ඩෙංගු රෝගයේ ආරම්භය වන්නේ උණය. සාමාන්‍ය උණ තත්ත්වයකදී අප සැලකිලිමත් විය යුත්තේ එය දැවැන්ත රෝගයකට මඟපෑදීමට ඉඩ තිබෙන බැවිණි. බාල මහලු කාටත් ඩෙංගුවලින් ගැළවිය නොහැකි ය.
ඩෙංගු මාරාන්තික වන අතර ඩෙංගුවලින් බේරීමට පරිසරය පිරිසුදුව තබා ගත යුතු ය. යමකු ඩෙංගු ආසාදනයට ලක්වුවහොත් කළ යුත්තේ කුමක්ද? එම රෝගය නිසි ලෙස පාලනය කර රෝගියකු සුවපත් කරගන්නේ කෙසේද? යන්න අද අපි විමසා බලමු.
ඩෙංගු රෝගය හඳුනා ගැනීම
ඩෙංගු රෝගය දිවයින තුළ බහුලව වාර්තා වන රෝගයක් වන අතර මදුරුවන් දෂ්ට කිරීම මඟින් ව්‍යාප්ත වේ. මේ රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ තද උණ සහ හිසරුදාව, ඇස්යට වේදනාව, ඔක්කාරය සහ වමනය, මස්පිඩු සහ සන්ධි වේදනාව සමේ රතු ලප හටගැනීම විදුරුමසෙන්, නාසයෙන්, සමෙන් රුධිර වහන තත්ත්වයන් ඇතිවීම. ඩෙංගු රෝගයේ ප්‍රභේද වන සාමාන්‍ය ඩෙංගු උණ සහ ඩෙංගු රක්තපාත උණ වැලඳෙන රෝගීන් මේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකි ය.
ඩෙංගු බෝවන්නේ කෙසේද?
ඩෙංගු රෝගය ඇති කරන වයිරසය ඊඩිස් වර්ගයේ ගැහැනු මදුරුවන් විසින් පතුරුවනු ලැබේ. මේ මදුරුවන් තුළට වයිරසය ඇතුළු වන්නේ ඩෙංගු වයිරසය ශරීරගත වූ පුද්ගලයෙකුට දෂ්ඨ කිරීමෙනි.
මේ මදුරුවා බිත්තර දමන්නේ පිරිසුදු ගලා නොයන ජලයේය. වරකට බිත්තර 100-200 ක් පමණ දමන මේ එක් ගැහැනු මදුරුවකු සිය ජීවිත කාලය පුරා පස්වතාවක් පමණ බිත්තර දමයි. මෙහි විශේෂත්වයක් වන්නේ ගැහැනු මදුරුවකු බිත්තර දමන විට එක් වරකට ස්ථාන කිහිපයකටම බිත්තර දැමීමය.
මේ මදුරුවාගේ කෙළ මඟින් වයිරසය මිනිසාගේ ශරීරයට ඇතුළු වේ. එසේ වයිරසය ඇතුළු වූ විට මිනිසාගේ සුදු රුධිරානු හා එහි පටක ආසාදනය කරයි. එසේ ඇතුළු වූ වයිරසය වර්ධනය වී රුධිර සංසරණ පද්ධතියට මුදා හරියි. මේ වයිරසය සිරුර පුරා ගමන් කර අක්මාව හා ඇට මිදුළුවලට ඇතුළු වේ. එවිට ශරීරයේ රුධිර පට්ටිකා ප්‍රමාණය හා සුදු රුධිරාණු අඩුවේ. රුධිර පට්ටිකා විශාල ලෙස අඩුවීමෙන් රුධිර වහනයක් සිදුවීමට ඉඩ තිබේ.
අවදානම් ලක්ෂණ
දත් මදින විට විදුරුමසින් රුධිරය ගැලීම, උදරයේ ඇතිවන තද වේදනාව, නොනවත්වා වමනය පැවතීම, අධික නිදිමත බව, නොසන්සුන් බව, අප්‍රාණික බව, රුධිර වහනය වීම, පැය 6කට වඩා වැඩි කාලයක් මුත්‍රා පහ නොවීම හෝ පිටවන මූත්‍ර ප්‍රමාණය අඩුවීම, සමෙහි රතු පාට පලු මතුවීම.
