අපේ හැම ගෙදරකම පුංචි ෆාමසි එකක් තියෙනවා. ඒක තමයි ප්‍රථමාධාර පෙට්ටිය. ඒත් එහි තිබෙන්නේ බටහිර බෙහෙත් වර්ගයි. දැන් බොහෝ දෙනෙක් දේශීය ප්‍රතිකාර කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන බව පෙනෙන්න තිබෙනවා.
ඉතින් නරකද මෙවන් යුගයක ගෙදර ප්‍රථමාධාර පෙට්ටියේ දේශීය බෙහෙත්වලටත් ඉඩකඩ වෙන්කරන එක. හෙම්බිරිස්සාවකදී කැස්සකදී බඩේ අජීර්ණයට, වමනයට, උණකදී භාවිතයට ගතහැකි කෂාය ගුලි, කල්ක වගේ දේවල් ඔබේ ගෙදර ඖෂධ පෙට්ටියේ පහසුවෙන් තියාගන්නට පුළුවන්. හැබැයි අද කාලයේ අලුත් පරම්පරාවේ ගෘහිණියන්ට මේ ගැන හුඟක් ප්‍රශ්න තියෙනවා. කෂාය තුණ්ඩුවේ උපදෙස් අනුව සමහර බෙහෙත් හේත් අඳුරන්නේ නැහැ. පත අට එකට සිඳ කෂාය සූදානම් කරගන්න දන්නෙ නැහැ. අද බොහෝ අය හිතන්නෙ කල්ක කල් තියාගන්න බැහැ කියල. නීරෝගිකම අගය කරන පවුලක අම්ම කෙනෙක් නම් මේ ගැන දැනුම ලබාගන්න කාලෙ ඇවිත්.
පළමුව ඔබේ ප්‍රථමාධාර පෙට්ටියේ තිබිය යුතු අත් බෙහෙත් වර්ග මොනවාදැයි හඳුනා ගනිමු.
සීතාරාම ගුලි, නවරත්න කල්කය, සංඛවටී, වර්තිකා, භාෂ්කර ලවණ චූර්ණය, සුරංවිදුර (පතසමය) ගුලි මේ සෑම දෙයක්ම ගෙදරකට තිබිය යුතු අත් බෙහෙත් වර්ග වනවා.
මේ සෑම ඖෂධයක්ම අවුරුදු දෙකක කාලයක් කල් තබා ගැනීමට පුළුවන් නිසා හුළං නොවදින ලෙස ප්ලාස්ටික් භාජනවල අසුරා තබා ගත හැකියි. ඒ වගේම සර්ෂපාදී තෙල කැඩුම් බිඳුම්, වැටීම්, තැළීම්, උලුක්කු ඇති අයට සුදුසු තෙලකි.
සීතාරාම ගුලි
බඩේ අමාරු ඇති අයට ගුලි 2ක් දෙහි යුෂ සමඟ දවසට දෙවරක් බොන්න දෙන්න. කුඩා දරුවකුට නම් ගුලි 1 ක් ගන්න.
නවරත්න කල්කය
බඩේ අමාරුවට මදටිය ඇට දෙකක ප්‍රමාණයක් ගෙන දෙහි යුෂ සමඟ බොන්න. කාන්තාවන්ගේ ඔසප් වේදනාවට කොල්ලු තම්බපු වතුර අඬුකෝප්ප භාගයකට මදටිය ඇට දෙකක ප්‍රමාණයක් දමා බොන්න.
වර්තිකා
වර්තිකා හිසරදයට ඉතා හොඳයි. වර්තිකා ගුලි දෙකක් උදේ සවස ඉඟුරු යුෂ සමඟ බීමට ගන්න.
භාෂ්කර ලවණ චූර්ණය
බඩපිපුම (ආම්ලෝද්ගාරය) බඩේ අම්ල ගතිය උඩට එනවා නම් සෝඩා අඬු කෝප්පයකට
භාෂ්කර ලවණ චූර්ණය මේස හැඳි 1ක් දමා බීමට ගන්න.
සංඛවටී
උණ, හිසරදය, හැදුණු අය සඳහා වෙනිවැල්ගැට තම්බපු වතුරෙන් බීමට දෙන්න.
වෛද්‍යවරයකු යම් රෝගයක් සඳහා ලබාදෙන ප්‍රතිකාර පද්ධතියේ පත අට එකට සිඳ ගන්නා ලෙස නියම කරන ලද වට්ටෝරුව කෂාය ලෙස අපි හඳුන්වන ලබන අතර එම කෂාය සඳහා ද්‍රව්‍ය එකේ සිට ඕනෑම ප්‍රමාණයක් තිබිය හැකිය. කෙසේ වුවත් එම ද්‍රව්‍ය ගණන අනුව ලබාගත යුතු කලං හා මංචාඩි ප්‍රමාණය වෛද්‍යවරයා විසින් නියම කරනු ලබයි. එහෙත් කෂාය නිසි පරිදි සකස්කර ගැනීමට අද පරපුරේ බොහෝ දෙනකු දැනුම්වත් නැත. වැඩිහිටියකුගේ කෂායකට වතුර පත අටක් දමා එකට සිඳගන්නා ලෙස දක්වා ඇති අතර ළමා රෝගියකුට නම් වතුර පත හතර භාගයකට සිඳ ගැනීම සාමාන්‍ය නීතියකි.
