පිටිසර ගම් පළාතක සිට ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට පැමිණ ආයුර්වේදය හදාරන අවසන් වසරේ සිසුවියක වන තමාලි, මෙවර නිවාඩුවට ගමේ ගියේ තම හොඳම යෙහෙළිය වන අනුරාධා සමඟයි.
දිනක වෙහෙසකර ගමනකින් පසු ඇඳට වැටුණු ඔවුන් අවදිවූයේ තමාලිගේ මවගේ කටහඬ ඇසීමෙනි.
“දුවලා නැගිටින්න. දැන් උදේ 8 ත් වෙලා. මම හුළංකීරිය කැඳ හැදුව. දෙන්නම නැගිටල බොන්න.යැයි පවසමිනි’
එවිට තමාලි. නැඟිට අනුරාධා ද නැගිටුවා ගෙන කුස්සියට ගොස් කැඳ කෝප්ප 2 රැගෙන එකක් අනුරාධාට දුන්නේය.
මොනවද තමාලි මේ. යනුවෙන් අනුරාධා විමසුවේ නාගරික තරුණියක වූ අනුරාධා ඒ ගැන නොදැන සිටි බැවිනි. ඕවා තමයි හුළංකීරිය කැඳ. රසයි නේද යනුවෙන් තමාලි අනුරාධාගෙන් විමසීය. හරිම රසයි. තමාලි මම මීට කලින් බීල නැහැ.
හුළංකීරිය මේ ගම් පළාත්වල හරියට තියෙනවා. අපේ අම්ම නං නිතර හදනවා. හුළංකීරිය කැඳ ඇඟ සිසිල් කරන හොඳ බේතක්. ඇත්ත ද තමාලි හුළංකීරියවල මොනවයින්ද කැඳ හදන්නෙ යනුවෙන් අනුරාධා ඇසූවිට තමාලි කීවේ හුළංකීරිය අල කැඳ සඳහා ගනු ලබන බවයි.
මෙසේ කියූ තමාලි අනුරාධා කැඳවාගෙන කුස්සිය පිටුපස ඇති වත්තේ කෙලවර සිටුවා ඇති හුළංකීරිය පඳුරු පෙන්වීය.
මේව තමයි හුළංකීරිය පඳුරු. මේවාගෙ අල තමයි කැඳවලට ගන්නෙත්. බේත්වලට ගන්නෙත් යනුවෙන් කියු තමාලි හුළංකීරිය අතීතයේ සිටම ආහාර සඳහා එකතුකර ගත් බවද කීය.
එසේම විදේශිකයන් ශ්‍රී ලංකාවට පාන් හදුන්වාදීමට පෙර ශ්‍රී ලංකාවේ එකම ආහාරය බත් වූ බවත් එයට අමතරව අතිරේක ආහාර වශයෙන් කුරක්කන්, මෙනේරි, තල, උඳු ආදී ධාන්‍ය වර්ගත් විවිධ අල වර්ගත් යොදාගනු ලැබූ බවත් ඒ අතුරින් හුළංකීරිය එක් රසවත් හා ගුණදායක අලවර්ගයක් බවත් තමාලි වැඩි දුරටත් අනුරාධාට විස්තර කළා ය.
එය අසා සිටි අනුරාධා ඇසුවේ මේ පඳුරු මීට වඩා උස යන්නේ නැත්ද යනුවෙනි. එයට පිළිතුරු දුන් තමාලි මේ පඳුරු අඩි 1 සිට 2 දක්වා උසට වැඩෙන වාර්ෂික පැළෑටියක් බවද මෙම පඳුරුවල මවු අලයෙන් ඉතා සියුම් ලෙස හටගන්නා අල වැඩීමේදී අග කෙලවර ක්‍රමාණුකූලව විශාල වී වැඩෙන බවත් දිගින් අඟල් 4 සිට 12 පමණ වන බවත් මේ අල ත්‍රිකෝණ හැඩැති පොතුවලින් ආවරණය වී ඇති බවත් කීය.
