පීනස් රෝගය

මාර්තු 15, 2024

පීනස් රෝගය

වර්තමාන සමාජයේ බහුල ලෙස ව්‍යාප්ත වන රෝග අතර, පීනස් රෝගයට ද හිමිවන්නේ විශේෂත්වයකි. වර්තමානයේ අතිධාවනකාරි මෙන්ම තරගකාරි ජීවන රටාව හේතුවෙන් පීනස, ඇදුම ආදී සෙම් රෝගවලට බහුල වශයෙන්ම ගොදුරු වන පාසල් සිසු සිසුවියන්ද බොහෝය. එබැවින් වර්තමානයේ අතීතයට වඩා පීනස් රෝගයෙන් බොහෝ දෙනා පීඩා විඳිති.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව පීනස් රෝගය නාසගත හෙවත් නාසය ඇසුරු කරන්නාවූ රෝග තිස් එකෙන් ප්‍රධාන රෝගය වේ. කිසිදු වයස් භේදයකින් තොරව බාල, තරුණ වැඩිහිටි යන ඕනෑම වයසකදී ඇතිවිය හැකිය. පීනස දවසේ ඕනෑම වේලාවකදී රෝග ලක්ෂණ පහළ වන අතර කාලගුණයේ වෙනස්වීම්, පරිසර ආර්ද්‍රතාව (ජල වාෂ්ප) සහ දූවිලි සහිත පරිසරය රෝගියාගේ රෝග ලක්ෂණ වැඩි කිරීමට සමත් වෙයි.

පීනස යනු කුමක්ද?

පීනසංසත්‍ය ඉති යනුවෙන් ආයුර්වේදයේ දක්වන්නේ පීනස් රෝගය පීනසෙන් හෙවත් ස්ථූලයන් නසාලන බවයි. පීනස් රෝගය හැඳින්වීම සඳහා වෛද්‍යවරු නම් කීපයක්ම භාවිත කරයි. අපීනස, දුෂ්ට, ප්‍රතිශ්‍යාව, ප්‍රතිශ්‍යාව, ජීර්ණ නසා කලා ශොථ කාසිකාමය යන නම්ය.

පීනස ඇතිවන ස්ථාන

පීනස් රෝගය ඇසුරු කරන්නේ නාසයයි. රෝගයේදී උගුර, කන,නාසය, උදරය, මුහුණ, දිව හිස යන සෑම ස්ථානයකින්ම රෝග ලක්ෂණ පහළ වේ.

පීනස ඇති වීමට හේතු

අතීතයට වඩා වර්තමානයේ පීනස් රෝගය බොහෝ සේ ව්‍යාප්ත වී ඇත. රෝගය ඇතිවීමට මූලික හේතු දෙකකි. ඒ ඍජු හේතු හා වක්‍ර හේතුන්ය. ඍජු හේතු දෛනික ජීවිතයේදී පීනස් රෝගය ඇති වීම සඳහා බලපාන ප්‍රධාන හේතුන් අතර නාස්පුඩු තුළට දුම් දූවිලි පිවිසීම ඍතු විපර්යාසය, නිතර අධික ලෙස ශීත ජලය ස්නානය කිරීම, අධික ලෙස සිසිල් ජලය පානය කිරීම, අධික තෙතමනයට හා පින්නට හසුවීම නිතර වායුසමනය කළ ස්ථානවල සිටීම, කෘෂිරසායනද්‍රව්‍ය භාවිත කිරීම, වෛද්‍ය උපදෙස් නොතකා බෙහෙත් වර්ග භාවිත කිරීම, යම් යම් ආලේපන වර්ග හිසේ ආලේප කිරීම, දීර්ඝ කාලයක් සෙම් ප්‍රතිශ්‍යාව පැවතීම, වැටීම හා තැළීම් මඟින් හිස තුවාල වීම්, නිරන්තරයෙන්ම දුම්පානය කිරීම ද වේ.

වක්‍ර හේතු

මලමුත්‍ර වේග බොහෝ වේලාවක් දරාගෙන සිටීම කඳුළු වේගයන් දැරීම, අධික මෙවුන්දම් සේවනය, අධිකව හැඬීම , අධික ලෙස කතා කිරීම

පීනස් රෝග ලක්ෂණ

නිරන්තරයෙන්ම අධිකව කිවිසුම් යාම පීනස් රෝගීන්ට උදෑසන කාලයේ කිවිසුම් යෑම, නින්දෙන් අවධිවූ විට කිවිසුම් යෑම දිගටම දහවල් කාලය වන විටත් කිවිසුම් යාම දුම්, දූවිලි මකුලුදැල් කැඩීම, ආදිය කළ විටත් කිවිසුම් යාම, සොටුදියර ගැලීම, කිවිසුම් යාම ආරම්භවීමත් සමගම නාසයෙන් ජලය මෙන් හෝ ඝන කහ පැහැයෙන් සොටු දියර ගැලීම නොනැවතී ජලය මෙන් සොටු දියර ගැලීම.

