“සේකර මහත්තය අද උදේ පාන්දරම මොකද මේ පැත්තෙ? පත්තරේට ලිපියක් වත් ලියන්නද?”
“ඔව්. ඒ අදහසින් තමයි ජයසේන මහත්තයෝ ඔබතුමා හමුවෙන්න ආවෙ. අද බෙහෙත් සාප්පුව වහල නිසා ඔබතුමා විවේකයෙන් ඇති කියල හිතුණා.”
“ඔව්. ඉතින් කියන්න බලන්න. මොකක්ද මගෙන් දැන්ගන්න ඕනෑ”
“ජයසේන මහත්තයෝ. මේ ළමයින්ට හැදෙන පණු අමාරුවලට කුඹුරු ඇට හොඳයි කියනවා. කුඹුරු එච්චර හොඳ බේතක්ද?”
“ඔව් සේකර මහත්තයෝ කුඹුරු කියන්නේ පණු අමාරුවලට හොඳ ඖෂධයක් තමයි.
ආයුර්වේදයට අනුව ගත්තාම පරිසරයයි ආයුර්වේදයයි අතර තියෙන්නේ වෙන් කරන්න බැරි සම්බන්ධතාවයක්. පරිසරයේ තියෙන බොහෝ දේවල් ආහාර සහ ඖෂධ විදියට භාවිත කරනවා. විශේෂයෙන් ශාක ප්‍රජාව ඒ සදහා විශේෂ දායකත්වයක් ලබා දෙනවා .
අපේ පරිසරයේ දකින්න තියෙන විවිධ ශාකයන් අතර ආහාරමය වටිනාකමකින් යුතු ශාක වගේම ඖෂධීය වටිනාකමකින් යුතු ශාකයනුත් බොහෝ තියෙනවා. ඒ වගේම ආහාරමය සහ ඖෂධීය යන දෙයාකාරයම යුතු ශාකයනුත් තියෙනවා .
මේවා අතුරින් කුඹුරු කියන්නේ ඖෂධීය වටිනාකමෙන් යුතු වටිනා ශාකයක්
විශේෂයෙන්ම සේකර මහත්තයෝ පණු අමාරුවලට තමයි කුඹුරු වඩාත්ම හොඳ. ඊට අමතරව තවත් රෝගාබාධ බොහෝමයක් සඳහාත් කුඹුරු විශේෂ ගුණයක් සපයනවා.”
“එතකොට ජයසේන මහත්තයෝ කුඹුරු ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේත් දේශීය වෛද්‍ය ක්‍රමයේත් යන දෙකේදිම භාවිත කරනවද?”
“ඔව්. ආයුර්වේද වෙදකමේ වගේම දේශීය වෙදකමේත් භාවිත කරනවා .
කුඹුරු ඉන්දියාවේ සහ මියැන්මාරයේ නොයෙක් ප්‍රදේශ දකින්න පළුවන්
ඒ වගේම ශ්‍රී ලංකාවේ මුහුදට ආසන්න වියළි ප්‍රදේශවල සුලභව දකින්න පුළුවන්. ඒ වගේම වඩා උස් නැති තෙත් කලාපයේ ගෙවතුවල වගා කරනු ලබනවා.”
“ජයසේන මහත්තයෝ මේ කුඹුරුවල ස්වරූපය කොහොමද?”
“කුඹුරු කියන්නේ බිම වැතිරී උඩට නඟින කටු සහිත පඳුරක්. මෙහි කඳ අලු පාටක් ගන්නවා. මේවායේ පත්‍ර සංයුක්තයි. පත්‍රිකා යුගල 6- 8 ක් දක්වා තියෙනවා. කොකු ගැඩය ඇති කටු පහළ පෘෂ්ඨයේ තියෙනවා. ඒ වගේම කහපාට දීප්තිමත් මල් පොකුරු වශයෙන් පිහිටා තියෙනවා. මේවායේ හටගන්නා කරල් ශක්තිමත් ඒ වගේම කටු සහිතයි. මෙහි ඇති බීජ විශාලයි .අණ්ඩාකාරයි.”
“එතකොට කුඹුරු හඳුන්වන්නේ මොන නම් වලින්ද සේකර මහත්තයෝ?”
“සංස්කෘත භාෂාවෙන් ඝෘත කරඤ්ජ, පූති කරඤ්ජ, කණ්ටකී කරඤ්ජ, පූතික, පූතිය, ලතා කරඤ්ජ, කුබේරාක්ෂ, ආදි නම් යෙදෙනවා.
