කොරෝනා සමඟ හැංගිමුත්තං සෙල්ලං එපා

දෙසැම්බර් 25, 2020

ශ්‍රී ලංකාවේ වසංගත රෝග පිළිබඳ ඉතිහාසය ඉතා ඈත අතීතය දක්වා දිවයන්නකි. ඓතිහාසික මූලාශ්‍රවලින් හෙළි වන ආකාරයට වලගම්බා රජු දවස රෝබිය වසංගත සමඟ ඇති වූ බැමිනිටියා සාය ගැන වාර්තා වේ.

එමෙන්ම පොළොන්නරු යුගයෙන් පසු රාජධානි වයඹ දෙසට සංක්‍රමණය වූයේ මැලේරියා වසංගතය නිසා විය හැකි යැයි ඉතිහාසඥයෝ සැක කරති. මැලේරියා , වසූරිය, අතීසාරය, උණ සන්නිපාතය ,පාචනය වැනි වසංගත විටින්විට ඇති වූ බව ඈත ඉතිහාසය මෙන්ම මෑත යුගයෙන්ද වාර්තා වී ඇත. මීට අමතරව පැපොල, සරම්ප, කම්මුල්ගාය වැනි වයිරස් රෝග නිතර පැතිර ගිය අතර ගම්මු මේවා හැඳින්වූයේ “දෙයියන්ගේ ලෙඩ” යනුවෙනි. මේ සෑම අවස්ථාවකම අපේ මුතුන්මිත්තන් මෙන්ම වත්මන් ජනතාවද සාර්ථකව මුහුණදී රෝග පාලනය කර ඇත.

එනිසා බෝවන රෝග පාලනය පිළිබඳ සතුටුදායක අත්දැකීම් රාශියක් අප සතුව තිබේ. විශේෂයෙන් වයිරස් රෝග (දෙයියන්ගේ ලෙඩ) ලෙස හඳුන්වන පැපොල, සරම්ප, කම්මුල්ගාය වැනි රෝගයක් පවුලේ සාමාජිකයකුට වැලඳුනහොත් පළමුවෙන් කළේ අන් අයට රෝගය වැලඳීම වැළැක්වීමට කටයුතු කිරීමයි. ප්‍රථමයෙන් නිවස තුළම රෝගියා වෙන්කර තබයි. ඔහු පරිහරණය කරන උපකරණ වෙන් කරයි. ඔහු පරිහරණය කරන උපකරණ වෙන් කරයි. අසල්වාසීන්ට සහ නෑදෑයින්ට බෝවීම වැළැක්වීම සඳහා ඔවුන් නිවසට පැමිණීම වළක්වන්න බෝවන රෝගියෙක් නිවසේ ඇති බව අඟවන රෝගියෙක් නිවෙසේ ඇති බව අඟවන සංඥාවක් ලෙස ගේට්ටුවේ සහ ගෙය දොරකඩ කොහොඹ අත්තක් එල්ලනු ලබයි. මෙය අදත් ගම්බද ප්‍රදේශවල බහුලව සිදුවන්නකි.

අප සමාජය කෙතරම් අනුන්ට රෝගය පැතිරීම වැළැක්වීමට කටයුතු කරන ජනතාවක්ද යන්න තේරුම් ගැනීමට එයම ප්‍රමාණවත්යැයි සිතමි. එහෙත් අද අපි මුහුණදෙන කොරෝනා (කෝවිඩ් 19) වසංගතයේදී ක්‍රියාකරන්නේ ආත්මාර්ථකාමී හිතුවක්කාර පිරිසක් ලෙසට වීම කණගාටුවට කරුණකි. රෝගීන් සැඟවී සිටීමට උත්සාහ කිරිම, ආශ්‍රීතයින් හෙළි නොකිරීම, ආගිය තැන් ප්‍රකාශ නොකිරීම නිසා රෝග මර්දන කටයුතුවල නියැළී සිටින සෞඛ්‍ය සේවකයින් ඇතුළු අනෙකුත් නිලධාරීන් මහත් අපහසුතාවයකට පත් කර ඇත.

මෙවර ගම්පහ මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලෙන් ආරම්භ වූ කොරෝනා රෝගය ඉතා ශීඝ්‍රයෙන් ගම්පහ දිස්ත්‍රික්කය පුරා පමණක් නොව දිස්ත්‍රික්ක රාශියකටම පැතිර ගොස් තිබේ. රෝගීන් සහ ආශි‍්‍රතයින් අවශ්‍ය තොරතුරු හෙළි නොකිරීම නිසා ඉක්මනින් රෝගය පාලනය කර ගැනීමට අපහසු විය. සමහර රෝගීන් සත්‍ය තොරතුරු හෙළි නොකළා පමණක් නොව සෞඛ්‍ය නිලධාරීන්ගේ ඉල්ලීමට අවනත නොවී සැඟවී සිටීමටද උත්සාහ කරන ලදි. රෝග මූලාශ්‍රය සහ පැතිරී ගිය ආකාරය හඳුනා ගැනීම කොරෝනා පාලනයට සහ බෝවීම වැළැක්වීමට සැලසුම් කිරීමට සෞඛ්‍ය නිලධාරීන්ට පහසු වේ.

