“සුනෙත් මල්ලි. කොහොමද දැන් උසස් පෙළ නේද කරන්නෙ. මොකද මේ පැත්තෙ? මොනව හරි උවමනාවක් ද?”
“ඔව්. සිසිල් අයියේ. මම දැන් උසස් පෙළ තමයි කරන්නේ. මම මේ දැන් ආවෙත් අයියා මුණ ගැහෙන්නමයි.”
“ඇයි මොකද සුනෙත් මොනවාද මගෙන් කෙරෙන්න ඕනේ?”
“සිසිල් අයියා දැන් ආයුර්වේද විද්‍යාලයේ අවසාන අවුරුද්දෙ නේද? අයියෙ. මට මගේ උසස් පෙළ ව්‍යාපෘතිය ට අයියගෙන් කරුණු ටිකක් දැන ගන්න ඕනේ... ඒකටයි අයියෙ ආවෙ”
“ඔව්. කියන්න් මල්ලි මගෙන් මොනවාද කෙරෙන්න ඕනෙ”
“අයියෙ. මට කුකුරුමුවන් පැළෑටිය ගැන විස්තර ටිකක් දැන ගන්න ඕන. ඒකට තමයි අයිය මුණ ගැහෙන්න ආවෙ“
“ආ... ඒකද උවමනාව?
හරි. මම ඒ ගැන විස්තර කරන්නම්
මූලිකවම කිව්වොත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සදහන් වන පංච කර්මවල එක් ප්‍රධාන කර්මයක් වන වමන කර්මයේදි යොදා ගන්න වමනාදී ගණයේ ඖෂධවල ප්‍රධානම ඖෂධ ද්‍රව්‍යය විදියට හඳුන්වන්නේ කුකුරුමුවන්
ඒ වගේම කුකුරුමුවන් වමන කර්මයට අමතරව ඉදිමුම් රෝග අවස්ථාවලදී යොදා ගනු ලබන ඖෂධ යෝග සඳහා බොහෝ සෙයින් යොදා ගනු ලබනවා. විශේෂයෙන් ශ්ලීපද (බරවා) රෝගයේදී යොදනු ලබන ආලේපවල බෙහෙවින් කුකුරුමුවන් අඩංගුයි.”
“එතකොට සිසිල් අයියේ කුකුරුමුවන් වැඩිපුර වැවෙන්නෙ කොහේද?”
“විදේශීය වශයෙන් ගත්තාම හිමාලය සමීප පර්වත ප්‍රදේශ ජම්මු සිට සීකිම් දක්වා සින්ඩ්, කුච්බිහාර්, මහා රාෂ්ට, දක්ෂිණ භාරතය ආදි ප්‍රදේශවල හොඳින් වැවෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ වනගත ප්‍රදේශවල වැවෙන නමුත් බහුල වශයෙන් දකින්න නැහැ.”
“අයියේ. කුකුරුමුවන් කියන්නේ ලොකු ගහක්ද?”
“සාමාන්‍යයෙන් අඩි 20 ක් විතර උසට වැවෙන ශාකයක්. ඒ වගේම කුකුරුමුවන් ගාල් ගැසී වැවෙන පැළෑටියක්. රවුම් හැඩැති මකුළු කොළවලට සමාන කොළ ඇති මේ ශාකයේ කුඩා පේර ගෙඩියක් තරම් වූ තිඹිරි ගෙඩිවල හැඩහුරුකමින් යුතු ගෙඩි පවතිනවා .
මේ ගෙඩිවල තියෙන විශේෂත්වය තමයි ගෙඩිය පහළින් බුරියක් වගේ හැඩයක් පිහිටලා තිබීම. කට හාරවන කටුක රසයකින් යුක්ත මේ ගෙඩි ලාදුරු රෝගයට සහ සෙම අධික ඉදිමුම් රෝග වලට ඖෂධ වශයෙන් යොදනු ලබනවා. ඒ වගේම මේ කුකුරුමුවන් ගෙඩි ආරක්ෂා සහිත හොඳම ළය විරේකයක්. එසේම මේ ගෙඩි තද මත් ගතියෙන් යුතුයි. ඒ නිසා නොයෙක් සතුන් මත් කරලීමටත් මේ ගෙඩි යොදා ගනු ලබනවා
ඒ වගේම මේ ශාකය කටු සහිතයි. මේ ගෙඩිවල ඇති බීජ මහ එන්සල්වලට සමානයි.