ඒ වගේම යක්ෂාක්ෂි කියලත් කියනව ඒ වගේම හන්දි භාෂාවෙන් කාට්කරඤ්ජ සහ කරඤ්ජුවා ආදි නම් යෙදෙනවා දෙමළ භාෂාවෙන් පුනයික්ක ලයිච්චි යනුවෙන් යෙදෙනවා ඉංග්‍රීසි භාෂාවෙන්
Bonduc Nut සහ Fever Nut යන නම් යෙදෙනවා කුඹුරුවල උද්භීද විද්‍යාත්මක නාමය
Caesalpimia bonduc ( L )Roxb වන අතරම කුලය වන්නේ
LEGUMINOSAE හෙවත් ශිම්බී කුලයයි.”
“එතකොට ජයසේන මහත්තයෝ කුඹුරුවල පංචාංගයම ඖෂධ සඳහා ගන්නවද?”
“ඔව් සේකර මහත්තයෝ කුඹුරු බීජ, පල, මුල සහ කොළ යොදා ගන්නවා.”
“කුඹුරුවල ඖෂධීය ගුණ කර්ම ගැනත් විස්තර කරනවද ජයසේන මහත්තයෝ.?”
“කුඹුරු ඇට මදය රසයෙන් කටුක සහ තික්තයි. ගුණයෙන් ලඝු රූක්ෂ සහ තීක්ෂණයි වීර්‍යයෙන් කටුකයි. කුඹුරුවල සෙම් සහ වාත සමන ගුණ යුතුයි. ඒ නිසා සෙම් වාත රෝග සඳහා යොදා ගනු ලබනවා බාහිර වශයෙන් ඉදිමුම් මෙන්ම වේදනා සහිත ආබාධවලදිත් එනම් ආමවාත හා සන්ධි ඉදිමීම් ආදියේදී මෙහි තෙල ආලේප කරනු ලබනවා. එසේම අභ්‍යන්තර වශයෙන් බඩගිනි වඩන, අක්මා උත්තේජන සහ අනුලෝමන ගුණ කුඹුරුවල ඇති නිසා බඩගිනි අඩුකම, වේදනා, අර්ශස්, උදර රෝග, අක්මා රෝග, ප්ලීහාවේ රෝග සහ පණු අමාරු ආදියට යොදනු ලබනවා.
ඒ වගේම ලේ පිරිසිදු කරන ගුණයත් ඉදිමුම් නසන ගුණයත් මෙහි ඇති නිසා උපදංශ වැනි ලේ දූෂිත රෝග සඳහා ප්‍රයෝග කරනු ලබනවා
සෙම් නසන සහ හතිය නසන ගුණ මෙහි ඇති නිසා කැස්ස හා ඇදුම ආදියට උපයෝගි කරගනු ලබනවා
විශේෂයෙන් ගර්භාෂ උත්තේජන ගුණ මෙහි පවතින අතර ගර්භාෂ ශෝධනය සඳහාත් උණ, වේදනා සහ ඉදිමුම් නසනු සඳහාත් සූතිකාවන්ට දෙනු ලබනවා
තවද කුඹුරුවල මූත්‍ර කාරක ගුණද යුතු නිසා මූත්‍ර කෘච්ජ්‍ර (වේදනා සහිතව හෙමින් මූත්‍ර පිටවීම) සඳහා යෙදීම වඩාත් යෝග්‍යයි.
එසේම කුෂ්ඨ නසන ගුණත් මෙහි පවතිනවා .
ඒ වගේම උණ නසන ගුණ මෙහි ඇති බැවින් දීර්ඝකාලීන උණ නැසීමේ ප්‍රතිශක්තිය මෙහි පවතිනවා යයි කියනු ලබනවා.
එයට හේතුව කුඹුරු ඇට මදය ඇසුරු කරන තික්ත කොටස ක්විනින් මෙන් ක්‍රියා කරන නිසයි.
ඒ වගේම කුඹුරු කොළ සහ මුල් ද උණ නසන ගුණයෙන් යුතුයි ඔය වගේ ගොඩක් විස්තර තියෙනවා කුඹුරු ගැන.”
“ජයසේන මහත්තය කුඹුරු පැළෑටිය ගැන හොද විස්තරයක් ඉදිරිපත් කළා. අපි නොදන්නා ගොඩක් කරුණු එයින් දැන ගත්තා.
ඒ වගේම කුඹුරු අඩංගු ඖෂධ යෝගත් ගොඩක් ඇතිනේ. ඒවත් ටිකක් කියන්න පුළුවන් ද?”
“හොඳයි සේකර මහත්තයෝ . අපි ඒවත් ටිකක් දැන ගමු.
