අප ජීවත් වන පරිසරය තුළ ඇති ඖෂධ පැළෑටි වලින් වැඩි ප්‍රමාණයක් හඳුනන අය සිටිනුයේ ඉතා අල්ප ප්‍රමාණයකි. එයට හේතු වී ඇත්තේ ඒ පිළිබඳ දක්වන ඇල්ම සහ අවධානය අඩුවීම නිසා ය. එසේ වුවද අප ජීවත්වන පරිසරයේ ඇති වෘක්ෂලතා දෙස ඉතා හොඳීන් පරීක්ෂා කර බැලුවහොත් පෙනී යන්නේ ඖෂධ පැළෑටියක් නොවන ගසක් හෝ වැලක් පවතීද යන්නයි. අපගේ ශ්‍රී ලංකාව ගෙන බැලුවද පෙනී යනුයේ මෙහි ඖෂධීය ශාක වර්ග 1448 කට අධික ප්‍රමාණයක් තිබෙන බවත් එයින් රටට ආවේනික ශාක වර්ග 926 ක් පමණ ඇති බවත් ය. මෙවන් ඖෂධීය ශාකයන් ගැන කථා කිරීමේ දී ‘වැල් කහඹිලියා’ යනුද තවත් එක් ඖෂධීය පැළෑටියක් පමණි.
ඉතා ඈත අතීතයේ සිට දේශීය ඖෂධයක් ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ භාවිතා කර ඇති වැල් කහඹිලියා ආයුර්වේදයේ මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමයේ ඖෂධ ප්‍රයෝගයන් සඳහා යොදා ගනු ලැබූ පැළැටියකි. එසේම ඖෂධීය පැළැටි අතර සුවිශේෂ ලක්ෂණයක් පෙන්වන පැළෑටි වර්ගයක් ලෙස වැල් කහඹිලියා හැඳීන්විය හැකිය. මෙම පැළෑටි වල ඇති විෂ සහිත සියුම් බූව සමෙහි ස්පර්ෂයෙන් තදබල කැසීම හටගනු ලබන අතර, එයම මෙම පැළෑටියට ‘කහඹිලියා’ යන නාමය යෙදීමට හේතු වී ඇත.
විශේෂයෙන් දේශීය වශයෙන් ඖෂධ සඳහා ‘වැල් කහඹිලියා’ යොදාගනු ලබන අතර සාමාන්‍ය ජනතාව අතර කහඹිලියා යන නාමයෙන් වැඩි වශයෙන් ප්‍රචලිතව ඇත්තේ ද වැල්කහඹිලියා ය.
තවද ආයුර්වේද වෛද්‍ය ග්‍රන්ථ වල සඳහන් දුරාලභා සහ ‘යවාස’ යන ද්‍රව්‍ය වෙනුවට ප්‍රතිනිධි වශයෙන් මෙරට දේශීය වෛද්‍යවරුන් ව්‍යවහාර කරනුයේ වැල් කහඹිලියා වන අතර දේශීය ක්වාථ ආදියෙහි තනි ද්‍රව්‍යයක් ලෙස ද ‘වැල් කහඹිලියා’ යොදා ගනු ලබයි. මෙය පැරණි දේශීය වෛද්‍ය ග්‍රන්ථයක් වන ‘සාරාර්ථ සංග්‍රහයේ’ වැල්පස්මුල සඳහා අඩංගු එක් ද්‍රව්‍යයකි. පැරණි ආයුර්වේද ග්‍රන්ථ වල ‘ස්ථිරාදී ගණය’, ‘තෘෂ්ණා නිග්‍රහණ ගණය’, සහ ‘වෘහත්‍යාදී ගණය’ ආදියේ එක් ප්‍රධාන ද්‍රව්‍යක් ලෙස ද වැල්කහඹිලියා ගනු ලබයි. මේ ආදී බොහෝ සෙයින් ඖෂධ ප්‍රයෝගයන් සඳහා ගනු ලබන වැල් කහඹිලියා උණ රෝග මෙන්ම වාත රෝග සඳහා විශේෂයෙන් යොදා ගනු ලබයි.
