අදින් වසර 2500කට පෙර භාරතය තුළ අධි වන්දනාමනයෙන් යුක්ත එක් දෙවියකු විය.”ඒ මහා බ්‍රහ්මයාය”.භාරතීය ජනයා මහා බ්‍රහ්මයා හැදින්වූයේ සියල්ලේම මැවුම් කාරයා ලෙසය.
ඉර, හඳ, ජලය, විදුලිය, වර්ෂාව, සුළඟ, මහ පොළොව, මනුෂ්‍යන් මවන ලද්දේ මහා බ්‍රහ්මයා යයි ඔවුන් විසින් විශ්වාස කරන ලදී. බ්‍රහ්මණ වේද ඉගැන්වීම් ප්‍රධාන කොටස් හතරකි. සෘග්, යජුර්, සාමන්, අතර්වන්
මේ සියල්ලක්ගෙන්ම ඉගැන්වූයේ මහා බ්‍රහ්මයා තරම් මේ ලෝ බලවත් දෙවියකු මනුෂ්‍යයකු නැතැයි යන්නයි. විෂ්ණු,ශිව(ඊශ්වර) බ්‍රහ්ම යන ත්‍රීමූර්ත ප්‍රධාන දෙවිවරු තිදෙනාගේ ප්‍රධාන දෙවියන් බ්‍රහ්මයි. මහා බ්‍රහ්මයාට හිස් සතරකී,ඇස් අටකී,මුඛ සතරකී අත් සතරකී, එක් අතක නෙලුම් මලක්ද, අනෙක් අතේ වේද ග්‍රන්ථයද,තවත් අතක පැන් කෙන්ඩියක්ද,තවත් අතක රුද්‍රාක්ෂ ඇට මාලයක්ද දරාගෙන මහා නීල සාගරයේ නෙලුම් පද්මාසනයක වැඩ හිදි. ශාන්ත භාවයෙන්ද එඩිතර බවෙන්ද යුත්ත වන බුද්ධිය සහ සෞභාග්‍යය දෙවියන් අතර අගතැන්පත් දෙවියා මහා බ්‍රහ්ම විය. භාර්‍යාවන් සරස්වතී සහා ගායත්‍රිය,වාහනය හංසයාය. වාසස්ථානය මහාමේරුව සහ අගනිටා බඹලොවටත් ප්‍රධානව වැඩ වසයි.
බෞද්ධ සාහිත්‍යය තුළදී බ්‍රහ්මයන් පළිබඳ බොහෝ කියවීම් ඇත. සිද්ධාර්ථ තවුසාණන් බුදු වු විගස අෂ්ට පරිෂ්කාර පූජා කරන ලද්දේද මහා බ්‍රහ්මයා විසිනි. සහම්පතී,ගවම්පති සහ තවත් බ්‍රහ්මනයන්” ගැන බොහෝ කරුණු බෞද්ධ සාහිත්‍යය තුළ කියවේ. ඒ වාගේම බක බ්‍රාහ්මණ දමනය පිළිබඳ ජයමංගල ගාථාවේ මෙසේ සදහන් වේ.
“දුග්ගාහදිට්ථි භුජගේන සුදට්ඨ හත්ථංදාසක්
බ්‍රහ්මං විසුද්ධි ජුතිමිද්ධි බකාභිධානං
ඤාණාගදේන විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු (තේ) ජය මංගලානී.......”
“ලොවේ බබළනා එළියෙන් දිමුත් වූ
බෝසේ පසන් මහබඹා වරදී වදාළා
යහපත් උතුම් නැණ බෙලෙන් දිනුවේ මුනින්දා
ඒ තේජසින් ජය මඟුල් ඔබට ලැබේවා..! “
සිංහල දේව පුරාණයේද මහා බ්‍රහ්මයාට සුවිශේෂී ස්ථානයක් ලබා දී ඇත. මන්ද යත් ආයූර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මහා බ්‍රහ්මයාට විශේෂ ස්තානයක් හිමි වේ ඒ ආයූර්වේද ඉතිහාසයේ මූලාරම්භය මහා බ්‍රහ්මයාගෙන් සිදු වූ බව කියවේ. මහා බ්‍රහ්මයා තව ස්වයංභූ ඥානයෙන් අවබෝධ කොටගත් ආයුෂ වර්ධනය පිළිබඳ වේදය “ආයූර්වේදය” ලෙස හැඳින්වේ.
අපගේ පාරම්පරික තෙල් බෝක්ශයක( පූරණ පුස්කොලපොත් වට්ටෝරුවක)මහා බ්‍රහ්මයාට බොහෝ සේ සුසැදී අගනා කාරණා රාශියක් සඳහන් වේ. ඒ මහා බ්‍රහ්ම රාජ තෛලයයි. ලංකාව තුළ ඓතිහාසික මෙන්ම වටිනාකම් රාශියක් ඇති තෛල වර්ග ගැන අපි ගිය සතියේ ලිපියෙන් කතා කළෙමු.