එසේම මේ අලවල අග කොටස් මෙලෙක් ගතියෙන් යුතු බවත් අමු අල සැපීමේදී මිහිරි රසකින් යුතු බවත් කීය.
එසේම මේ පඳුරුවල කොළ අඩි එකහමාරක් පමණ බවද පෙන්වීය. මෙහි මල් කොළ පැහැ යුතු බව පෙන්වූ තමාලි කීවේ මේ අල ගලවනු ලබන්නේ දෙසැම්බර් සිට මාර්තු අතර කාලයේදී බවයි. එසේම සිටවනු ලබන්නේ මාර්තු සහ අප්‍රේල් කාලයේ බවයි.
මෙසේ හුළංකීරිය ගැන කතා කරමින් නැවත දෙදෙනා ගෙට එනවිට තමාලිගේ මව කීවේ දුවට හුළංකීරිය අල තම්බල දෙන්නම් එතකොටත් රසයි යනුවෙනි.
ඉන්පසු කාමරයට හිය ඔවුන් දෙදෙනාගන් අනුරාධා තමාලිට කීවේ හුළංකීරිය හොඳ ගුණ කෑමක්නේ. තව විස්තර සොයන්න ඕන යනුවෙනි.
ඒ ගැන විස්තර සොයන විට ඔවුන් දුටුවේ හුළංකීරිය විදේශීය වශයෙන් දකුණු ඇමෙරිකාවේ හොඳින් වැවෙන බවයි. දේශීය වශයෙන් ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපය තුළ ඉතා හොඳින් වැවෙන බවද දක්වා තිබිණි.
ඔවුන් දෙදෙනා තම ඖෂධ සංග්‍රහය පොත පරිශීලනයේදී දුටුවේ සිංහල බසින් හුළංකීරිය ලෙස හඳුන්වන මෙය සංස්කෘත භාෂාවෙන් ත්වක්ෂීරි, පයක්ෂීරි, ධවලශුභා, තුගපුෂ්ප ආදී නම් වලින් හඳුන්වන බවයි.
දෙමළ භාෂාවෙන් අරුට්ටුක්කිලාන්ගු කියන්නෙ හුළංකීරියවලට යනුවෙන් තමාලි කියන විට අනුරාධා කීවේ ඉංග්‍රීසි භාෂාවෙන් Arrow root plant යනුවෙන් හඳුන්වන බවයි.
එසේම මෙහි උද්භිද විද්‍යාත්මක නාමය Maranta arundinacea L වන බවත් කුලය MARANTHACEAE හෙවත් ත්වක්ෂීරි කුලය බවද අනුරාධා කීය.
එතකොට හුළංකීරියවල අල විතරයි නේද බේත්වලට ගන්නෙ යනුවෙන් අනුරාධා ඇසූවිට තමාලි කීවේ ඔව්. අල විතරයි බේත්වලට ගන්නෙත් ආහාරවලට ගන්නෙත් කියල තමයි සඳහන් වෙලා තියෙන්නෙ යනුවෙනි.
ඒ අසා සිටි තමාලිගේ මව කීවේ. හුළංකීරිය අල කිහිප විදියකට ආහාරයට ගන්නා බවයි.
හුළංකීරිය අල තම්බා පොල් සමඟ කෑමට ගැනීම රසවත් හා ගුණදායක ආහාරයක් බවත්. හුළංකීරිය කැඳ තවත් ගුණදායක ආහාරයක් බවත් පැවසූ තමාලිගේ මව මෙය ව්‍යංජනයක් ලෙසද සකස් කර ගන්නා බවද පැවසීය.
