“සිරිපාල මහත්තය. මොකද අද මේ පැත්තෙ .අසනීපයක් ද?”
“අනේ ඔව් වෙද මහත්තයෝ. මගේ යටි බඩ හරියෙනුයි. කොන්ද හරියෙනුයි කැක්කුමක් එනවා. මූත්‍ර කරනකොටත් ටිකක් රිදෙනවා. මූත්‍ර හොදින් පිටවෙන්නෙත් නැහැ. මූත්‍ර දැවිල්ලත් ටිකක් තියෙනවා. ඒක නිසා බෙහෙත් ටිකක් ගන්න කියලයි ආවෙ.”
“දැන් කොච්චර කල් වෙනවාද සිරිපාල මහත්තයෝ. ඔය අමාරුකම් ඇවිල්ලා?”
“මම හිතන්නෙ වෙද මහත්තයෝ දැන් මාසයක් විතර වෙනවා මේ තත්ත්වය ඇවිල්ල.”
“සිරිපාල මහත්තය කියන ලක්ෂණ අනුව නම් පේන්නෙ මූත්‍රාශයෙ ගල් හැදිලා වගෙයි. ඒනිසා ලුණුවරණ පොතු ටිකක් තම්බල බොන්න. දවසට දෙපාරක් විතර. එහෙම නැත්නම් ලුණුවරණ පොතු කෂාය හදල බොන්න. සතියක් දෙකක් විතර බීල බලමු.”
“ඒ කියන්නේ වෙද මහත්තයෝ මේ අමාරුවට ලුණුවරණ පොතු බිව්වම හරියයිද?”
“ඔව්. මොකද ලුණුවරණ කියන්නේ. මූත්‍රගල් දියකරන හොඳ වටිනා ඔසුවක්. ඒ වගේම මූත්‍රරෝග ගොඩකට හොඳ බේතක්
විශේෂයෙන් මූත්‍රාශයේ ඇතිවන ගල් දියකරන විශේෂ ගුණයක් ලුණුවරණ පොතුවල තියෙනවා. ඒ වගේම සන්ධි වාත රෝගීන්ට දේශීය වෛද්‍යවරු වේදනා සමනයට යොදන පත්තු.. ප්‍රලේප.. ආලේපවලටත් ලුණුවරණ පොතු ගන්නවා. ඒ වගේම කැඩුම් බිදුම් වෙදකමේදිත් ලුණුවරණ පොතු නැතුවම බැරි ඖෂධයක්.”
“එතකොට වෙද මහත්තයෝ මේ ලුණුවරණ ගස් වැවෙන්නෙ කොයි රටවල් වලද?”
“විදේශීය වශයෙන් ගත්තාම ඉන්දියාවේ සියලුම ප්‍රදේශවල ඇසෑම් මලබාර් ප්‍රදේශවල මලයාසියාව, නැගෙනහිර අප්‍රිකාව සහ පිලිපීන දූපත්වලත් දකින්න පුළුවන්.
ඒ වගේම තමයි ලෝකයේ බොහෝ රටවල දකින්න තියෙන මේ ලුණුවරණ ගස්වල කොළ සහ ගෙඩි අප්‍රිකානු රටවල දුර්භික්ෂ කාලවල ආහාරයට අරගෙන තියෙනවා. ඒ වගේම දැව විදියටත් ලුණුවරණ ගස් ප්‍රයෝජනයට අරගෙන තියෙනවා.”
ඒ වගේම ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශ වලත්..විශේෂයෙන් ත්‍රිකුණාමලය, හම්බන්තොට, දඹුල්ල ..කැකිරාව වගේ පළාත්වලත් වඩාත් සුලභව දකින්න පුළුවන්.”
“එතකොට වෙද මහත්තයෝ ලුණුවරණ උස ගහක් ද?”
“ලුණුවරණ කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයේ ගහක්. අළු පාට පොත්තක් සහිත කුඩා ගහක්. මේවායේ කොළ කොබ්බෑ කොළවලට බොහෝ සෙයින් සමානයි. මේවායේ කොළ එක නැට්ටෙ කොළ 3 බැගින් පිහිටල තියෙනවා. සාමාන්‍යයෙන් මේ ලුණුවරණ ගස්වල කොළ සියල්ලම අවුරුදු පතා වැටිල ගහ ඉපලක් වගේ වෙනවා.