උණ ඇතිවිට කළ යුතු දෑ
තදින් උණ පවතීනම් පිරිසුදු රෙදි කඩක් උණුසුම් ජලයෙන් පොඟවා රෝගියාගේ ශරීරය තැවීම සිදුකරන්න. සැහැල්ලු පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදෙන්න. උණ පවතින කාලය තුළදී මදුරුවන් දෂ්ඨ කිරීමෙන් හැකිතාක් වළක්වා ගන්න.
මෙහිදී උණ බැසයාමත් සමඟ ප්‍රධාන ලක්ෂණය වන රුධිර වාහිනීවලින් පිටතට විශේෂයෙන් පෙණහලු පටල අතරට උදර කුහරයට ප්ලාස්මා තරලය කාන්දුවීම සිදු වේ. මෙය සාමාන්‍යයෙන් උණ සෑදී 3 වැනි දින හෝ ඊට පසුව සිදුවන අතර දිනපතා සිදු කරන රුධිර පරීක්ෂණවල වෙනස්කම් මඟින් හඳුනාගත හැකිය. මෙසේ නොදැනුවත්කමින් දිගටම ප්ලාස්මාව කාන්දුවීම මඟින් කම්පන අවස්ථාවට පත්විය හැකිය. ඇතැම් රෝගීන් කම්පන අවස්ථාවට පත්වීමට පෙර අවදානම් ලක්ෂණ පෙන්නුම් කරයි. එබැවින් මේ අවදානම් ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත් වේ.
මදුරුවන්ගේ දෂ්ඨ කිරීමෙන් වැළකෙන්නේ කෙසේද?
අත්පා හොඳින් ආවරණය වන ඇඳුම් අඳින්න.
මදුරු දැලක් යට විවේකීව සිටින්න.
පැඟිරි තෙල් වැනි මදුරු විකර්ෂක භාවිත කරන්න.
ඩෙංගු මදුරුවන් දෂ්ට කරන්නේ කුමන වේලාවන්වලදී ද?
සාමාන්‍යයෙන් ඊඩිස් මදුරුවන් දවසේ උදය කාලයේ හිරු පායා පැය කිහිපයක් යන තුරුද සවස් කාලයේ හිරු බැසීමට පැය කිහිපයකට ද පෙරද වැඩිපුර දෂ්ඨ කිරීම සිදු කරයි. එබැවින් මේ කාලය තුළ දෂ්ඨණවලින් ආරක්ෂා විය යුතුය.
ඩෙංගු රෝගීන්ට ඇතිවිය හැකි සංකූලතා මොනවාද?
සාමාන්‍ය ඩෙංගු උණ රෝගීන්ට සංකූලතා ඇතිවීමේ අවදානම අවම වේ. ඩෙංගු රක්තපාත උණ හා අසාමාන්‍ය ඩෙංගු වැනි අවදානම් අවස්ථාවලට පත්වන රෝගීන්ගෙන් සුළු පිරිසකට වකුගඩු හා අක්මාව අකර්මණ්‍යවීම මොළයට සිදුවන බලපෑම් වැනි සංකූලතා ඇතිවී කලාතුරකින් මරණය පවා සිදුවිය හැකිය. පමා නොවී නිසි ප්‍රතිකාරවලට යොමුවීමෙන් මෙවැනි තත්ත්වයන් අවම කරගත හැකිය.
ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී වඩාත් වැදගත් වන්නේ අවදානම් අවස්ථාවට පත්වන රෝගීන් ඉක්මනින් හඳුනා ගැනීමය.
ඩෙංගු රක්තපාත උණ සහ අසාමාන්‍ය ඩෙංගු උණ
මේ සඳහා උණ සෑදී දින 2කට පසුව කරනු ලබන සම්පූර්ණ රුධිර පරීක්ෂාව වඩාත් ප්‍රයෝජනවත් වේ.
ඩෙංගු රක්තපාත උණ
ඩෙංගු රක්තපාත උණ ඩෙංගු රෝගී තත්ත්වයේ ඇතිවිය හැකි අවදානම් අවස්ථාවකි. උණත් එක්ක ඇතිවන අනෙකුත් රෝග ලක්ෂණ බොහෝ දුරට සාමාන්‍ය ඩෙංගු උණට සමාන වන බැවින් ඩෙංගු රක්තපාත රෝගීන් ඩෙංගු උණ රෝගීන්ගෙන් වෙන්කර හඳුනාගැනීම මුල් අවධියේම සිදුකළ යුතු ය.