රක්ත අතීසාරයට
කුඹුරු ඇට කංසා සමඟ ප්‍රයෝග කරනු ලබනවා
කැස්ස සහ හතියට කුඹුරු ඇට ක්වාථය හොඳයි. කුඹුරු ඇටයක මදයෙන් අඩක් කරාබු නැටි 2ක් හෝ 3 ක් සමඟ අඹරා දිය හැකියි.
අණ්ඩ වෘද්ධි සහ අණ්ඩ ශෝථ සඳහා කුඹුරු ඇට චූර්ණය එරඩු කොළවල හෙලා අණ්ඩ කෝෂ වසා බැදීමත් බීජ ක්වාථය බීමත් හොඳයි
බරවා සඳහා
කුඹුරු කොළ යුෂ බීමට දීම සුදසුයි
ඉදිමුම්වලට
කුඹුරු ඇට මද එරඩු තෙල්වලින් අඹරා ආලේප කරනු ලබනවා
පණු අමාරුවලට කුඹුරු ඇට මද. ඉඟුරු සුදුළූණු, වලඟසාල් කුඩු වත්කර බීම හෝ කෂාය ලෙස යොදනු ලබනවා
එසේම කුඹුරු දලු, දෙහි දලු, කොටා උණු අළු පල්ලේ තම්බා යුෂ මිරිකා බීමට දෙනු ලබනවා. තුවාල, කල්ගත වූ තුවාල, කණෙන් සැරව වැගිරීම් ආදියට කුඹුරු ඇට තෛලය යොදනු ලබනවා.
ඒ වගේම සංස්කාරික ඖෂධ ලෙස කුඹුරු ඇට චූර්ණය පොත්ත ඉවත් කර වියලා චූර්ණ කර කාඩියෙන් අඹරා ජලෝදර ආදියට යොදනු ලබනවා. කුඹුරු ඇට චූර්ණය 2 බැද කුඩුකර ගත් ඇට චූර්ණය අණ්ඩ වෘද්ධියේදීද මහා කුෂ්ඨයේදීද අභ්‍යන්තර වශයෙන් යොදා ගනු ලබනවා. කුඹුරු ඇට මද තෛලය කුඹුරු ඇට මද වියලා මිරිකා ගත් තෛලය කණෙන් සැරව වැගිරීමේදී සහ ආම වාතයෙන් හටගත් සන්ධි ඉදිමුමට ආලේප කරනු ලබනවා. දන්ත මංජනය දවාගත් කුඹුරු ඇට සීනක්කාරම් සහ දවාගත් කරුංකා පුවක් සියුම් චූර්ණය. විදුරු මස ඉදිමීම සහ විදුරු මසේ ගෙඩි ආදිය සමනය සඳහා යොදා ගනු ලබනවා.
ඒ වගේම
යක්ෂාක්ෂ්‍යාදී ලශුනං පත්‍යා ආදි කෂාය පණු අමාරුවලට යෙදෙන සුප්‍රකට කෂායක් වන අතර මෙහි ඇති ප්‍රධානම ද්‍රව්‍ය වන්නේ කුඹුරු ඇට මද යි.
එසේම වාත අමාරු වගේම පක්ෂාඝාත ආදියට යොදනු ලබන තැවිලි ආදියට නැතුවම බැරි ද්‍රව්‍යයක් ලෙස කුඹුරු ඇට මද හදුන්වන්න පුළුවන්.
එසේම දේශීය දලු අනුපාන බොහොමයකදී කුඹුරු දලු ගනු ලබනවා.
ද්ශීය වෙදකමේ තිබෙන බොහෝ ගුලි කල්කවල අනුපාන සඳහාද මෙය බොහෝ සෙයින් යොදා ගනු ලබනවා.”
ඉතින් සේකර මහත්තයෝ කුඹුරු ගැන සම්පූර්ණ විස්තරයක් ඔන්න මම කීවා. මම හිතන්නේ මේ කරුණු ටික ඔබතුමා ට ප්‍රමාණවත් වේවි. හොඳ ලිපියක් සකස් කරන්න.”
“ඔව් ජයසේන මහත්තයෝ ඔබතුමා විස්තර කරපු කරුණු ටික මට හොඳටම ප්‍රමාණවත් මට අවශ්‍ය කරන ලිපිය සකස් කරන්න.
“ඒ වගේම මමත් නොදන්න කරුණු රාශියක් ඉගෙන ගත්තා. ඒ නිසා ඔබතුමාට ගොඩක් ස්තූතියි. මේ කළ උදව්වට.”
පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද
වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය
වෛද්‍ය මධුර පරණවිතාන
subasetha
Comments
Post a Comment