එහෙත් රාජකීය ගණයට අයත් තෙල් අතර බ්‍රහ්මයාට සමාන කළ තෛල රාජයක් සමුව නැත. නමුදු අපගේ පාරම්පරික පුස්කොළපොතක එම බ්‍රහ්මරාජ තෛලය ගැන සඳහනක් ඇත.පුස්කොළ පොතෙහි මෙම තෛලය මෙසේ ලියා සටහන් කොට ඇති නමුදූ තෙල සෑදිය හැක්කේ වෛද්‍ය ශාස්ත්‍රය මනා සේ ප්‍රගුණ කළ වූවන්ට වන ලෙස මෙය ලියා සකසා ඇත.වට්ටෝරුව දැනගත් පළියට මේ තෛලය සිඳිය නොහැකිය. මන්ද යත් මෙයට අදාළ නැකත්, ඖෂධ ලබා ගන්න විදි, ස්ථාන, දින කාල හෝරා, මාරණ විදි, යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර යන බොහෝ කරුණු රාශියක් ඇත. ඒවා මේ ලිපියට සම්බන්ඳ කර නොමැති අතර වට්ටෝරුවද සම්පූර්ණ කර නොමැත. මේ ලිපියද පළ කරන ලද්දේ මෙවැනි වටිනාකමකින් හෙබි තෙල් තවමවත් මේ ලක්දිව ඇති බව පෙන්වීමටය. අතීතයේ සකසන ලද අප පරම්පරාව සතූ විශේෂය “මහා බ්‍රහ්ම රාජ තෛලය” මේ වේ.
මෙහි ගුණ නම්,
මෙම උතුම් තෛලය ළඟ තිබෙන කෙනෙකුට කිසිදු වාත පිත සෙලෙස්මල තුන් දොස් රෝග, පිස්සු විකාර අංශ භාග, අජීර්ණ, අර්ශස් ,අංගං යක්ෂ ප්‍රේත පිසාච අනවින කොඩිවිණ හදි හූනියම් ආදි දහසකුත් රෝග,මෝහ,බයාන්ධකාර නොවදින අතර මේ තෙල ළඟ තබා ගත් විට දී පවා නීල පීත බුදුරැස් විහිදෙනවා හා සමාන වන බව කියවේ. එයින් අදහස් වනුයේ ඕනෑම මනුස්සයකු වටා ඇති විද්‍යාත්මකව පිළිගත් ඕරා වළල්ල ශක්තිමත් වන ඖෂධීය ගුණයක් මෙහි ඇති බවයි. මේ තෙල කය සහ මනස සුවපත් කිරීමට බොහෝ උපකාරි වේ. එබැවින් කායික මානසික සුවයටත් අන්‍ය බාහිර කරදරයන්ගෙන් අතමිදීමටද මෙය හේතුවන බව සඳහන් වේ.
මේ තෛලය රතු පැහයකින් යුක්ත වන අතර අඩිය යට රිදි මෙන් දිලිසේ. සුවඳ සෞම්‍ය වන අතර තෛලය දිය හා සමානය. හංසයා කිරෙන් දිය වෙන්කරන්නා සේ මෙයද දිය වෙන් කළ හා සමානය. අප මේ තෛලයෙන් බොහෝ ගුණ අත්දැකීමෙන් ලබා ගෙන ඇත. මේ තෛලය අප පරම්පරාගතව පැමිණෙන වටිනා තෛලයකි. මේ තෙල්වල ආරකෂාව පිණිස අතීත මුතුන් මිත්තන් මේ දෑ සොරාගත් පමණට මේ තෛලයවත් පත පොතවත් වට්ටෝරු මන්ත්‍රත් වැඩ නොකරන ලෙසට
“බැඳ යකුන් නොබැඳ යකුන් ලිහුයකුන් නොලිහුව යකුන්ගෙන් බැන්දෙමි...
හොරාට වනචරයාට, අසත්පුරුෂයාට වින වී නැසියන් උන්ගේ දරු මුණබුරන්ද එක වළෙහි වලලාන්ට සිද්ද වෙයන්....
මෙකී තෙල ඇති අප පරපුර රැකියන් දිවිතුරා සත්තයි දෙස් බොරු නැතී.....” යැයි දෙස් දිවිරිලි කොට ලියා සෑම පොතකම ජීවම් කරන ලද කටු මන්ත්‍ර නූල් ගසා ලේ වලින් ලියා අත්සන්කොට ලෙයින් කලු මැද ඇත්තේ මේවාගේ මතූ ආරක්ෂාව වෙනුවෙන් විය හැකිය.