උතුරු ඉන්දියාවේ වෙළෙඳපොළවල මදනඵල තිප්පිලී (කුකුරුමාන් තිප්පිලී ) ලෙස හඳුන්වන්නේ මේ කුකුරුමාන් ඇටයි. මේ ඇටවල සුවඳවත් තෙලක් ද තියෙනවා.”
“එතකොට සිසිල් අයියේ කුකුරුමාන් හඳුන්වන වෙනත් නම් මොනවාද?”
“සුනෙත් මල්ලි කුකුරුමාන් හඳුන්වන නම් රාශියක් තියෙනවා. පොදු සිංහල නාමයන් වන්නේ කුකුරුමාන සහ කුකුරුමුවන් යන නාමයන් සංස්කෘත භාෂාවෙන් මදන, ජර්දක, පිණ්ඩ, පිණ්ඩිතක, මරුවක, ශල්‍යක, ශෝලඵල, විෂ පුෂ්පක, ඵල ශ්වසන, නටරාඨ රාඨ කරහාට ආදි නම් රාශියක් යෙදෙනවා.
හිංදි භාෂාවෙන් මෛනඵල, මත්‍රන් ඵල සහ මදන යන නම් යෙදෙනවා දෙමළ භාෂාවෙන් මරුක්කලන් කායි. සහ පුන්ගරායි යන නම් යෙදෙනවා ඉංග්‍රීසි භාෂාවෙන් Ematicnut නම යොදනවා. කුකුරුමාන්වල උද්භිද විද්‍යාත්මක නාම Randia dumetorum Li සහ Ctunaregam spinosa ලෙස ගැනෙන්නේ.
කුලය RUBIACEAE හෙවත් මංජිෂ්ඨා කුලයයි.”
“සිසිල් අයියේ එතකොට කුකුරුමාන්වල මොන කොටස් ද ඖෂධ සඳහා යොදා ගන්නෙ?”
“කුකුරුමාන්වල පංචාංගයම ඖෂධ සඳහා යොදා ගන්නවා. විශේෂයෙන් ගෙඩි සහ ඇට ගනු ලබනවා.
“කුකුරුමාන් කල් තියා ගන්නෙ කොහොමද අයියෙ?”
“කුකුරුමාන් කල් තියා ගන්නා ක්‍රමය ටිකක් සංකීර්ණයි. පණුවන් නොකාපු ලොකු ගෙඩි ශුභ දිනයක කඩාගෙන කුසතණවලින් සකස් කළ මල්ලක දමා ඊට පස්සෙ ඒ මල්ලෙ ගොම ආලේප කර වියළා ගත යුතුයි. ඊට පස්සෙ බාර්ලි, කොල්ලු, උඳු ආදි ධාන්‍ය රැසක් මැද දින 8 ක් තැබිය යුතුයි. එවිට එම කුකුරුමාන් ගෙඩි සියල්ලම මෙලෙක් වී මී පැණි සුවඳින් යුක්ත වෙනවා ඉන් පස්සෙ කුසතණ ඉවත් කර අව්වේ වියලා ඇට වෙන්කරගෙන එම ඇට ගිතෙල්, මීපැණි සහ තල පිටි සමඟ හොඳින් කලවම් කර නැවත වියළා ඉතා පිරිසුදු වියළි මැටි කලගෙඩියක දමා හොඳින් පියන වසා තබා අවශ්‍ය වෙලාවට ප්‍රයෝජනයට ගත හැකියි. ඒ වගේම කුකුරුමාන් ප්‍රභේද 2ක් තියෙනවා කළු වර්ගය සහ සුදු වර්ගය වශයෙන්. මේ වර්ග දෙකේම ගුණයේ වෙනසක් නැහැ.
“එතකොට සිසිල් අයියේ කුකුරුමාන්වල ඖෂධීය ගුණ කොහොමද?”
“කුකුරුමාන් රසයෙන් මධුර, තික්ත සහ කෂාය රසයි. ගුණයෙන් ලඝු සහ රූක්ෂයි. වීර්‍යයෙන් උෂ්ණයි. විපාකයෙන් කටුකයි. ප්‍රභාවයෙන් වමන කාරකයි. ශාරීරික ක්‍රියා සැලකුවාම බාහිර වශයෙන් කුකුරුමාන් ගසේ පොත්ත ඉදිමුම් නාශක, වේදනා නාශක සහ තුවාල සමන ගුණ යුතුයි.
