ඔසප් වේදනා නසන නස්නාරං

ඔක්තෝබර් 11, 2024

 

“වෙද මහත්තයෝ කොහොමද?

ගොඩක් කාලෙකින් මේ පැත්තෙ මම ආවෙ.”

“වරදක් නැහැ. හොඳින් ඉන්නවා. ඉස්කෝලේ මහත්තයෝ... ඉතින් කොහොමද?”

“වෙද මහත්තයෝ මම ආවෙ කරුණු කාරණා ටිකක් දැන ගන්නත් එක්කයි.”

“මොනවාද ඉස්කෝලේ මහත්තයෝ මගෙන් දැන්ගන්න තියෙන්නේ.”

“වෙද මහත්තයෝ මේ නස්නාරං කොහොමද ඖෂධීය වශයෙන් වැදගත් වෙන්නෙ”

“ඉස්කෝලේ මහත්තයෝ නස්නාරං කියන්නේ වටිනා ඖෂධීය ශාකයක්.

ඖෂධීය වශයෙන් ගත්තාම බොහෝ සෙයින් ඖෂධ සඳහා යොදා ගන්නා ශාක කාණ්ඩයක් තමයි දොඩම් කුලයට අයත් ශාක. මේ කුලයේ ශාක ඖෂධ යෝග සඳහා බෙහෙවින් යොදාගනු ලබනවා. මේ අතුරින් ප්‍රධාන තැනක් ගන්නා ශාකයක් තමයි නස්නාරං කියන්නේ.

නස්නාරංවලට අමතරව මේ දොඩම් කුලයට අයිති ඇඹුල් දොඩම්, හීංනාරං ආදියත් හොඳ ඖෂධයන් තමයි.

ඒ වගේම ඉස්කෝලේ මහත්තය. නස්නාරං කියන නම ගැන විවිධ මත ගැටුම් දකින්න පුළුවන්. සංස්කෘත වෛද්‍ය ග්‍රන්ථවල බීජපූර යන නාමය ලප්නාරං කියල හදුන්වල තියෙනවා. මේ ලප්නාරං කියල කියන්නේ නස්නාරං වලටමයි.

ඒ වගේම ආධුනික ද්‍රව්‍ය ගුණ විඥාන ග්‍රන්ථවල බීජපූර සඳහා දක්වල තියෙන ලක්ෂණ නස්නාරංවලත් දකින්න පුළුවන්. ඒ වගේම ලබුනාරං යන නාමය ලප්නාරං වුණා කියල සිදත් සඟරාවෙ දක්වල තියෙනවා. ඒ වුණාට ලබුවල ලක්ෂණ ලප්නාරං වල නැහැ. එසේම නාරං යන නාමය ට ලප්..නප්..නත්...නස් විදියට ක්‍රමයෙන් ඇවිත් නස් යන පදය විශේෂණයක් විදියට එකතු වෙලා නස්නාරං නම සකස් වුණා කියල කියනවා.” “එතකොට වෙද මහත්තයෝ නස්නාරං අපේ රටේ විතරයිද වැවෙන්නෙ?”

“නැහැ ඉස්කෝලේ මහත්තයෝ. ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවල හොඳින් වැවෙනවා. ඒ වගේම මේ නස්නාරං ගස් සාමාන්‍ය ප්‍රමාණයේ ගස්..මේ ගස්වල කඳේ දොඩම් ගස්වල වගේ කටු තියෙනවා. ගහේ පොතු පැඟිරි සුවඳයි. ඒ වගේම නස්නාරං කොළ තද කොළ පාටයි. දෙහි කොළවලට වඩා තරමක් කුඩායි. ගෙඩිත් කුඩායි. ඉදුණාම ලෙල්ල කහ පාටයි. මේ ගෙඩිවලත් ඇතුළෙ යුෂ තියෙනවා. ඒ වගේම ඇටත් තියෙනවා. මේ යුෂ ආහාර රසවත් කරන්නත් ඖෂධ සඳහාත් ගනු ලබනවා.”

“වෙද මහත්තයෝ නස්නාරංවලට කියන වෙනත් නම් මොනවද?”