ගඳ සුවඳ නොදැනීම

පීනස් රෝගයෙන් පීඩා විඳින රෝගීන්ට ගඳ සුවඳ නොදැනේ. මෙසේ වන්නේ දීර්ඝ කාලයක් රෝගය තිබීමෙන් ගඳ සුවඳ සඳහා සංවේදී ස්නායු අක්‍රියවීම හේතුවෙනි. එමෙන්ම ආහාරවල රස දැනීමද අඩුවේ. හිසේ බර ගතියක් නිතර නිතර දැනේ. නළල ප්‍රදේශයේ කැක්කුම, ඇස් යට කැක්කුම , ඇස් කැසීම, උදේ සහ රාත්‍රී උගුර කැසීම ද උග්‍ර සෙම් අවස්ථාවලදී දැකිය හැකිය.

විදුරුමස්වලින් ලේ ගැලීම

පීනස් රෝගයෙන් දීර්ඝ කාලයක් පීඩා විඳීමේදී විදුරුමස්වලින් ලේ ගැලීම සිදුවන අතර, දත් සෙලවීම, දත්මුල් දියවීම සහ මුඛයේ දුර්ගන්ධයක්ද පවතී.

නාසයෙන් මස්දලු හට ගැනීම

කාලයක් පුරා පීනස් රෝගය තිබීමෙන් නාසයෙන් මස්දලු හට ගැනීම සිදු වෙයි. නාස් කුහරයේ එක් පැත්තක හෝ දෙපැත්තම හෝ වර්ධනය වන්නා වූ ආගන්තුක අංකුර හේතුවෙන් හුස්ම ගැනීම අපහසුවීම නාස්කුහරය හිරවීම හා දැවිල්ල ඇතිවේ. කටහඬ වෙනස්වීමක්ද ඇති වේ. උගුරේ බැරැන්ඩිගතිය කතා කිරීමේදී සෙම් පටලැවෙන ගතියක්ද ඇතිවේ. ඇස් පෙනීමේ දුර්වලතාවක්ද ඇතිවේ. ඇස්වල වේදනාවක් කඳුළු ගැලීම සහ අපැහැදිලි තත්ත්වයක්ද ඇතිවේ.

නාසයෙන් ලේ ගැලීම

පීනස් රෝගයේ ඇතැම් ප්‍රභේදවලින් නාසයෙන් ලේ ගැලීමක් සිදු වේ. නාසයෙන් ලේ ගැලීම වෙනත් රෝග නිසාද සිදුවන බැවින් එවැනි අවස්ථාවලදී වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.

 

පීනස් රෝග ප්‍රභේද

 

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව පීනස් රෝග ප්‍රභේද පහකි. නමුත් දේශීය වෛද්‍ය ක්‍රමය අනුව ප්‍රභේද ගණන දහ අටකි. ආයුර්වේදයට අනුව වාතජ පීනස, පිත්තජ පීනස, කඵජ පීනස, සන්නි පාතජ පීනස හා රත්තජ පීනස වන අතර දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රමය අනුව ග්‍රහණ පීනස, ළය පීනස, මොළගන්ධ පීනස, කණ්ඩමාල පීනස, ශ්ලේෂ්මා ජ්වර පීනස, පිත් පීනස, සෙම් පීනස, පණු පීනස, සොටු පීනස, නාග පීනස, ගල්පීනස, සුලංකණ්ඩ පීනස, සන්නිපාත පීනස, කරුප්පුංවත්තිල් පීනස, පාණ්ඩු පීනස, ආමන පීනස, තිත්තර පීනස හා අර්බුද පීනසයි.

පීනස් රෝග සුවකිරීම සඳහා පහසු ප්‍රතිකාර විධි දේශීය මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය සතුව පවතී. වෛද්‍ය උපදෙස් නිසි අයුරින් පිළිපදින්නේ නම් පීනස් රෝග සුවයද නිසි ලෙස ලබා ගත හැකිය.

පිළිපැදිය යුතු කරුණු

පීනස් රෝගියෙකුට දෙනු ලබන ප්‍රතිකාර උපදෙස් පරිදි දිනපතාම ගත යුතුය. එමෙන්ම දියනෑම, තැඹිලි, සව්, බාර්ලි, පැණිදොඩම්, මිදි වැනි ශීත කෑම වර්ග කොළ කැඳ ආදිය නිතර ගැනීමට රෝගියා යොමුකිරීම හා මස් මාංසවලින් වැළකී සිටීමද ප්‍රතිකාර ගන්නා කාලසීමාවේදී කළ යුතුය.

බත්තරමුල්ල පැළවත්ත

රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

 



subasetha

Comments