කෙසේ නමුත් තොරතුරු වසං කිරීම නිසා මුල් අවස්ථාවේම රෝගය ඉතා ශීඝ්‍රයෙන් පැතිරී ගිය බව නම් පැහැදිලිය. කොරෝනා රෝගය පිළිබඳ අපූරු තොරතුරු හෙළි කිරීම සමාජ යුතුකමක් ඉටු කිරීමකි. මෙම රෝගය නිට්ටාවට සුවකරන ඖෂධ ප්‍රතිකාරයක් නැත. වැළැක්වීමට එන්නතක් ද තවම සොයාගෙන නැත. එනිසා කළයුත්තේ රෝගය පැතිරීම වැළැක්වීමට කටයුතු කිරීමයි. ඒ සඳහා පළමුවෙන් රෝගීන් රෝහල්ගත කළ යුතුය. ආශි‍්‍රතයින් වෙන්කර තැබීම නිරෝධායන මධ්‍යස්ථානයක හෝ නිවාසවල ස්වයං නිරෝධායනයට යොමු කළ යුතුය. එක් රෝගියකුට තවත් 520 දෙනෙකුට බෝකළ හැකි යැයි වසංගත රෝග විශේෂඥයෝ පවසති. එනිසා කොරෝනා රෝගය ඉක්මනින් පාලනය කර ගැනීමට රෝගීන් සහ ආශි‍්‍රතයින් අවශ්‍ය තොරතුරු නොසඟවා හෙළි කිරීම වැදගත් වේ.

කොරෝනා රෝගය පාලනයට සහ බෝවීම වැළැක්වීමට ඉතාමත් වැදගත් ඊළඟ කාරණය වන්නේ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමයි. රෝග ලක්ෂණ නොමැතිව වුවද රෝග විෂබීජ ශරීරගතව තිබිය හැකි අතර ඔහුට තවත් අයකුට රෝගය බෝකළ හැකි බව වෛද්‍යවරු පවසති.

සියලුම මහජනතාව මුවවැස්මක් (Face marsk) පාවිච්චි කළ යුතුය. මෙය බොහෝ දෙනෙක් පොලිසියෙන් බේරීමට හෙල්මට් පාවිච්චි කරනවා මෙන් නොකළ යුතු බව සිහිපත් කර දීමට කැමැත්තෙමි. නිසි පරිදි මුඛය සහ නාසය ආවරණය වනසේ පැලඳිය යුතු වේ. එහෙත් අපි දකින්නේ බොහෝ දෙනෙක් නාසයට පහළින්, මුඛයට පහළින් නැත්නම් බෙල්ලේ පැලැඳ සිටින බවයි. එසේ මුව ආවරණ පැලඳීමෙන් කොරෝනා රෝගයෙන් වැළකී සිටිය නොහැකිය. මහජනතාව ගැවසෙන ස්ථානවලදී මුව ආවරණ පැලඳීම අනිවාර්ය වේ. එසේම සමාජ දුරස්ථ භාවය ආරක්ෂා කළ යුතුය. එයින් අදහස් වන්නේ දෙදෙනකු අතර දුර මීටරයක්වත් විය යුතු බවයි. එසේම සබන් යොදා අත් සේදීම හෝ මද්‍යසාරය අඩංගු දියරයකින් (Sanitizer) අත් පිරිසුදු කළ යුතුය.

මේ සඳහා නිරෝධායන නීතිද ගැසට් කර ඇති අතර මෙම කොන්දේසි කඩකරන අයෙකුට දඩයක් හෝ සිරදඬුවමක් නියම කළ හැක. නීතිය කෙසේ වෙතත් මේ පුරුදු ජීවිතයට පුරුද්දක් කරගත යුතු වේ. අපි පුංචි කාලයේ සිටම අත් සේදීම කළෙමු. ඒ කෑමට පෙර සහ වැසිකිළි යාමෙන් පසුවයි.

