ගැබ් දරන කාලය තුළ කාන්තාවක් ශාරිරික හා මානසික වෙනස්කම් රාශියකට භාජනය වේ. මෙම වෙනස්කම් සුළු ආබාධ හෝ අපහසුකම් විය හැක. එය රෝග අවස්ථාවක් ලෙසට සැලකිය යුතු නොවේ. එසේ වුවද එම සුළු ආබාධ පාලනය කළ යුතු අවස්ථා ඇත. ඒවා මොනවාදැයි දැනුවත්වීම මවගේ ද උපදින දරුවාගේ ද සුරක්ෂිතභාවය සඳහා ප්‍රයෝජනවත් වේ. මාතෘ සංරක්ෂණය යනුවෙන් අදහස් වන්නේ ඒ සඳහා උපදෙස් පිළිපැදිය යුතු දේවල් මඟින් මවගේ හා ගැබ තුළ සිටින දරුවාගේ නිසි ආරක්ෂාව හා පෝෂණය ලබා දීමයි.
ගැබිනි අවස්ථාවේ සාමාන්‍ය ලක්ෂණ
ක්‍රමානුකූලව මාස් ශුද්ධිය සිදුවන කාන්තාවකට හදිසියේ එය නතර වීම
උදෑසන වමනය, ඔක්කාරය, අරුචිය , නිතර මූත්‍රා පහවීම යනාදිය ඇතිවීම
ගැබිනි කාලය තුළ ඇති විය හැකි විශේෂ රෝග ලක්ෂණ
ලේ හිඟකම
මූත්‍රා සමඟ ඇල්බියුමින් පිටවීම
අධික රුධිර පීඩනය
පාදවල ඉදිමුම
මෙම අවස්ථාවේ කල් වේලා ඇතිව වෛද්‍ය ප්‍රතිකාර හා උපදෙස් තදින්ම පිළිපැදිය යුතුය. එම අවස්ථා නොසලකා හැරීමෙන් දරුවා බිහිවීමේදී මවට හා දරුවාට භයානක අනතුරු සිදු විය හැකිය.
නීරෝගි මවක් දරුවකු ලැබීමට පිළිපැදිය යුතු උපදෙස්
ගැබිනි කාලය තුළ මනා සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යෑම සඳහා අවශ්‍යයෙන් සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව දැනුමක් තිබිය යුතුය. දරුවාගේ වර්ධනය මව ගන්නා ආහාර මත සිදුවන බැවින් පෝෂ්‍යදායි සමබල ආහාරයක් නොඅඩුව ලැබිය යුතුය. එමඟින් මවගේද දරුවාගේද නීරෝගි බව ප්‍රසූත අවස්ථාවේදී ද ප්‍රසූතියෙන් පසු කාලයේදී ද කිරි දීමේදී ප්‍රයෝජනවත් වේ. දරුවාගේ වර්ධනයටද මවගේ ශරීර ශක්තියටද බිහිවීමේදී අධික ලේ වහනයක් ඇති වුවහොත් එයටද ප්‍රමාණවත් ලේ ප්‍රමාණයක් මව සතුව තිබීමට මෙම ආහාර අත්‍යවශ්‍ය වේ. එබැවින් මව පෙරට වඩා පෝෂ්‍යදායි ආහාර වැඩි ප්‍රමාණයක් ගත යුතුය.
විශේෂයෙන් අලුත් එළවළු හා පලතුරු, පලා වර්ග, ධාන්‍ය වර්ග, මාළු, මස්, බිත්තර, රතු කැකුළු හාල් බත්වලින් ආහාරය සම්පූර්ණ විය යුතුය.