“සිංහල භාෂාවෙන් නස්නාරං කියල කියනවා

සංස්කෘත භාෂාවෙන් මාතුලුංග..බීජපූර. බීජපූරක ..ගන්ධකුසුම...දන්තුරත්වච...කෘමිඝ්න..ඵලපූරක..රෝචනඵල ආදි නම් රාශියක් තියෙනවා.

හින්දි භාෂාවෙන් බීජෞරා නම යෙදෙනවා

දෙමළ භාෂාවෙන් මාදලම් නම යෙදෙනවා ඉංග්‍රීසි භාෂාවෙන් Citron  කියනවා

නස්නාරංවල උද්භීද විද්‍යාත්මක නාමය

Citrus medica Linn  නම යෙදෙනවා

කුලය RUTACEAE හෙවත් ජම්බීර කුලයයි..

ඒ වගේම නස්නාරං වල ප්‍රභේද 2ක් තියෙනවා

1 මධුර වර්ගය - Citrus cecumana  ලෙසත්

2 අම්ල වර්ගය - Citrus acida  ලෙසත් හදුන්වනු ලබනවා

එසේම නස්නාරංවල යුෂ ..ගෙඩියේ රේණු.. මුල් ...දලු..මල්..රේණු..ඇට සහ ගෙඩියේ පොතු ඖෂධ සඳහා ගන්නවා.

“වෙද මහත්තයෝ නස්නාරංවල ඖෂධීය ගුණ කොහොමද?”

“නස්නාරංවල මධුර වර්ගය මධුර නැත්නම් පැණි රසයෙන් යුතුයි. අම්ල වර්ගය අම්ල නැත්නම් ඇඹුල් රසයෙන් යුතුයි .

ඒ වගේම මධුර වර්ගය ලඝු හා ස්නිග්ධ ගුණයි.

අම්ල වර්ගය තීක්ෂ්ණ ගුණයි

වීර්‍යයෙන් අනූෂ්ණ( මදක් උෂ්ණ ) යි.

විපාකයෙන් මධුර වර්ගය මධුර විපාකයි.

අම්ල වර්ගය අම්ල විපාකයි

දෝෂ අනුව සැලකුවාම

මධුර වර්ගය වා පිත් සමන ගුණ යුතුයි

අම්ල වර්ගය සෙම් වාත සමන ගුණ යුතුයි. මෙනිසා මධුර වර්ගයේ ගෙඩි වාත පිත්තජ රෝගවලටත් අම්ල වර්ගයේ ගෙඩි සෙම් වාතජ රෝගවලටත් යොදනු ලබනවා.

ශාරීරික ක්‍රියා සැලකුවාම

බාහිර වශයෙන්

නස්නාරං කොළ වේදනා නාශකයි. වේදනා සහිත තැන්වල නස්නාරං කොළ තම්බලා බඳීනවා. එසේම නස්නාරං බීජ ඉදිමුම් සහ විෂ නසන ගුණ සහිත නිසා මේ බීජ අඹරලා ඉදිමුම්වලටත් ..හමේ රෝග වලටත්. ගෝනුසු දෂ්ට කිරීම්වලටත් ආලේප කරනවා.

ඒ වගේම අභ්‍යන්තර වශයෙන් ගත්තාම

අරුචි... වමන... අක්මා ආබාධ... පිපාසා... බඩගිනි අඩුකම... අජීර්ණ... වේදනා... ගුල්ම අර්ශස් ආදියට ගුණදායකයි.

නස්නාරං බීජවල රේණු ග්‍රාහී ගුණ යුතු නිසා ප්‍රවාහිකා සහ අර්ශස් සඳහා යොදනවා. ඒ වගේම නස්නාරං ගෙඩිවල ලෙලි පණුවන් නසන ගුණ යුතුයි. එසේම නස්නාරං මුලේ පොතු පණු අමාරු ආදියට යොදනු ලබනවා.

ඒ වගේම මධුර වර්ගයේ ගෙඩි හදවතට හිතකරයි. රත්පිත සමනය වෙනවා... මේ නිසා හදවත් රෝගවලදි සහ රත්පිතේදී ප්‍රයෝග කරනු ලබනවා.