එහෙත් එක් එක් කෂාය අනුව එය වෙනස් විය හැකිය. අපි තේ බොන අඬු කෝප්පයෙන් එකක් පතකි. අඬු කෝප්ප අටක් පත 8ක් වේ.
ඒ අනුව නියමිත කෂාය ද්‍රව්‍ය ජලයෙන් සෝදා ගත යුතු අතර සුදුලූනු පොතු හැර එකතු කර ගන්න. රසකිඳ වැල්වල පිට සුඹුල ඉවත් කළ යුතුයි. හාතාවාරිය, ඉරිවේරිය, සුදුලූනු, රසකිඳ වැනි දේවල් අමුවෙන්ම ගත යුතුයි.
අනෙකුත් බෙහෙත් මුල් ආදිය සිහින්ව කපාගෙන සෝදා ගත් බෙහෙත් මැටි මුට්ටියට දමා ජලය එකතු කරන්න. ඉන්පසු දර ළිපක තබා මදගින්නේ සිඳුවා ගැනීම වඩාත් සුදුසුය. වෙනත් ඉන්ධන භාවිත කෙරේ නම් අඩු ගින්දර ප්‍රමාණයක් යෙදිය යුතුය. මැටි බඳුන් හැර වෙනත් වර්ගයක භාජන භාවිත කෙරේනම් කෂාය සිඳගත් පසුව වෙනත් භාජනයකට ඉවත් කිරීම සුදුසුය.
කෂාය සඳහා යොදන අනුපාන හා එහි ප්‍රමාණය වෙනස් වන අතර බොහෝ විට තේ හැඳි භාගය තේ හැන්ද බින්දු 3 - 5 දක්වා අබ ඇටයක ප්‍රමාණය ගම්මිරිස් ඇටයක ප්‍රමාණය බිලාල වැනි මාත්‍රාවන් වෛද්‍යවරයා නියෝග කරනු ලබයි. බිලාල පාද යනු කෂාය පානය කරන රෝගියාගේ ඇඟිලි තුනකට අසුවන ප්‍රමාණයයි. එබැවින් මෙහි නියම මාත්‍රාව වනුයේ රෝගියා තම ඇඟිලි තුනම යොදාගෙන අනුපාන කෂායට යෙදීමය. සීනි, මී පැණි, තිප්පිලි කුඩු, එළඟිතෙල්, එඬරු තෙල්, තලතෙල්, සහිඳ ලුණු, පෙරුම්කායම් බහුලව භාවිත කරනු ලබන අනුපානයන්ය.
කෂායක් සකස්කර ගැනීම සඳහා උපදෙස්
ආයුර්වේද වෛද්‍ය ක්‍රම පිළිබඳ කතා කරන විට කෂාය ගුලි, කල්ක, බස්න වශයෙන් කාගේත් මතකයට නැගෙන වචන කිහිපයක් ඇත. කෂාය යනු ආයුර්වේද මූලධර්මවලට අනුව රස හයෙන් එකකි. දිවට දැනෙන රස හයක් ඇති බව ආයුර්වේදයේ සඳහන් වේ. ශාකවල මුල් පොතු ඇට මද ඒ ඒ ද්‍රව්‍යවල ප්‍රමාණය අනුව කිරා උණුකර සින්දවා ගන්නා විට එම ද්‍රව්‍යවල ඇති විවිධ රසයන් එකතු වී කෂායක් සකස් වේ.
වාත, පිත්ත, කඵ යන තුන්දොස් කුපිත වීමෙන් හටගන්නා රෝගවලට සුදුසු කෂායක් නිවසේදී වුවද පහසුවෙන් සකස් කරගත හැකියි. එහිදී ළිපට කොස් දර වඩාත් සුදුසුය. මේ සඳහා පොල්කටු දැමීම සුදුසු නොවේ. කෂාය නියම ප්‍රමාණයට සිඳුවා ගැනීම සඳහා වරින් වර පරීක්ෂාකර බලන්න.
කෂායක් පානය කිරීම
කෂාය පාන සඳහා වෛද්‍යවරයා නියෝග කරනුයේ පත අට එකට සිඳගත් කෂාය පතෙන් භාගයක් වේලකට පානය කරන ලෙසය. උදේ 6.00 ත් සවස 6.00ත් උදේ 10.00 ත් සවස 2.00 ත් කෑමට පෙර හෝ පසු උදේ හිස් බඩ යනාදී වශයෙන් පානය කළයුතු වේලාව සහ මාත්‍රා වෛද්‍යවරයා නියම කරනු ඇත. මේ සඳහා උදේ සහ සවස පත භාගය බැගින් බීම සුදුසුය.
කෂායවල ක්‍රියාකාරීත්වය වැඩිකිරීම සඳහා අනුපාන එකතු කරන අවස්ථාවන් ඇත. යම් කෂායක ගුණ වැඩි කිරීමට, උරා ගැනීම පහසු කිරීමට ක්‍රියාකාරීත්වය ඉක්මන් කිරීමට රෝග මර්දනයට අනුපාන යොදනු ලබයි. ඒ සඳහා සීනි, මී පැණි පෙරුම්කායම්, සහිඳ ලුණු, එඬරු තෙල් එක් කෙරේ.
උපදෙස්
කඩුවෙල
ආයුර්වේද සර්වාංග රෝග වෛද්‍ය
ඉවෝන් නිර්මලා
subasetha
Comments
Post a Comment