වැවෙන ප්‍රදේශ
විදේශීය වශයෙන් :
ඉන්දියාව, මියන්මාරය, චීනය ආදී රටවල දක්නට ලැබේ.
දේශීය වශයෙන් :
ශ්‍රී ලංකාවේ විශේෂයෙන් පහතරට පාළුබිම් වලත්, වියළි දේශගුණ තත්ත්ව ඇති ප්‍රදේශවලත් වැවේ. යාපනය, අනුරාධපුර, මින්නේරිය, ගාල්ල, මාතර ආදී ප්‍රදේශවල බොහෝ සෙයින් දක්නට ලැබෙන අතර, වගාබිම් සහ අත්හැර දැමූ බිම් වල වල් පැළෑටියක් ලෙස වැවේ.
වැල්කහඹිලියා වල ස්වරූපය
අඩි 3 – 4 පමණ දිගට ඇදෙන ලතා විශේෂයක් වන මෙය මුළු ලතාවම විෂ සහිත බූවකින් වැඩී පවතී. කඳ සිහින් වන අතර, දිගැටි ස්වරූපයක් ගනී. එසේම එතෙන සුළු ය. මෙහි පත්‍ර සරල හා ඒකාන්තරව පිහිටයි. එසේම ලන්සාතෙර හැඩ ඇති පත්‍ර වල දාරය දැති සහිත වේ. පත්‍රයක් අඟල් 1 – 5 අතර දිගින් ද අඟල් 1 – 2 පමණ පළලින්ද යුතු ය. පත්‍ර පාදය රවුම් හෝ හෘදයාකාර වේ. පත්‍ර වල නටුව අඟල් 1/2 ක් පමණ වේ. පුෂ්ප ඒකලිංග වන අතර, ඒවා කහ පාටට හුරුය. පෙබරවාරි,මාර්තු සහ ජුනි මාස වල මල් හට ගනී. මෙහි හටගනු ලබන ඵලය තුළ සිනිඳු ගෝලාකාර බීජ පවතී.
වැල්කහඹිලියා පිළිබඳ විවිධ භාෂා වලින් හඳුන්වන නාමයන්
සිංහල භාෂාවෙන් :
වැල්කහඹිලියා සහ හැල් කහඹිලියා යන නාමයෙන් යෙදේ.
සංස්කෘත බසින් :
වෘශ්චිකාලී, වෘශ්චිපත්‍රී, විෂග්නී නාගදන්තිකා, සර්පදෘෂ්ට්‍රා අමරා කාලි, උෂ්ට්‍රධූසරප්‍රම්ජිතා, දු:ස්පර්ශිත ආදී නාමයන් යෙදේ. මෙයත් සමේ ස්පර්ශ වීමෙන් විෂ ලක්ෂණ පහළ වන නිසා විෂස්නී නමින් යෙදේ. ස්පර්ශ කිරීමට අපහසු නිසා ( කසන නිසා ) දු:ස්පර්ශිත නමින් යෙදේ.
හින්දි බසින් :
බර්හන්ටා සහ බීජ්‍රවායාස් යන නාම යෙදේ.
දෙමළ බසින් :
කන්නිචි, කන්චුරි සහ අම්බු යන නාම යෙදේ.
මෙහි උද්භිත විද්‍යාත්මක නාමය Tragia involucrate L වන අතර, කුලය Euphorbiaceae හෙවත් ඒරණ්ඩ කුලය වෙයි. මේ ආදී වශයෙන් විවිධ භාෂාවලින් අරුත් බර නාම රාශියක් ‘වැල්කහඹිලියා’ සඳහා යෙදේ.
කහඹිලියා ප්‍රභේද
විවිධ ප්‍රභේද කිරීම් කිහිපයක්ම දක්නට ලැබේ.
