුට උඩුකයට ඇඳුමක් නොමැතිව කාමරයේ අනිත් කොණේ බිත්තිය අසල සිටීමට උපදෙස් දිය යුතුය. මිනිසා බිත්තියට ආසන්නව සිටිය යුතුය. මිනිසාගේ පිටුපසින් කළු තිරයක් ඇඳ තිබිය යුතුය. දැන් ඔහුට දෑත් ඉණ දෙපස තබා ගැනීමට උපදෙස් දීම අවශ්‍යය. දැන් දොර ක්‍රමානුකූලව අඩවන්කර පෙනෙන නොපෙනෙන මට්ටමට අඳුරු කළ යුතුය.

දැන් මිනිසාගේ දෑත් හා පපුව අතර ප්‍රදේශය හොඳින් නිරීක්ෂණය කරන්න. ජෛව ප්‍රභාව ළා පැහැයෙන් පෙනෙනු ඇත. මේ දර්ශනයට හොඳින් ඇස හුරු කරගත් පසු ක්‍රමානුකූලව හිස වටා ඇති ජෛව ප්‍රභාව පෙනෙන්නට ගනී. ඉන් අනතුරුව මුළු සිරුර වටාම ඇති ජෛව ප්‍රභාව පෙනීමට පටන්ගනියි. මේ ඉතා ඉවසීමෙන් කළ යුතුය. මේ සඳහා අවම වශයෙන් තිදෙනෙකුගේ සහාය අවශ්‍ය වේ. කාමරයට ලැබෙන ආලෝකය පාලනය කිරීමට, ජෛව ප්‍රභාව දෙස බලා සිටීම, දෙඅත් ඉණට තබා තිරය අසල සිටීමට යන කාර්යයන්ට පුද්ගලයන් තිදෙනෙකු අවශ්‍ය වේ.

ජෛව ප්‍රභාවෙන් සිත් කියවන හැටි

මිනිසාගේ සිතුම් පැතුම්, ආවේග අසනීප තත්ත්ව නිසා ජෛව ප්‍රභාවේ ප්‍රබලතාවය සහ වර්ණය විටින් විට වෙනස් වේ. සමහර පුද්ගලයන් සතු විවිධ ගුණාංගයන් නිසා ඔවුන්ගේ ජෛව ප්‍රභාව සහජයෙන්ම වෙනස් වර්ණ ගැනේ. තිබ්බතයේ හා ඉන්දියාවේ මෙම ජෛව ප්‍රභාව කියවීමේ ශාස්ත්‍රය බහුල වශයෙන් භාවිතා වේ. මේවා ප්‍රභාව කියවන පුද්ගලයා පෙරකී ක්‍රම ක්‍රමයකට ජෛව ප්‍රභාව දැකීමේ හැකියාව ලබාගත යුතුය. ඉන් අනතුරුව පහත දක්වා ඇති පරිදි අදාළ පුද්ගලයාගේ මානසික තත්ත්වය ජෛව ප්‍රභාව පරීක්ෂණයෙන් තීරණය කළ යුතුය. ජෛව ප්‍රභාවේ වර්ණය නිලට හුරු ළා අළු පැහැයෙන් යුක්ත වී නම් ඉන් අදහස්වනුයේ අදාළ පුද්ගලයා බියට පත්වී ඇති බවයි. තද අළු පාටක් පෙන්වන්නේ නම් ඉන් තදබල මානසික පීඩාව හැඟවෙයි. දුඹුරු පාටට හුරු කොළ පාටින් හැඟවෙනුයේ ඊර්ෂ්‍යාවයි. අළුපාටට හුරු කොළ පාටට කපටිකම හැඟවෙයි. නිල් කොළ පැහැයෙන් අනුකම්පා සහගත පුද්ගලයෙක් පෙන්නුම් කරයි. දුඹුරු පාටට හුරු නිල් පාට ආත්මාර්ථකාමීත්වය හඟවයි. දුඹුරුපාට තෘෂ්ණාව හඟවයි. රතු, දුඹුරු පාට කාමුක බව හඟවයි.

තද රතුපාට ආදරය හඟවයි. ගිනි රතුපාට සංවේදී බව හඟවයි. කළුපාට වෛරය හා පිළිකුල හඟවයි. මෙකී වර්ණ අනුව පුද්ගලයාගේ මානසික ස්වභාවය තීරණය කළ යුතුය. මහා යෝගී ලොබ්සාං රම්පා විස්තර කර ඇති පරිදි ටිබෙට් ලාමාවරු මෙම විෂයෙහි ප්‍රවීණත්වය ලැබ සිටියි. ඔවුන්ට ජෛව ප්‍රභාව අනුව සිත් කියවීමට පමණක් නොව ඒ අනුව රෝග සොයා ගැනීමටද රෝගී පුද්ගලයෙකු තවදුරටත් ජීවත් කරවිය හැකිද නැද්ද යන්න තීරණය කිරීමට ද හැකිය. රෝගී වූ අවයව වටා ඇති ජෛව ප්‍රභාව මිලින වේ. නැතහොත් තුනීවේ. පිළිකා වැනි බරපතළ රෝගී තත්ත්වයන් ඇති පෙදෙස්වල ජෛව ප්‍රභාව අතුරුදන් වේ. මෘත ශරීරවල ජෛව ප්‍රභාව නැත. මරණාසන්න වෙද්දී මෙය ක්‍රමයෙන් තුනී වී යයි. අසාධ්‍ය රෝගීන්ගේ හිස වටා ඇති ප්‍රභාව අතුරුදන්වෙයි. මේ ආකාර රෝග විනිශ්චය ක්‍රම චීනයේ හා ඉන්දියාවේ දැන් දැන් ජනපි‍්‍රයවෙමින් පවතී. චීන සුවකිරීමේ ක්‍රමයට Chi Healing යැයි කියති. ඉන්දියානු ක්‍රමය Pranic Healing නම් වේ. මෙම ක්‍රමවලදී ජෛව ප්‍රභාව මගින් ලෙඩ රෝග හඳුනාගැනීම මෙන්ම ජෛව ශක්ති ප්‍රදානය කිරීමෙන් සුවය ලබාදීම සිදු කෙරෙයි. ජෛව ප්‍රභාව (Body Aura) තුළින් මිනිස් සිරුර විනිවිද දුටු පෙර සෘෂිවරු රෝගාබාධ මෙන්ම ප්‍රතිකාර විධිද සොයාගත්හ.



subasetha

Comments