varicose හෙවත් නහර ගැට ගැසීමේ රෝගයෙන් පීඩා විඳීන්නන් අද සමාජය තුළ බොහෝ ප්‍රමාණයක් සිටිති. කකුල් සහ අත්වල නහර ඉලිප්පී තිබීම නිසා ඒවායේ අවලස්සන ස්වභාවයක් ගනී. නහර ගැට ගැසීම බඩ ප්‍රදේශය ආශ්‍රිතව ඇති වන ප්‍රමාණය අඩු වුවත් කොන්ද සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවලට ඇති වීමේ ප්‍රවණතාවය ඉතාම ඉහළ මට්ටමක තිබේ.
රෝගීන්ට වේදනාව දරා ගත නොහැකි තරම් දරුණු වූ විට බටහිර වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වන අතර ඉන්පසු ශල්‍යකර්ම සඳහා භාජනය වන්නට ද සිදුවන අවස්ථා ප්‍රමාණයෙන් ඉහළ අගයක් ගනී.
ශල්‍යකර්ම මගින් කෙටිකාලීනව තරමක සුවයක් දැනෙන නමුත් පසුකාලීනව පාදවල යම් යම් අතුරු ආබාධ ඇතිවන්නට ඉඩ තිබේ. එයට හේතුව ශල්‍යකර්ම සිදු වන්නේ නහර ආශ්‍රිතව වීමයි.
මෙම රෝගය ඇතිවීමට හේතුව ස්නායුවල යම් කිසි අවහිරවීමකි. සිංහල ආයුර්වේද ක්‍රම ආශ්‍රිතව තෙල් සාත්තු කිරීම සහ සම්බාහනය මඟින් එම අවහිරතා ඉවත් කර දමන්නට හැකි ය.
රෝගය ඉතා දරුණුවට සහ බරපතළ අන්දමින් පවතින විට මාස දෙකකට ආසන්න කාලයක් සතියකට දින තුනක් පමණ ප්‍රතිකාර කළ යුතුය. සාමාන්‍ය තත්ත්වයක පවතින විට මාසයක් හෝ සති දෙකක් වැනි කාලයකින් සුව කරන්නට හැකියාව තිබේ. ආයුර්වේද තෙල් වර්ග යොදා සම්බාහනය කිරීමෙන් අවහිර වී ඇති ස්නායු සහ නහර යථා තත්ත්වයට පත් කිරීම මෙහිදී සිදු කෙරේ. මෙම ප්‍රතිකාර ක්‍රම සිදු කරන අතර සමට මතුපිටින් නිල්පැහැ ගැන්වී පෙනෙන නහරගත අවහිරවීම් යථා තත්ත්වයට පත් වී ලේ ගමනාගමනය ආදිය නැවත සිදු වන්නට පටන් ගනියි. තෙල් සාත්තුවට අමතරව කසාය වර්ග කිහිපයක් ද ප්‍රතිකාර සඳහා භාවිතා කෙරේ.
බටහිර වෛද්‍ය ක්‍රම අනුගමනය කරමින් ශල්‍යකර්මවලට භාජනය වූ පසුව නැවත ආයුර්වේද වෛද්‍ය ක්‍රමය වෙත හැරෙන පුද්ගලයින් සුව කිරීම පහසු නොවන්නේ ශල්‍යකර්ම මඟින් කපා ගැටගැසීම සිදු කරන ලද නහර නැවත ආයුර්වේද ක්‍රම මඟින් සකස් කිරීම සිදු කළ නොහැකි බැවිනි.
දේශීය වෛද්‍ය ක්‍රම භාවිතා කිරීමේදී ද ඒ සඳහා පළපුරුදු දක්ෂ වෛද්‍යවරුන්ගෙන් පමණක් ප්‍රතිකාර ගැනීමට සැලකිලිමත් විය යුතු වන්නේ ඒ පිළිබඳව නිවැරදි දැනුමක් නැති පුද්ගලයින්ගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සාර්ථක ක්‍රමයක් නොවන බැවිනි.