ඒ නිසා ඉදිමුම් වේදනා සහිත ආම වාත ආදි ආබාධවලදි මෙන්ම තුවාල ආදියේදී කුකුරුමාන් පොතු මෙන්ම මැලියම් ද ආලේප වශයෙන් යොදනු ලබනවා
එසේම තුවාල ශෝධනයටත් කූකුරුමාන් ඉතාමත් හොඳයි . උදර වේදනාවලදී කුකුරුමාන් ගෙඩි විනාකිරෙන් අඹරා නාභියේ ආලේපය සුදුසු යි. මුඛයේ ආබාධවලදිත් කුකුරුමාන් යෝග්‍යයි.අභ්‍යන්තර වශයෙන් ගත්තාම ස්නායු පද්ධතියේදී කුකුරුමාන් පොතු කෂාය, ස්නායු ආබාධ වගේම වාත රෝග සඳහා ගනු ලබනවා. ඒ වගේම කුකුරුමාන් සෑම අතින්ම උසස් වමන කාරකයක්. මේ මඟින් ප්‍රමාණවත් ලෙස වමනය සිදු වන අතර කිසියම් උපද්‍රවයක් හට ගන්නේ නෑ.
කුකුරුමාන් පොතු, ගෙඩියේ ලෙලි සහ ඇට වමන කර්මයට යෝග්‍ය වන අතර ඉන් ලෙලි සහ ඇට ඉතා ශ්‍රේෂ්ඨයි.
ඒ වගේම කුකුරුමාන් ගෙඩි විරේචන පිත්ත නිස්සාරක සහ පණුවන් නසන ගුණ යුතුයි. එසේම කුකුරුමාන් පොතු ග්‍රාහි ගුණ යුතු අතර ග්‍රහණි ආමවාත. අතීසාර සහ උණ රෝගවලදි අභ්‍යන්තරව යොදනු ලබනවා
ඒ වුණත් නව්‍ය මත අනුව පොත්ත හෝ ඇට හෝ වමනකාරක නොවන බව කුකුරුමාන් ගෙඩිවල ඇති ලොඳ (Pulp) පමණක් වමනකාරක බවත් දක්වා තිබෙනවා. වමනය සඳහා පැසුණු කුකුරුමාන් ගෙඩියක් අරගෙන පිටිකර වතුර තෝලා 5කින් අනා පැයකට පසු හොදින් අඹරා රෙදි කඩකින් පෙරා මීපැණි සහ සහිද ලුණු මිශ්‍ර කර උදේ හිස්බඩ පෙවීමෙන් පැයකට පමණ පසු වමනය ආරම්භ වෙනවා. සමහර අයට වමනයට පසු විරේක වීමට ද පටන් ගන්නවා.
ඒ වගේම මලබද්ධය, ගුල්ම කෘමි සහ පිත් රෝග සඳහා කුකුරුමාන් බීජ චූර්ණය යෙදීම සුදුසු අතර ප්‍රවාහිකාවේදී දිය යුත්තේ කුකුරුමාන් පොතු කෂායයි අතීසාරයේදී කුකුරුමා ගෙඩියේ ලොඳ කොටස යොදනු ලබනවා.
ඒ වගේම කුකුරුමාන්වල ලේ පිරිසුදු කරන ගුණ සහ ඉදිමුම් නසන ගුණ යුක්ත නිසා ලේ දූෂිත රෝග සහ ඉදිමුමේදි ප්‍රයෝග කරනු ලබනවා.