උදෑසන ආහාරය සඳහා රතු කැකුළු හාල් දමා සාදාගත් කොළ කැඳ වර්ග, මුං ඇට, කඩල වැනි ධාන්‍ය වඩා යෝග්‍ය වේ. මවකට උදෑසන ආහාරය සඳහා පාන්, ඉඳිආප්ප, වැනි පිටි ආහාරවලට වඩා කොළ කැඳවලින් බඩගින්න ඇතිවීම ආහාර රුචිය ඇතිවීම, මලබද්ධය වැළැක්වීම ලේ නිපදවීම, වැඩිකිරීම යන ප්‍රයෝජන ලැබේ. මුල් මාසවලදී ආහාර අප්‍රසන්න බව හා කටට කෙළ ඉනීම නිසා මවුවරු අධික ඇඹුල් වර්ග අච්චාරු, විනාකිරි වැනි තීක්ෂණ උෂ්ණ ආහාර ගනී. ඒවා ගැනීමෙන් මුත්‍රා දාහය දරුවාට රත ගාය, රත කුෂ්ඨ වැනි චර්ම රෝගවලට හේතු විය හැක. හැකි තරම් ඒවායින් වැළකීම සුදුසුය. එහෙත් අලුත් පලතුරු වර්ග කෑම ගුණදායකය.
ජලය පානය
පිරිසුදු ජලය හැකි තරම් පානය කිරීමෙන් වකුගඩුවල මනා ක්‍රියාකාරීත්වය හා ශරීරයේ අපද්‍රව්‍ය මුත්‍ර මඟින් බැහැර වීම සිදුවේ. මේ දිනවල පවතින අධික රස්නයට ද එය පිළියමකි. අවම දිනකට ලීටර් 3-4 ක් ජලය පානය කරන්න. ඉන් මල බද්ධයද මුත්‍රා ආබාධද වැළැක්වේ.
පිරිසුදු වාතය
මවගේ ලේ මඟින් යන පිරිසුදු වායුව ශරීරයේ වැඩීමට ආධාර වන බැවින් මව හොඳ වාතාශ්‍රයක් ඇති පරිසරයක සිටිය යුතුය. දූෂිත පරිසරයක විෂ වායු ශ්වසනය නිසා විෂ ශරීර ගත වීමෙන්ද දරුවාට හානි විය හැකිය.
ව්‍යායාම
ගැබිනියක් තමාගේ සුපුරුදු දෛනික කටයුතු කිරීමේ වරදක් නැත. එමඟින් මවගේ ශරීරයේ මාංශපේශින්ගේ ක්‍රියාකාරීත්වය දරුවා ප්‍රසූත කිරීමේ ක්‍රියාවලියේදී උපකාරි වේ. ව්‍යායාම කිරීම එක් එක් කාන්තාවගේ එදිනෙදා වැඩ රාජකාරි අනුව සිදුකළ යුතුය. කාර්යාලයක ඉඳගෙනම වැඩ කරන අය ඇවිදීම, දිගහැරීම, අතු ගෑම වැනි දේ ව්‍යායාම වශයෙන් කළ යුතුය. එහෙත් අධික මහන්සිය ගෙන දෙන දුර ගමන් යෑම, කඳු නැඟීම, යතුරු පැදිවල යෑම, බයිසිකල් පැදීම වැනි ව්‍යායාම නොකළ යුතුය.
පෞද්ගලික සෞඛ්‍යය
ගැබිනිය සාමාන්‍ය අයට වඩා පෞද්ගලික සෞඛ්‍යය ගැන උනන්දු විය යුතුය. මේ කාලය තුළදී රෝගවලට භාජනය වීම උපදින දරුවාටද බලපානු ඇත. විශේෂයෙන්ම ලිංගාශි‍්‍රත ප්‍රදේශය නිතර තෙත් ස්වභාවයක් පවතින බැවින් රෝග බීජ ඇතුළුවීමට ඇති ඉඩකඩ වැඩිය.
එම ප්‍රදේශය නිතර සෝදා පිරිසුදුව තැබිය යුතුය. පියයුරුවලද දියර ගැලීම් හා පියයුරු පිපිරීම් සිදුවන බැවින් ද එම ප්‍රදේශය ගැන විශේෂ සැළකිල්ලක් දැක්විය යුතුය. දිනපතා නෑම කළ යුතුය. පිරිසිදු සැහැල්ලු ඇඳුම් ඇඳීම විශේෂයෙන්ම වැදගත්ය. අඩි උස සපත්තු හොඳ නැත.
