එච්. ඒ. මධුශානි ප්‍රසංගිකා
හෙද නිලධාරිනී
ජාතික ආයුර්වේද රෝහල කොළඹ
වර්තමාන ලෝකය මුහුණදෙන බලපතළ සෞඛ්‍ය ගැටලුවකි දියවැඩියාව. ලංකාවේ මේ වනවිට තරුණ පරපුර දියවැඩියාව රෝගයට ගොදුරු වීමේ ඉහළ ප්‍රවණතාවයක් දක්නට ඇත. මෙය නිට්ටාවටම සුව කළ නොහැකි රෝගයක් වන නමුත් මනා පාලනයක් මඟින් යහපත් දිවි පෙවෙතක් ගතකල හැකිය.
මොකද්ද මේ දියවැඩියාව කියන්නේ
දියවැඩියාව හෙවත් මධුමේහය යනු ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන්හි අක්‍රමවත්භාවය මත රුධිරයේ ග්ලුකොස් මට්ටම ඉහළයෑම නිසා ඇතිවන බෝ නොවන රෝගී තත්ත්වයකි. මෙය ඇතිවන්නේ අග්න්‍යාශය මගින් ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නැමති හෝමෝනය නිෂ්පාදනය නොවීම නිසා හෝ දේහයේ සෛල ඉන්සියුලින් වලට නියම ලෙස ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙනි.
මෙහි ආවේණික රෝග ලක්ෂණ මොනවාද
රුධිර ග්ලුකොස් මට්ටම සුලු ප්‍රමාණයකින් ඉහළගොස් ඇති විට රෝග ලක්ෂණ පැහැදිලිව හදුනාගත නොහැකි අතර දියවැඩියාවේ ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස අධික ලෙස මුත්‍රා පිටවීම, අධික පිපාසය, ඇස් පෙනීම බොඳවීම, ශරීර බර අඩුවීම, දහඩිය දැමීම, තෙහෙට්ටුව , පාදවල හිරිය හා කම්මැළිකම හඳුන්වා දිය හැකිය.
රෝගය වැලඳීමට වැඩි අවදානමක් ඇත්තේ කාටද?
අවුරුදු 45 ට වැඩි අය, තරබාරු අය, පව්ලේ දියවැඩියා ඉතිහාසයක් පවතින අය, අධි රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් පවතින අය, ගර්භණී කාලයේ රුධිර සීනි මට්ටම ඉහළ ගිය මව්වරුන්, උපත් බර වැඩි අය, අයහපත් ආහාර රටාවක් අනුගමනය කරන අය, ක්ෂණික ආහාර පුරුද්දක් වශයෙන් ගන්නා අය, අධික දුම්පානය හා මානසික ආතතියෙන් පෙළෙන අයට මෙම රෝගය සඳහා අවදානමක් ඇත.
දියවැඩියාව නිසා ඇතිවිය හැකි සංකුලතා
කෝමා තත්වය, හෘදයාබාධ, ආඝාතය, වකුගඩු අකරණිය, පාදයේ ඇතිවන වෘණ, අක්ෂි ආබාධ, ලිංගික අප්‍රාණිකත්වය සහ ස්නායු දුර්වලතා යන ඒවා දියවැඩියාව නිසා ඇති වියහැකි දිගු-කාලීන බරපතළ සංකුලතාවයන් වෙයි.
රෝග නිර්ණය පරීක්ෂණයකින් දියවැඩියාව තහවුරු කරගන්නා අවස්ථා මොනවාද?
FBS - පැය 10 ක් නිරාහාරව සිට ලබාගන්නා රුධිර ග්ලූකෝස් මට්ටම 125 mg/dl හෝ එයට වඩා වැඩි අගයක් ඇති අවස්ථා.
PPBS - ආහාර ගෙන පැය දෙකකින් පසුව ලබාගන්නා රුධිරයේ ග්ලූකෝස් මට්ටම 200 mg/dl හෝ ඊට වැඩි අවස්ථා.
RBS - අහඹු ලෙස ලබාගන්නා ලද රුධිර සාම්පලයක ග්ලුකොස් මට්ටම 200 mg/dl හෝ ඊට වඩා වැඩි අවස්ථා.
HBA1C - ගෙවීගිය මාස තුනක කාලයක් ආපස්සට බැලූවිට සිරුරේ තිබෙන සීනි මට්ටමේ සාමාන්‍ය අගය 6 ට වඩා වැඩියෙන් ඇති අවස්ථා.
දියවැඩියාව වළක්වා ගැනීම සඳහා කලයුතු දේ මොනවාද
දේහ බර නියමිත මට්ටමේ පවත්වා ගැනීම, ක්‍රියාකාරී දිවි පැවැත්ම, කායික ව්‍යායාම ක්‍රමවත්ව සිදුකිරීම, සෞඛ්‍යය සම්පන්න ආහාර වේල් නියමිත වේලාවට ලබා ගැනීම, මානසික සෞඛ්‍ය යහපත් මට්ටමින් පවත්වා ගැනීම, දුම්පානයෙන් වැළකීම හා අවදානම් පුද්ගලයින් පූර්ව පරීක්ෂණ සඳහා යොමුවීම මගින් දියවැඩියාව වළක්වා ගත හැකි වේ.
දියවැඩියාව වැලඳුණු පුද්ගලයෙකු නම් ඉහත ක්‍රියාපටිපාටිය අනුගමනය කරන ගමන් නිසි වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර නොකඩවා ගැනීමෙන් රෝගය පාලනය කරගත හැකිවේ.
දියවැඩියා රෝගීන්ට සුදුසු ආහාර මොනවාද
සම්පූර්ණයෙන්ම නිවුඩ්ඩ ඉවත් නොකරන ලද ධාන්‍ය වර්ග, බෝංචි, මෑ කරල්, කොහිල, කරවිල, බටු, ලීක්ස්,තුඹ, පතෝල වැනි තන්තු සහිත පිෂ්ඨය අඩු එළවළු, මාළු වල ඇති අසන්තෘප්ත මේදය යනාදිය ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වේ.
සියලුම පැණිරස ආහාර වර්ග හැකිතාක් පාලනය කිරීම සහ රතු මස් ආදී සංතෘප්ත මේද අඩංගු ආහාර අඩු කිරීම ද දියවැඩියාව වළක්වා ගැනීමෙහි ලා බොහෝ සේ ඉවහල් වනු ඇත.
ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා කුඩා මාලු, සම ඉවත් කරන ලද කුකුළු මස්, මුං ඇට, කව්පි, පරිප්පු ආහාරයට ගත හැකිය.
උළුහාල්, සුදුළූණු, කුරුඳුපොතු, කලුදුරු වැනි කුළුබඩු ආහාරයට එකතු කරගැනීමද රුධිරයේ සීනි මට්ටම අඩු කරගැනීම සඳහා යහපත් ලෙස බලපායි. තෙබු, කෝවක්කා, රණවරා වැනි කොළ වර්ගද මාදං, බෙලි, නෙල්ලි ආදී පළතුරුද දියවැඩියාව පාලනය කිරීම සඳහා හොඳීන් ක්‍රියාත්මක වන ශාකමය ඖෂධ වේ.
subasetha
Comments
Post a Comment