ඊට පස්සෙ අතුවල අග සුදු පාට මල් පොකුරු හටගන්නවා. මේ මල් හටගන්නේ දෙසැම්බර් මාසයේදී යි. මේගස්වල අතු ලුණු පුපුරු වගේ වහා බිදෙනවා. මේ ගස්වල හැදෙන ගෙඩි වටකුරුයි. ඒවායේ ආවරණය ගොඩක් තදයි. මතුපිට සිනිදුයි. මේ ගෙඩිවල බීජ කිහිපයක් තියෙනවා.”
“වෙද මහත්තයෝ ලුණුවරණ හදුන්වන වෙනත් නම් මොනවද ?”
“සිරිපාල මහත්තයෝ පොදුවේ හදුන්වන සිංහල නම තමයි ලුණුවරණ කියන්නේ.
සංස්කෘත භාෂාවෙන් අශ්මරීඝ්න.. බාරුපුෂ්ප..තික්ත ශාක... වරුණ... වරුණා... ශ්වේත පුෂ්ප... ශ්වේත ද්‍රැම... අග්නි දීපනී... සාධු වෘක්ෂ...ගන්ධවෘක්ෂ... පශුගන්ධ ආදි නම් රාශියක් තියෙනවා.
හින්දි භාෂාවෙන් බරුණා...බර්ණා යන නම් යෙදෙනවා. දෙමළ භාෂාවෙන් නාවලා.. නවිලන්නායි මාවිලංගම් යන නම් යෙදෙනවා.
ඉංග්‍රීසි භාෂාවෙන් Three leaved caper යනුවෙන් හදුන්වනවා. ලුණුවරණවල උද්භීද විද්‍යාත්මක නාමය Crateva adansonil DC ssp odora (Buch Ham)Jacobs වන අතර
කුලය CAPPARIDACEAE හෙවත් වරුණ කුලය යි. ඒ වගේම ලුණුවරණවල ඖෂධීය අංග සැලකුවාම මුල්, කඳේ පොත්ත, නැවුම් පත්‍ර, මල් සහ සම්පූර්ණ ශාකයම ඖෂධ සඳහා ගනු ලබනවා
ලුණුවරණ පොතු වල(saponin) කියන රසායනික උපාදානය අඩංගු වෙනවා. ඒ වගේම ලුණුවරණ රසයෙන් තික්ත. මධුර සහ කෂාය රසයි.
ගුණයෙන් ලඝු හා රූක්ෂයි
වීර්‍යයෙන්
උෂ්ණයි
විපාකයෙන් කටුකයි
ප්‍රභාවයෙන් අශ්මරී භේදන ගුණ යුක්‍තයි.”
“එතකොට වෙද මහත්තයෝ ලුණුවරණවල ඖෂධීය වටිනාකම කොහොමද?”
“දෝෂ අනුව සැලකුවාම
සෙම හා වාතය නසන ගුණ යුතුයි. පිත් වඩන ගුණ යුතුයි. මේ නිසා සෙම් වාත රෝගවලට උපයෝගි කරගනු ලබනවා.”
“වෙද මහත්තයෝ ලුණුවරණ ශරීරය ආශ්‍රිතව කොහොමද ක්‍රියා කරන්නෙ?”
“බාහිර වශයෙන් සැලකුවාම
ලුණුවරණ කොළ සහ පොතුවලින් සකස් කරපු ආලේපය විශේෂ ගුණ ගෙන දෙනවා. තුවාල...ඉදිමුම්... ගණ්ඩමාල... විද්‍රධි වගේ රෝගවලදි ලුණුවරණ පොතු කල්කය ආලේප කරනවා.
වාත වේදනාවලදි ලුණුවරණ පොතු ..සහ හරංකහ විනාකිරිවලින් අඹරලා ආලේප කරනු ලබනවා.
ශරීරයේ අභ්‍යන්තර වශයෙන් ගත්තාම
දීපන..අනුලෝමන..කෘමිඝ්ණ..පිත්තසාරක ආදි ගුණ යුක්ත නිසා බඩගිනි අඩුකම..වේදනා ගුල්ම...අක්මාරෝග..පණුරෝග ආදියට යොදනු ලබනවා.
ඒ වගේම ලුණුවරණ පොතු ලේ පිරිසුදු කරන ගුණයෙන් යුක්තයි. ඒ නිසා වාත රක්ත... ගණ්ඩමාල... අන්තර් විද්‍රධි... ආදියේදී ලුණුවරණ පොතු කෂාය ඉතාමත් හොඳයි.
ඒ වගේම ගණ්ඩමාල රෝගයට ලුණුවරණ මුලේ පොතු කෂාය මීපැණි සමඟ ඉතාමත් ගුණයි.