විවේකය හා නින්ද
විවේකය හා නින්ද අත්‍යවශ්‍යයි. ඒ සඳහා සිත තුළ සහනය තිබිය යුතුය. මානසික අසහනය ඇති අයට නින්ද නොයෑම හේතුවෙන් නොයෙකුත් බලපෑම් ඇති විය හැකිය. එසේම මානසික සතුට ද විවේකය ද අත්‍යවශ්‍යයි. ඒ සඳහා ආගමික කටයුතුවල යෙදීම මානසක අසහනයන්ට ගොදුරු නොවන පරිසරයක සිටීමත් අවශ්‍ය වැදගත් කරුණු වේ. නින්දට යාමට පෙර බර ආහාර ගැනීම නින්දට බාධා කරන අතර, දිරවීමේ ක්‍රියාවලියටද බාධා කරයි.
මුඛ සෞඛ්‍යය
මේ කාලයේදී දන්ත සෞඛ්‍යය පිළිබඳවද සැළකිලිමත් විය යුතුය. දත් දිරායාමත් කෙස් ගැලවී යාම යන ලක්ෂණ පහළ වන බැවින් ආහාරයේ කැල්සියම් අඩංගු වීම අවශ්‍යයි. දත් කුහර ඇති නම් ඒවා ආසාදනය වීමට ඉඩකඩ ඇති හෙයින් දන්ත වෛද්‍යවරයකු ලවා පරික්ෂා කර ප්‍රතිකාර ලබාගත යුතුය.
මාතෘ සායනයට යෑම
විශේෂයෙන්ම නියමිත කාලයන් තුළදී සායනයට යෑමෙන් ශරීරයේ බර, මල මුත්‍රා, ලේ ගර්භයේ් තත්ත්වය පරික්ෂා කර ගැනීමෙන් ප්‍රසවයකදී විය හැකි අනතුරු වළක්වා ගත හැකිය.
විශේෂයෙන්ම නියමිත ප්‍රසව දිනයට සූදානම් වීම ගැබිනිය විසින් සැළසුම් කළ යුතුය. නියමිත දිනයට ප්‍රසවය සිදුවන ලකුණු නොමැති වීම හෝ දරුවාගේ චලනය අඩු වීම හෝ නැවතීම හදිසි ලේ වහනයක් හෝ දියර ගැලීමක් හෝ ඇති නම් වහාම රෝහල කරා යා යුතු බව මව විසින් දැනගත යුතුය.
මෙම කරුණුවලදී වෛද්‍ය උපදෙස් ගත යුතු අවස්ථා කවරේද?
ගැබිනි මුල් කාලයේදී මෙකී ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඇති විට ගැබ් ගත් බව සිතිය හැකිය. මාස් ශුද්ධිය නතර විය හැකි වෙනත් රෝග අවස්ථාද ඇතැම් විට පාරිසරික හෝ මානසික හේතුන් ආදී වෙනත් හේතුවක් නිසා ඇති වූ තත්ත්වයන්ද යන්න වෛද්‍යවරයකු ලවා පරික්ෂා කරවා ගත හැකිය.
උදෑසන වමනය හෝ ඔක්කාරය දරුණු ලෙස වමනයක් බවට පත්වීමෙන් මව දුර්වල විය හැකිය. එවැනි අවස්ථාවලදී වෛද්‍ය උපදෙස් ගත යුතුය.
නිතර මුත්‍රා පහවීමේ රෝගී අවස්ථාවක් නම් මධුමේහ හෙවත් දියවැඩියාව තිබේදැයි පරික්ෂා කළ යුතුය. ඇතැම් විට ගැබිනි බවේ ලක්ෂණයක් ලෙසද මුත්‍රාබාධ තිබිය හැකිය. එවැනි අවස්ථාවද නිරාකරණය කිරීමට වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය. මෙම කරුණු පිළිබඳව අවබෝධයෙන් සුපරික්ෂා වීමෙන් මාතෘ සංරක්ෂණය හා නීරෝගි දරුවන් ලැබීමේ වාසනාව උදා වනු ඇත.
උපදෙස් -වෛද්‍ය නන්දා කස්තුරිආරච්චි
subasetha
Comments
Post a Comment