මේ තෛලය අප පූජනීය ස්ථානයක තබා වත් පිළිවෙත් තබන්නේ මෙහි ගුණ සිහිපත් කිරීමටය. මෙය හුදෙක් ඖෂධ ගුණ ඇති වටිනා තෙලක් වන අතර මෙහී ශක්තීන් පිළිබඳව සත්‍ය අසත්‍යතාවය මා නොදන්නා බවත්, නමුත් පෞද්ගලික වශයෙන් මෙහි සත්‍ය මා හොඳින්ම දැක ඇති බවත් මතක් කළ යුතුය. මෙය හුදෙක් පළ කරනුයේ අන්මත දාරීන්ගේ මන දොළ පිරවීමට නොව නැතිවීයන ශාස්ත්‍රයම සහ බුද්ධිමය ගවේෂණාත්ම තොරතුරක් නොනැසී ගොස් ඉදිරියට පවත්වාගෙන යෑමේ චේතනාවෙනුත්, පරම්පරාවෙ මියගිය ඥාති සමුහයාට පිං පිණිසත් දේශිය වෛද්‍ය චිකිත්සාවේ මතු උන්නතිය උදෙසා මේ තෛලය ගැන මෙසේ සටහන් කරන්නෙමී.
මහා බ්‍රහ්මරාජ තෛලය
“වරා ඔළිද නික පතකතුක් කොසඹ දළු හීරැස්ස දළු සමව ගෙනා
වැටකේ අරළු ද එල නෙටුල් ද මුල් මෙකී යුසෙන් නැලි නැලි බැගිනා
මෙකී මේ ඖෂධ භාජනය කවලමින් එල මුත්‍රයෙන් දෙකක් ගෙනා
තල තෙල් නැලියක් එහි වක්කරමින් කසාය ශලකට යොදා ගෙනා...”
“මිස්ත්‍රා පදමට කරලනු පදමින් කර නොවරද තෙල් බා රැගෙන් නේ
මිස්ත්‍රා ලෝ භාජනයට පෙරමින් පලමුව ඉසිවරු කී ලෙසින් නේ
දෙස දැන ඉස කන වක්කරමින් සත් දින පානය කළොතින් නේ
ඇඟ ඉස බැඳ පානය කරවූවොත් ඉසිවරු කී ලෙස සඟ ගුරු වන නේ...”
“කපාළ වායුද කපාළ සන්නිද අංශෙක අතපය ඉදිමෙන් නේ
අංසෙක අතපය පන නැතිවීමත් හිරි වායුද ලෙඩ නොති බෙන් නේ
කැදැල් වාදන් එඩෙප්පූ වාදන් උදර වායු හැම පැන යන් නේ
අංසෙක තුනටිය හිරි වැටිමින් යන වායු එවාදන් නොති බෙන් නේ...”
“දෙපා සන්දි හිරි වැටුණන් කෙවටුන් යන හ්‍රි වාදන් ලෙඩ ඇර යන් නේ
දෙසිය දෙකක් යන අසු අටක් ලදි වායු මෙතුන් දොස් ගුණ වන් නේ
දෙවිසි අටක් යන ප්‍රමේදායද මූල වායු ලෙඩ ඇර යන් නේ
අවිසි අටක් නැගි වායුද එරකුන් ගිනියන් පසු වේ ඇර යන් නේ...”
“කපාළ පටලද ගිනියන් ඉසරද පීනස් වායුද ඇර බින් දා
සිහිපස් නැතිවෙන පිස්සි විකාරද අග්නි වාත ඇරළු හුබන් දා
අංස පිපි බඩ ගිනියන් පනු දොස අජීර්ණ ඇමියා ඇර බින් දා
දුස්ට කමට සිටි විස්ට් මෙතුං ආපු දොස ඇර කෙසරින් දා...”
“බිහිරිවායු නැගි ළැමැද රුජාවද අරිසස් දායද කෙව් මෙන් දා
හ්‍රි වායුද නැගි කොරවාදන් ගත වෙන රුජා සියොගත බින් දා
වාරු නැතුව ගතහාරසියක් නැගි නැර මඩල මා දෙම බින් දා
වැහර තිබි ගත පාංඩු කුෂ්ට ද බැහැර ම දමා බල වඩමින් දා...”
“තෝර මුරුංගා වේලා දළු සහා එල හුළු පත්ති සමගින් දා
බැහැර දමා ළුනු ඇඹුලුත් දෙක ඇර මෝරු සමග වැලදී මෙන් දා
නෑර මේ ඉසිවරු හැදු මේ ඖෂධ නර ලොව සෙත ගොඩලමින් දා
නීල පීත බුදු රැස් විහිදෙන වෙති බ්‍රහ්ම රාජ තෛලෙන් දා....”
(වට්ටෝරුව සම්පූර්ණ කොට නොමැත)
ඕං නමෝ බඹ ලෝ දහසේ දේලෝ දහසේ මනු ලෝ දහසේ යක් ලෝ දහසේ.....
(කරන්දෙණිය මහදුරගේ පරම්පරාව සතු වෛද්‍ය පුස්කොළ පොතක් ඇසුරෙන් ලියන ලදී)
පාරම්පරික ආයූර්වේද වෛද්‍ය(ශිෂ්‍ය) කරන්දෙණිය මහදුරගේ
පසිඳු දේශාන්
subasetha
Comments
Post a Comment