ඒ අතුරින් 1. ගස් කහඹිලියා, 2. වැල් කහඹිලියා යනුවෙන්ද,
1. හැල්කහඹිලියා
2. වැල් කහඹිලියා
3. හීන් වැල් කහඹිලියා
4. ගැටකහඹිලියා යනුවෙන් ද,
1. ගස් කහඹිලියා
2. වැල් කහඹිලියා
3. හීන් වැල් කහඹිලියා යනුවෙන් ද
1. දුරාලභා (ධන්වයාස)
2. යවාස
3. වෘශ්චිකාලී (වැල්කහඹිලියා)
4. වන්‍ය දුරාලභා (වල් කහඹිලියා) යනුවෙන් ද ප්‍රභේද කර ඇත. මෙයින් දුර්ලභ හා යවාස වෙනුවට දේශීය වශයෙන් ගනු ලබන ප්‍රති නිධිය වැල්කහඹිලියා ය.
ඖෂධීය ගුණ
රසයෙන් කටුක සහ තික්ත වන අතර ගුණයෙන් ලඝු
වේ. වීර්යයෙන් උෂ්ණ වන අතර විපාකයෙන් කටුක වේ.
දෝෂ අනුව සැලකීමේ දී
වාත සමන ගුණ සහ සෙම නසන ගුණයෙන් යුතු ය.
ඖෂධ සඳහා ගනු ලබන අංග
මෙහි සම්පූර්ණ ලතාවම ඖෂධ සඳහා ගනු ලබන අතර,
බහුලවම මුල් ද සුළු වශයෙන් ගෙඩිද ඖෂධ සඳහා ගනු ලබයි.
මෙහි මුල් මුත්‍රකාරක, ජ්වරනාශක ව්‍රණ රෝපණ සහ ස්වේද ජනක ගුණ වලින් යුතු වේ. ගෙඩි, ගෙඩි පැසවීමේ ගුණයෙන් යුතු වේ.
වැල් කහඹිලියා වල ප්‍රධාන ගුණ කර්ම සැලකීමේ දී
මුත්‍ර කාරක, ස්වේද ජනක වන අතර, පිත් ස්‍රාවක ගුණද ඇත. එසේම හෘදයට හිත වන අතර මුඛ ශෝධන ගුණ ඇත. බල වර්ධකයි. කාස ශ්වාස විෂනාශකයි. රත් පිත් නාශකයි. රුචි වර්ධකයි.
මෙවන් ගුණවලින් යුතු වැල් කහඹිලියා යෙදෙන රෝග අවස්ථා සැලකීමේ දී
පුරාතන ජීවර කාස, ශ්වාස, අග්නි මාන්දිය, ශ්වාසනාලිකා ප්‍රදාහය, න්‍යුමෝනියා, ස්වරතන්ත්‍ර ප්‍රදාහය, උණ සන්නිපාතය, ශීර්ෂ වේදනා ආදියට බහුලවම යෙදේ. තවද කුෂ්ඨ,
ලාදුරු, උඳුගොව්වා කෑම, ව්‍රණ ආදී රෝග සඳහා බාහිර ආලේපයට යෙදේ. ඖෂධීය මාත්‍රා සැලකීමේ දී වැල් කහඹිලියා මුල් චූර්ණය, ග්‍රේන්ස් 5 - 20 දක්වා වේ. වැල්කහඹිලියා අඩංගු ඖෂධ යෝග රාශියක් දක්නට ලැබෙන අතර එයින් කිහිපයක් නම්,
කුෂ්ඨ රෝගයට
වැල්කහඹිලියා මුල් අඹරා ආලේපය
හිසරදයට
අමු ඉඟුරු, වැල් කහඹිලියා මුල් අඹරා හිසේ ආලේපය
ව්‍රණ සඳහා
වැල් කහඹිලියා මුල්, මදුරුතලා කොළ යුෂින් අඹරා ආලේපය
ගඩු (ලේ ගෙඩි) සඳහා
වැල් කහඹිලියා ඇල් දියෙන් අඹරා ආලේපය
උඳුගොව්වන් කෑමට
වැල් කහඹිලියා ගෙඩි ඇල් දියෙන් අඹරා ආලේපය
පුරාතන උපදංශයට
වැල් කහඹිලියා ක්වාථය
තියුණු උණ රෝගයේදී අතුල් පතුල් ශීතලට සහ වේදනාවට
වැල් කහඹිලියා ක්වාථය දෙනු ලබයි.