තවත් දෙයක් තමයි ලුණුවරණවල අශ්මරී භේදන ගුණ විශේෂයි. ඒ කියන්නේ මූත්‍රගල් දියකරන ගුණ ලුණුවරණවල හොඳටම තියෙනවා. ඒ වගේම මූත්‍රකාරකයි. මේ නිසා අශ්මරී (මූත්‍රගල්) මූත්‍ර කෘව්ජ්‍ර... වස්ති වේදනා අවස්ථාවල ලුණුවරණ පොතු හෝ මුල් කෂාය යොදනු ලබනවා.
ඒ වගේම උණ රෝගයේදී ලුණුවරණ කොළ යුෂ යොදනු ලබනවා.
ඒ වගේම තමයි සිරිපාල මහත්තයෝ ලුණුවරණ අඩංගු ඖෂධ යෝග ගැන කතා කළොත්
මූත්‍ර අශ්මරී (මූත්‍ර ගල්) වලට
1 ලුණුවරණ පොතු කෂාය දීම
2 ලුණුවරණ පොතු, නීරමුල්ලිය කෂාය දීම
3 ලුණුවරණ පොතු ...නීරමුල්ලිය..ගොකටු කෂාය දීම ආදිය යොදනු ලබනවා.
ආමවාත රෝගයේදී
ලුණුවරණ පොතු ..හරංකහ..මුරුංගා පොතු යුෂවලින් අනා ආලේප කරනු ලබනවා.
මාංස ව්ධාරණයට( කික්කිස) රෝගයට
ලුණුවරණ කොළ ජලයෙන් අඹරා ගිතෙල් සහිතව ආලේප කරනු ලබනවා.
අර්ශස්වලට
ලුණුවරණ මුල් ක්ෂාරයට තලතෙල් මිශ්‍ර කර අවගාහනය කරනු ලබනවා.
දරුණු පීනස් රෝගයට
පදමට වියලාගත් ලුණුවරණ කොළ වැටියක් ආකාරයට ඔතා දල්වා නාසයෙන් දුම් පිටකරන ආකාරයට උරන්න සැලසීමෙන් උග්‍ර පීනස් අවස්ථා සමනය වෙනවා.
රක්ත වාත රෝගීන්ට
ලුණුවරණ කොළ, විනාකිරි, දෙහි ඇඹුල් සමඟ අඹරා පැලැස්තර ලෙස යෙදුවාම රක්ත වාත ඉදිමුම සහ කකුලේ ඉදිමුම, පතුල් ඉදිමුම සහ පතුල් දැවිල්ල ආදිය සමනය වෙනවා.
ලුණුවරණ කියන්නේ ඖෂධීය වශයෙන් ගත්තාම අතිශයින් වැදගත් ශාකයක්. වරුණාදී තෛලය වරුණාදී ඝෘතය ආදියට යොදනවා.
එසේම ලුණුවරණ අඩංගු සංස්කාරික ඖෂධ කිහිපයකුත් දකින්න පුළුවන්.
මේ නිසා ලුණුවරණ කියන්නේ ඖෂධීය වශයෙන් වගේම ආර්ථික වශයෙනුත් අතිශයින් වැදගත් ශාකයක් විදියට හඳුන්වන්න පුළුවන්.
ඒ වගේම ලුණුවරණ වලින් තවත් ප්‍රයෝජනයට රාශියක් තියෙනවා එනම් ලුණවරණ ලී සංගීත භාණ්ඩ, විසිතුරු භාණ්ඩ සහ අල්මාරි සෑදීමටත් වැද්දුම් සහ කැටයම් වැඩ සඳහාත් යොදා ගනු ලබනවා.
එසේම තෙල් මෝල්වල මෝල්ගස්.කෘෂිකාර්මික උපකරණ. වගේම නිවාස ගොඩනැගිලි තැනීමේදී යොදා ගන්නා වටිනා දැව වර්ගයක් ලෙසත් හහුන්වන්න පුළුවන්.
ඉතිං සිරිපාල මහත්තයෝ ලුණුවරණ පොතු කෂාය ටික දවසක් අරගෙන බලමු. ඔය අසනීප තත්ත්වය ඉක්මනින් ම සුව වේවි.”
“හොඳයි වෙද මහත්තය ලුණුවරණ ගැන කියපු විස්තර නිසා මටත් හිතෙනවා මේ මගේ අසනීපයට හොඳම බේත ලුණුවරණ තමයි කියල. මම මේ කෂාය බීල සතියකින් එන්නම් වෙද මහත්තයෝ.”
පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද
වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය
වෛද්‍ය මධුර පරණවිතාන
subasetha
Comments
Post a Comment