එය පුරුද්දක් වී ඇත. කොරෝනාවලදී සිදුකර ඇත්තේ ඒ පුරුද්ද නවීකරණය කිරීමකි. එමෙන්ම නිතර නාසය, ඇස, මුඛය ඇල්ලීමෙන් වැළකී සිටීම ඉතා වැදගත් පුරුද්දකි. මිනිසාගේ සමේ කොරෝනා වයිරසය දිගු කලක් පැවැතිය හැකි බැවින් අතේ විෂබීජ තිබුණත් ඇසෙන්, නාසයෙන් හෝ මුඛයෙත් ශරීරයට ඇතුළුවීමට ඉඩ ඇත. .

සෙම්ප්‍රතිශ්‍යාව, ඇඟරිදීම වැනි රෝග ලක්ෂණ ඇත්නම් පී.සී.ආර් (PCR) පරීක්ෂණය කරගත යුතු වේ. එමෙන් සෞඛ්‍යය නිලධාරින්ට ඔවුන් අසන සියල්ලට සත්‍ය තොරතුරු සපයන්න වගබලාගන්න. එසේ නොවුවහොත් කොවිඩ් 19 රෝගය අප සමාජයෙන් තුරන් කිරීම සිහිනයක් පමණක් වීමට ඉඩ ඇත.

කෝවිඩ් 19 රෝගය සඳහා ගොදුරු විය හැකි විශේෂ අවදානම් කණ්ඩායම් කිහිපයක් හඳුනාගෙන ඇත. වියපත් වුවත්, ගර්භිණී මවුවරු, කුඩා දරුවන්, පිළිකා, දියවැඩියාව, හෘදයාබාධ නිදන්ගත වකුගඩු ආබාධ වැනි බෝනොවන රෝගවලින් පෙළෙන අය සෞඛ්‍ය උපදෙස් නිසිලෙස පිළිපදිමින් රෝගයෙන් ආරක්ෂා වීමට ක්‍රියාකළ යුතුවේ. මෙම අවදානම් කණ්ඩායමට වයිරසය ඇතුළු වුවහොත් රෝගයෙන් අසාධ්‍යවනවා පමණක් නොව මරණයද සිදු විය හැක. මුළු ලෝකයෙන්ම කොරෝනා රෝගයෙන් මිය ගිය අයගෙන 96% ක් පමණ වියපත් වූවන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මෙවර ශ්‍රී ලංකාවේ පැතිරෙන කොරෝනා වයිරසය ඉතා ප්‍රබල එකක් බවත් රෝගින්ගේ සාම්පල පරික්ෂාවේදි විෂබීජ ඉතා විශාල සංඛ්‍යාවක් ශරීරගත වී ඇති බවද සොයාගෙන ඇත. මේ හේතුව නිසා රෝගය පැතිරීමේ ශීඝ්‍රතාවය ඉතා ඉහළ මට්ටක පවති. එනිසා සෞඛ්‍ය නීති පිළිබඳව සිතා නොව සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැදීමෙන් තමාගේ ජීවිතය ආරක්ෂා වනවාසේ ම රෝගය සමාජගත වීමද වැළැක්විය හැක.

තවත් වසර කිහිපයක් අපට කොරෝනා සමඟ ජීවත්වීමට සිදු වන බව ලෝක සේඛ්‍ය සංවිධානය පසුගියදා පවසන ලදි. මෙනිසා සෞඛ්‍ය උපදෙස් සියල්ල අපේ සදාකාලික පුරුදු බවට පත් කර ගැනීමට සිදුවේ. රෝගය තවදුරටත් පැතිරීම වැඩි කරනවාද, පාලනය කරනවාද යන්න තීරණය වන්නේ ජනතාව ක්‍රියාකරන ආකාරය අනුවයි . එනිසා ඔබ වෙත දී ඇති ප්‍රධාන සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න. එමෙන්ම ජනතාව රැස්වන මඟුල්ගෙවල්, ළගෙවල්, පෙරහැර ,පෙළපාළි විරෝධතා , සැණකෙළි, සැමරුම් උත්සව දේශන, සම්මන්ත්‍රණ ආදියට සහභාගිවීමෙන් වළකින්න. දැනට ක්‍රියාත්මක වන පරිදි රට අඟුළු නොදමා (Lockdown) දිගටම පවත්වා ගැනීමට නම් මහජන සහාය අත්‍යාවශ්‍ය වේ. රට ඇගුළු දැමීමෙන් මහජනයාට මහත් අසීරුතාවලට මුහුණ. පෑමට සිදුවන බව පසුගිය කොරෝනා සමයේ අපි අත් දුටුවෙමු. එනිසා රට වහනවාද නැද්ද. තීරණය වන්නේ මහජනතාව සෞඛ්‍ය උපදෙස් නිසිපරිදි පිළිපදිනවාද නැද්ද යන කරුණ මත බව අවධාරණය කිරීමට කැමැත්තෙමි.



subasetha

Comments