ශ්වාස නාලිකා ප්‍රදාහයට
වැල් කහඹිලියා කලං 6 ක් වතුර පත 1 1/4 ක් දමා අර්ධයට සිඳුවා ගත් කෂාය බීමෙන් සුවය ගෙන දේ. මේ ආදී වශයෙන් විවිධ ඖෂධ යෝග රාශියක් සඳහා වැල් කහඹිලියා යොදනු දක්නට ලැබේ. මෙයට අමතරව වැල්කහඹිලියා අඩංගු ප්‍රකට ඖෂධ යෝග කිහිපයක්ම වේ. ඒ අතුරින්, ප්‍රකට කෂාය යෝග අතර ආමය පැසවීමට යෙදෙන අමංතෝශීර පාඨාබ්ද.. ආදී කෂාය (පාචනාමෘතය)
ජ්වර සහිත රක්ත අතීසාරයට යෙදෙන පාඨා සමාගාදී කෂාය
ආම සහිතජ්වර ආන්ත්‍රික ජ්වර ආදියට යෙදෙන දුරාලභාදී, කෂාය ආදිය ප්‍රධාන වේ.
එසේම නිශ්ක්‍රීයවල්‍යාදී ක්වාථයද වැල්කහඹිලියා අඩංගු නිෂ්පාදිත ඖෂධයකි. මේ ආදී වශයෙන් ඖෂධීය ගුණයන්ගෙන් ඉතා පිරිපුන් ද්‍රව්‍යයක් වශයෙන් වැල්කහඹිලියා හැඳීන්වීමට පුළුවන.
වැල්කහඹිලියා ඖෂධ සඳහා යොදා ගැනීමේදී කල් තබා ගැනීමට කරනු ලබනුයේ මාස 6ක් සම්පූර්ණ වූ වැල් සම්පූර්ණයෙන්ම ගලවා මිටි බැඳ පවනේ වියලා සිසිල් ස්ථානයක ගබඩා කර ගැනීමෙන් කල් තබා ගත හැක.
තවද වෙනත් අවශ්‍යතා සඳහා ද වැල් කහඹිලියා යොදා ගනු ලබන අවස්ථා දක්නට ලැබේ. එනම් අලින්ගේ හටගනු ලබන හොරි සහ ගඩුවල ආලේපය සඳහා වැල්කහඹිලියා යොදා ගනු ලබන අතර, ධාන්‍ය බීජවල ( මුං ඇට, කව්පි, කඩල, මෑ ආදී ) ආරක්ෂාව සඳහා කෘමි නාශකයක් වශයෙන් මෙම වැල්කහඹිලියා කොළ යොදාගනු ලබයි.
මේ අනුව පැහැදිලි වනුයේ වැල්කහඹිලියා යනු ඖෂධීය වශයෙන් මෙන්ම වෙනත් ප්‍රයෝජන ගෙන දෙනු ලබන අගනා ද්‍රව්‍යයක් බවයි. ශරීරයේ ස්පර්ශ වීමේදී කසන නිසා එතරම් ප්‍රිය නොකරන පැළෑටියක් වුවද මෙහි ඇති ඖෂධීය වටිනාකම නිසා ආරක්ෂා කර ගත යුතු ය.
subasetha
Comments
Post a Comment