දියර වර්ග
උණ වැලඳී ඇති අවස්ථාවලදී විජලනය වැළැක්වීම සඳහා දියර වර්ග (කැඳ වර්ග, ජීවනී, සුප්, තැඹිලි වතුර, නාරං) පලතුරු යුෂ පානීය ජලය පානය කිරීම වැදගත් වේ. රතු දුඹුරු පැහැති ආහාරපාන ගැනීම මඟින් රෝගය නිසා ඇතිවිය හැකි ලේ වහන තත්ත්වය හා වමනය හෝ මළපහ වෙන්කරගැනීම අපහසු බැවින් වර්ණ කළ ආහාරපාන නොගැනීම වඩාත් සුදුසු ය.
කොළපාට ඇපල් ජූස් සුදුසු යැයි නොයෙක් අය කීවත් ඒවාට නොයෙක් බෙහෙත් වර්ග යොදන බැවින් ඒවා බීමට සුදුසු නැත.
දේශීය ප්‍රතිකාර
සුදර්ශන චූර්ණය තේ හැඳි 1ක් ගෙන මී පැණියෙන් අනා නිවුණු උණු වතුරෙන් බීමට දෙන්න. වයස 20න් ඉහළ අයට එසේ නොමැතිනම් සුදර්ශන පෙති 2 බැගින් දවසට තුන් වරක් ගන්න.
ගස්ලබු මැල්ලුම හා ගස්ලබු මාළුව ඉතාමත් සුදුසුය.
ගස්ලබු ගසේ දල්ල ළඟ සිට තුන්වෙනි කොළය කඩා පොඩි වංගෙඩියක දමා කොටා වතුර මිශ්‍ර නොකර රෙදි කැබැල්ලක දමා මිරිකා මේස හැන්දකට ඉස්ම ගෙන එයට මී පැණි තේ හැන්දක් දමා රෝගියාට පොවන්න.
සෑම සතියකට වරක් ඔබගේ නිවෙසේ ගෙවත්තේ සහ සේවා ස්ථානයේ මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරීක්ෂා කරගන්න.
මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කරන ක්‍රම
ජලය රැස්කරන භාජන ටැංකි බැරල් යනාදිය මදුරුවන්ට ඇතුළු විය නොහැකි සේ හොඳින් ආවරණය කරන්න.
නළ ළිඳෙහි බටයේ ජලය රැඳෙන ස්ථානයේ මදුරු කීටයන් සිටීදැයි නිතර විමසිලිමත් වන්න.
ජලය රැස් කරන බඳුන් ටැංකි මල් පෝච්චි, කුරුලු නාන බඳුන් සහ සුරතල් සතුන්ට ආහාර දෙන භාජන යනාදියේ ඇතුළත බුරුසුවකින් හොඳින් අතුල්ලා පිරිසුදු කරන්න.
ශීතකරණ වායුසමීකරණවල ඇති ජලය එක්රැස් වන තැටි යනාදියේ ඇතුළත රැඳුණු මදුරු බිත්තර ඉවත්කිරීමට බුරුසුවකින් හොඳින් අතුල්ලා පිරිසුදු කරන්න.
භාවිත නොකරන ඉවතලන බඳුන් හා භාණ්ඩ නිසි පරිදි බැහැර කරන්න.
නැවත භාවිතයට ගන්නා හෝ ඉවතලන ටයර් ජලය එක්රැස් නොවන සේ ආවරණය කරන්න. වැලි පුරවන්න. සිදුරු කරන්න.
නිසි ලෙස නඩත්තු නොකළ අවහිර වූ වැහිපිහිලි පිරිසුදු කරන්න ගලවා ඉවත් කරන්න.
වැසි ආවරණ පොලිතින්, ඉටිකොළ, රෙක්සින් සහ කොන්ක්‍රීට් වහල (ස්ලැබ්) මත ජලය එක්රැස් නොවන සේ තබන්න.
ගස් බෙණ උණ පුරුක් වැනි ස්ථානවල ජලය එක්රැස් නොවන සේ වැලි බදාම පුරවන්න.
පහසුවෙන් ජලය ඉවත් කළ නොහැකි ස්ථාන සඳහා පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ අනුමත කීටනාශක යොදන්න. භාවිත නොකරන ජලය රැස්කරන බඳුන් ජලය නොරැඳෙන සේ තබන්න.
අවට පරිසරය සෑමවිටම පිරිසුදුව තබා ගන්න.
උපදෙස්
ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය
සුදත් සමරවීර
වෛද්‍ය නන්දා කස්තුරිආරච්චි
subasetha
Comments
Post a Comment