එසේම මේ අල පෙති කපා වියළා එම පෙතිවලට පොල්කිරි දමා දෝසි මෙන් සකස් කරන බවත්, එම අල වියළා කුඩු කර විවිධ කෑම සකස් කිරීමට යොදාගන්නා බවත් පැවසූ තමාලිගේ මව කීවේ සමහර පළාත්වල හාල්පිටිවලට හුළංකීරිය පිටි මිශ්‍රකර රොටි සාදනු ලබන බවත්ය. එසේම හුලංකීරිය පිටි බිස්කට්, පුඩිං, කේක්, ජෙලි ආදිය සෑදීමටද භාවිත කරන බවද පැවසීය.
හුළංකීරියවල ආහාරමය වටිනාකම ගැන හොඳ විස්තරයක් තමාලිගේ මවගෙන් අනුරාධා සහ තමාලි යන දෙදෙනාම හොඳින් ඉගෙනගත් අතර අනුරාධා පැවසුවේ එහි ඖෂධීය ගුණ ගැනද සොයා ගත යුතු බවයි.
එහිදි තමාලි කීවේ ආයුර්වේද පොත පතෙහි ඒ ගැන හොඳින් සඳහන් වන බවයි. විශේෂයෙන්ම කියල තියෙනවා හුළංකීරිය අල වාතය සහ පිත සමනය කරනවා කියලා යනුවෙන් තමාලි පැවසූ අතර අනුරාධා කීවේ මූත්‍ර අඩස්සිය. මූත්‍ර දැවිල්ල, උණ, ශරීරයේ දැවිල්ල, කැස්ස හෘද රෝග, ග්‍රහණි වලිප්පුව, සමේ රෝග, ශ්වාස නාළ ප්‍රදාහය, අම්ල පිත්ත (ගැස්ට්‍රයිටිස්), මළ බද්ධය, ලේ යන අර්ශස් වැනි රෝග සඳහා හුළංකීරිය අල ඔසුවක් බවයි.
එවිට තමාලි කීවේ ඔසුවක් ලෙස මෙය යෙදිය යුතු ආකාරයද මෙහි හොඳින් දක්වා ඇති බවයි. තුවාල ඇතිවිට හුළංකීරිය අල පිටි තුවාල වලට ඉසීම සුදුසු බවද, ආහාර දිරවීම පහසු කිරීමට හුළංකීරිය අල තම්බා පොල් සමඟ ගැනීම හොඳ බවත්. වලිප්පු රෝගින්ට හුළංකීරිය අල තම්බා කෑමට දීම හෝ අල යුෂ බීමට දීම සුදුසු යැයි ද කීය.
එසේම ආහාර විෂ වූ විට සහ සර්ප දෂ්ඨයේදී හුළංකීරිය අල යුෂ බීම ඉතා හොඳ යැයි ද ශරීර දැවිලි මූත්‍රා දැවිලි ආදියට හුළංකීරිය අල කොටා කැඳ සාදා බීම හෝ හුළංකීරිය අල පෙති කපා වියළා කුඩුකර ගත් පිටි වලින් සාදාගත් කැඳ බීම ඉතා ගුණ බවත් තමාලි කීය.
මේ ආකාරයෙන් හුළංකීරියවල ගුණාගුණ පිළිබඳ හොඳ අවබෝධයක් ඔවුන් දෙදෙනාට ලැබිණි. අපිට තමාලිගෙ අම්මා හුළංකීරිය කැඳ හදල දුන්නු නිසා අපි හුළංකීරිය ගැන ගොඩක් දේ හොයන්න පටන් ගත්තා. ඒනිසා හුළංකීරිය ගැන හොඳ දැනුමක් අපි දෙන්නටම ලැබුණා. යනුවෙන් කී අනුරාධා නිවාඩුවට මෙහේ ආව නිසා හොඳ දැනුමක් ලබා ගත්තා. ඒ ගැන තමාලිටයි අම්මටයි ගොඩක් ස්තුතියි කියමින් කතාව නිම කළාය.
පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද
වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය
වෛද්‍ය මධුර පරණවිතාන
subasetha
Comments
Post a Comment