චූලහාර, මහාමාංශ, සිද්ධාර්ථ වැනි තෙල් වර්ග කීපයක් එකට මිශ්‍ර කර ප්‍රතිකාර සඳහා භාවිත කළ හැකිය. තැවීම සඳහා භාවිතා කරන බෙහෙත් පොට්ටනි සඳහා තුඹ ඇට, බෙහෙත් එඬරු ඇට, සතකුප්ප මී ඇට මද, තල, කොට්ට පොල් වැනි දේ මූලිකවම ගන්නා අතර ප්‍රතිකාර ක්‍රමය දීර්ඝ කාලීනව පවත්වාගෙන යෑමේ දී තැවීම සඳහා භාවිතා කරන බෙහෙත් පොට්ටනිවල ඇති ද්‍රව්‍ය වෙනස් කරනු ලබයි. පසු අවදියේ දී භාවිත කරන්නට ගන්නා බෙහෙත් පොට්ටනිවල අඩංගු වන්නේ බෙහෙත් කොළ වර්ගය.
රෝගියා රෝගයෙන් පීඩා විඳීන ස්වභාවය සහ රෝගයේ ස්වභාවය අනුව ප්‍රතිකාර ක්‍රම වෙනස් වේ. දීර්ඝකාලීනව ප්‍රතිකාර අවශ්‍ය රෝගියකුගේ බෙහෙත් වර්ග සතියකට වරක් වෙනස් කළ යුතුය. රෝගය එතරම් බරපතල නොවන පුද්ගලයකුගේ නම් එක් බෙහෙත් වර්ගයකින් හෝ දෙකකින් සුව කළ හැකිය.
ප්‍රතිකාර ගැනීමේ දී ඒවා කඩ නොකර වෛද්‍යවරයා නියම කරන ආකාරයෙන් ක්‍රමානුකූලව සිදු කිරීම මත සුවපත් වීම වේගවත් වේ.රෝගියාට නිවැරැදිව ප්‍රතිකාර කිරීම සඳහා සතියකට දින තුනක් පමණ කාලයක් එක් දිනෙක එක් වාරයක දී පැය එකහමාරක පමණ කාලයක් වැය කරන්නට වෛද්‍යවරයාට සිදුවේ.
මෙම රෝගයේ බලපෑම පුරුෂ පාර්ශවයට වඩා වැඩි වශයෙන් එල්ල වන්නේ කාන්තාවන් වෙතය. එයට හේතුව වන්නේ පුරුෂ පාර්ශ්වයට සාපේක්ෂව කායිකව දැඩි වෙහෙසක් දරන වෘත්තීන්වල නිරත වීම කාන්තා පාර්ශවය අඩුවෙන් සිදු කිරීමයි. ශරීරය අධිකව වෙහෙසවා බර වැඩ සිදු කිරීම තුළ සිරුර දැඩිව වෙහෙසීම තුළින් සිරුරේ ලේ ගමනාගමනය ඉහළ යයි. පුරුෂයන්ට සාපේක්ෂව කාන්තාවන් ශරීරය වෙහෙස වීම අඩු බැවින් මෙම රෝගය වැලඳීම කාන්තාවන් අතර බහුලව දක්නට ලැබේ.
කාන්තාවන් අතරිනුත් ගැමි කාන්තාවන් ට වඩා නාගරික කාන්තාවන් අතර රෝගය බහුල වශයෙන් දක්නට ලැබේ. එයට හේතුව නාගරික ජීවන රටාවක ට වඩා ගැමි කාන්තාවකට ශරීරය වෙහෙස වීමේ අවස්ථා වැඩි වීමය.
නහර ගැට ගැසීමට ප්‍රතිකාර කරන කාලසීමාව තුළ තෙල් වර්ග ආහාරයට ගැනීම අහිතකරය. කුකුළු මස් වැනි ආහාරවලින් වැළකිය යුතුය. මාළු වර්ග සහ පොල්කිරි දැමූ ආහාර අගුණ නොවේ.
උපදෙස් - ආයුර්වේද වෛද්‍ය
පී.ඒ. අනුර ගාමිණී
උපදෙස්
චතුමී පිටිපන
subasetha
Comments
Post a Comment