පැරැණි බෙහෙත් වට්ටෝරු

මාර්තු 1, 2024

 

තදබල හිසරදයට

අරූද කොළ, ඔලිඳ කොළ, දෙහි ඇඹුලෙන් අඹරා නළල වටේ ගාන්න.

 

පීනසට

අරළු, සිරිතේක්කු, සිවිය මුල් කළං තුන බැගින් ගෙන වතුර පත අට එකට සිඳ පෙරා සීනි මී පැණි දමා උදේ සවස බොන්න.

 

තුනටියේ වේදනාවට

නිකමුල්, තෙල් එඬරු මුල්, කටු කරඬු මුල්, අරත්ත අල, බැබිල මුල්, සුදුලූනු, කළං දෙක බැගින් ගෙන වතුර පත අට එකට සිඳ පෙරා උදේට එඬරුතෙල් සවට සහිඳ ලුණු දමා බොන්න.

 

අර්ශස්වලට

කරඳ මුල්, සාරණ මුල් කළං හය බැගින් ගෙන වතුර පත අට එකට සිඳ පෙරා උදේට එඬරු තෙල් සවසට සහිඳ ලුණු දමා බොන්න.

 

දියවැඩියාවට

අරළු, බුළු, නෙල්ලි, රසකිඳ, වෙනිවැල් ගැට, කොතල හිඹුටු, කලං දෙක බැගින් ගෙන වතුර පත අට එකට සිඳ පෙරා උදේ සවස බොන්න.

 

අම්ලපිත්ත රෝගයට

විෂ්ණු ක්‍රාන්තිය, සහමුලින් ගෙන පවනේ වියළා කුඩුකර කෝපි මෙන් උණුවතුරට දමා පානය කරන්න.

 

දණහිස් වේදනාවට

සාරණ මුල්, දැත්ත අල, කටු කරඬු මුල්, තෙල් එඬරු මුල්, පාවට්ටා මුල්, නිකමුල් කළං දෙක බැගින් ගෙන වතුර පත අට එකට සිඳ පෙරා සීනි මී පැණි දමා බොන්න.

 

මල බද්ධයට බඩ පුරවා දැමීමට

වියළි ඉඟුරු, තිප්පිලි, තිප්පිලි මුල් කළං හතර බැගින් ගෙන වතුර අට එකට සිඳ පෙරා උදේට එඬරු තෙල් සවසට සහිඳ ලුණු දමා බොන්න.

 

අධික රුධිර පීඩනයට

බැබිල මුල්, සුදු ලූනු තම්බා උදේ සවස පානය කරන්න.

 

තදබල හිසරදයට

නිල් අවරිය කොළ කී කිරිඳිය කොළ දිය හබරල කොළ සමව ගෙන කොටා යුෂගෙන තලතෙල් සමඟ මිශ්‍ර කර අව්වේ කකාරා හිසට දමන්න.

 

මූත්‍රා දැවිල්ලට

කරල් සැබෝ සහමුල නෙල්ලි, රසකිඳ, වෙනිවැල් ගැට කළං තුන බැගින් ගෙන වතුර පත අට එකට සිඳ පෙරා එළඟිතෙල් මී පැණි දමා බොන්න.

 

 



subasetha

Comments