අම්ල වර්ගයේ ගෙඩි හදවත් උත්තේජනය කරන නිසා හදවත් දුබලතාවයේදි යොදනු ලබනවා. මේවායේ මල් සහ මුල් ද රත්පිතේදී යොදා ගනු ලබනවා.

එසේම නස්නාරං මත්බව සමන ගුණ යුතු නිසා අධික මත්බවේදී ප්‍රයෝග කරනු ලබනවා.

ඒ වගේම නස්නාරං සෙම් නසන ගුණයෙන් යුතු නිසා ශ්වාස..කාස....හික්කා ආදි රෝගයන්ට යොදනු ලබනවා.

ඒ වගේම තමයි නස්නාරං ගෙඩි සහ බීජවල ආර්ථවජනන ගුණ තියෙන නිසා කාන්තාවන්ගේ මාස් ශුද්ධිය නතර වීමේදී සහ වේදනා සහිත ඔසප්වීම්වලදී යොදනු ලබනවා.

ඒ වගේම නස්නාරං අඩංගු ඖෂධ යෝග රාශියක් දකින්න පුළුවන්.

රත්පිතට

නස්නාරං ගසේ මුල් සහ මල් සම සමව අරගෙන නස්නාරං ඇඹුල්වලින් අඹරලා හාල්පානු වතුරෙන් පොවනු ලබනවා.

ගුල්ම සහ ආනාහ සඳහා

මේ රෝගවලට යොදන ඝෘතවලට ගන්නා සමහර ඖෂධ වර්ග නස්නාරං ඇඹුලින් භාවනා දීලා වර්ති හෝ ගුටිකා සාදා දෙනු ලබනවා.

හික්කාවට

නස්නාරං යුෂයට මී පැණි සහ සුවස ලුණු දමා දෙනවා

වමනයට

වී පොරි....සීනි..සහ මීපැණි සමඟ තිප්පිලි නස්නාරං යුෂ සමඟ පොවනු ලබනවා

කන් කැක්කුමට

නස්නාරං යුෂ කනට දමනවා

පිතින් හටගත් පිපාසයට

මී පැණි සහිඳ ලුණු නස්නාරං‍ රේණු අඹරා ලේහ කිරීම හොඳයි

වාත වේදනා වන්ට

නස්නාරං මුල් චූර්ණයෙන් කර්ෂයක් ගිතෙල් සමඟ පොවනවා.

වාත විසර්පයට

නස්නාරං ඇඹුල්වලින් තෙමනු ලබනවා

ගර්භණී අරුචියට

තිකුළු (ඉඟුරු ..ගම්මිරිස් ..තිප්පිලි) කුඩු කරල නස්නාරං ඇඹුල්වලින් අනා කටේ සහ දිවේ ගානු ලබනවා

උණ රෝගය නිසා හටගන්න කටේ විරස බවට

සහිඳ ලුණු ..මීපැණි ..නස්නාරං ඇඹුල් ..ලේහ කරනු ලබනවා

ඉතින් ඉස්කෝලේ මහත්තයෝ ඔන්න ඔය වගේ ඖෂධ යෝග රාශියක් නස්නාරංවලින් සකස් කරනු ලබනවා.

ඒ වගේම ප්‍රකට කෂායක් වන ඒරණ්ඩ සප්තක කෂායෙත් නස්නාරං මුල් තියෙනවා

මෙන්න මේ වගේ වටිනා ගුණදායක ඔසුවක් තමයි නස්නාරං කියන්නේ.

මං හිතන්නෙ නස්නාරං ගැන ඉස්කෝලේ මහත්තයට අවශ්‍ය වුණ කරුණු ටික දැන ගන්න ඇතිනේ”

“ඔව් වෙද මහත්තයෝ නස්නාරං කියන්නේ අගනා ඔසුවක් කියල මට තේරුණා. ඔබතුමාට ගොඩක් පිං මාව දැනුවත් කළාට.”

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන



subasetha

Comments