ඒ වගේම කුකුරුමාන්වල සෙම පිටකරන ගුණ යුතු නිසා ප්‍රතිශ්‍යා, කාස, ශ්වාසවලදී යොදනු ලබනවා
එසේම කාන්තාවන්ගේ වේදනාකාරී ඔසප් වීම්, දුෂ්කර ප්‍රසව ආදියට යෝග්‍ය වන අතරම ආර්තවජනක සහ ගර්භපාතක ක්‍රියාවන්ගෙන් යුතුයි. එසේම කුකුරුමාන් ගෙඩි දහඩිය වඩන සහ කුෂ්ඨ නසන ගුණ යුතු අතර කුෂ්ඨ රෝගවලදි ප්‍රයෝග කරනු ලබනවා ඒ වගේම උණ නසන ගුණ යුතු අතර දහඩිය ඉපදවීම සහ දෝෂ ශෝධනය සඳහා උණ රෝගයේදී ප්‍රයෝග කරනු ලබනවා. එසේම ලේඛන සහ විෂ නසන ගුණ යුතු අතර මේදෝ රෝගයේදී මෙන්ම සර්ප විෂ සඳහා ද යොදනු ලබනවා. ඒ වගේම කුකුරුමාන් වාත රෝගවලදි සුරා ආදි අම්ල සමඟ ද පිත් රෝගවලදි රට මිදි, නෙල්ලි, මීපැණි, වැල්මී, උගුරැස්ස, කිරි ආදි මධුර ද්‍රව්‍ය සමඟ ද සෙම් රෝගවලදි මීපැණි . එළමූත්‍ර ආදි සෙම් නසන ද්‍රව්‍ය සමඟ ද ප්‍රයෝග කිරිම යෝග්‍යයි.”
“සිසිල් අයියේ කුකුරුමාන් ගැන හොඳ විස්තරයක් අයියා ගෙන් ලැබුණා. මේ ටික හරි වැදගත් .අයියෙ තව කුකුරුමාන් අඩංගු ඖෂධ යෝග කිහිපයකුත් කියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.”
“ඔව් සුනෙත් මල්ලි අපි ඒ ගැන කතා කරමු
කාස ශ්වාස සඳහා
කුකුරුමාන, වැල්මී එරබදු පොතු චූර්ණය යොදනු ලබනවා. උදර වේදනා ආදියේදී කුකුරුමාන් චූර්ණය කාඩ් වලින් අඹරා බඩේ ගානු ලබනවා. අධෝගත රත්පිතට කුකුරුමාන් ඇට යොදා පිසගත් කිරි හෝ කිරි කැඳ බීම සුදුසුයි. රක්තාතීසාර හිසේ වේදනා ආදියේදී ගැළපෙන මාත්‍රාවකින් කුකුරුමාන් ලොඳ යෙදීම සුදුසුයි.කක්කල් කැස්සට සහ උන්මාදයට කුකුරුමාන් ලොඳවල තරල සාරය බිංදු 15- 60 මාත්‍රාවෙන් යෙදීම සුදුසුයි. අංඩකෝෂ ඉදිමුම, උදර වේදනා, හිසේ වේදනා ආදියේදී කුකුරුමාන, වැල්මී, එරබදු පොත චූර්ණය යොදනු ලබනවා.
සර්ප විෂට කුකුරුමාන් මුල් නරමූත්‍රයෙන් අඹරා අඳුන් දීම සහ වියළි ලොඳ සුදුසු සහපානයකින් පෙවීම යෝග්‍යයි.
දත් ඒමේදී හටගන්නා උණට
ලොඳවලින් සකස් කළ පිටි විදුරුමසේ සහ තල්ලේ ආලේප කරනු ලබනවා
වදභාවයට
ගර්භාෂගත ඉදිමුම් සහ ඔසප් වීමේ ආබාධවලදි කුකුරුමාන් බීජ චූර්ණය සීනි දමා කිරි සමඟ බීම සහ එම චූර්ණය ගුඩ සමඟ අඹරා ගුලි සාදා යෝනියතුලට යැවීම ද යෝග්‍ය යි. සුනෙත් මල්ලි මේ වගේ ඖෂධ යෝග රාශියක් කුකුරුමාන් අඩංගු ව යෙදෙනවා. ඒ වගේම කුකුරුමාන් අඩංගු සංස්කාරික ඖෂධ යෝග අතර මදනාදී ලේපය මදනඵල චූර්ණය කෝලශ්ලේෂ්මා තෛලය ආදිය ප්‍රධාන වෙනවා
මම හිතනවා සුනෙත් මල්ලිට අවශ්‍ය කරුණු රාශියක් දැන ගන්න පුළුවන් වුණා කියලා”
“ඔව් සිසිල් අයියේ කුකුරුමාන් ගැන හොඳ විස්තරයක් මට ලැබුණා. මට කරපු උදව්වට අයියට ගොඩක් පින්.”
පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද
වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය
වෛද්‍ය මධුර පරණවිතාන
subasetha
Comments
Post a Comment