මුඛයෙහි හට ගන්නා වණවලට ඉතා ගුණදායක හාතාවාරිය

නොවැම්බර් 27, 2020

හාතාවාරිය හැම තැනම වැවෙයි. ගම්බද බෝක්කු අයිනේ ළඳු කැලේ අතර පඳුරු අස්සේ හැම තැනම, වියළි කාලගුණය තුළ වැවෙන බව තොරතුරු වාර්තා වේ.

එසේම මෙම ශාකය භාවිතය ක්‍රි.පූ. 350 තරම් වූ ඈතක සිට පැවතෙන්නක් මෙහි Shatawari යන නමෙහි තේරුම “සිය දහස් ගණනක් රෝග සුව කළ හැකිය” යන්නයි.

නැගෙනහිර මධ්‍යධරණී රටවල සහ රෝමය, ගී‍්‍රසිය වැනි රටවලද දක්නට ලැබෙන බවද පැරණි වාර්තාවලින් කියවෙයි. රෝමය, ගී‍්‍රසිය අතර විටින් විට හටගන්නා ඇවිලෙන යුද්ධයේදී රෝම හමුදා සෙබළුන් හදිසියෙන් දරුණු තුවාල වූ විට හාතාවාරිය ඉස්ම භාවිත කළ බව ඉතිහාසයේ සඳහන් වේ.

හාතාවාරිය කටු සහිත වැල් විශේෂයකි. වයස්ගත වීම ප්‍රමාද කිරීමේ ගුණ මෙහි අඩංගුව ඇති බව ආයුර්වේද වෙද පොත්වල සඳහන් වී ඇත. ගෙමිදුලේ වැවෙන ගෘහ අලංකාරය සඳහා ඇති කරන මල් පැළයක් ලෙසද දැක්විය හැකිය. හාතාවාරිය ශාකය කොළත් ඔසු කැඳ සඳහා යොදාගන්නා අතර අල ව්‍යාංජන පිළියෙල කිරීමට යොදාගනී.

හාතාවාරිය ශාකය උසට වැඩෙන කටු සහිත වැලකි. ආකන්දීය මුලක් සහිතය. ඝනකම ඇති මුල් රැසක් එම ආකන්දීය මුලෙන් පැන නගී. පත්‍ර සිහින්ය. දිගටිය. මල් ක්‍රමවත් ව පොකුරක් ලෙස හට ගනී. මල් සුවඳවත්ය. ලංකාවේ දක්නට ලැබෙන අනෙක් හාතාවාරිය පැළෑටිය (Asparagus falcatus) මීටර 2500 ට වඩා වැඩි උස් බිම්වල තෙත් සහ අතර මැදි ප්‍රදේශවල විශේෂයෙන් දක්නට ලැබේ.

උද්භිද විද්‍යාත්මක නාමය Asparagus racemosus wild වේ.

සිංහල :– හාතාවාරිය

දෙමළ – කිලාචාරි, සදාවෙරි, සිරුමල්, වරිචාරි, කිර්මිට්ටන්

ජාන්දි – චට්වාලි, ශත්මුලි, ශාතාවාර්

සංස්කෘත – අහිරු, මධුර, රංගිනි,දිව්‍යා. ඉංදිවරි, සුපත්‍ර, බහුශුක, කාෂති, ශාතාපදි

කුලය – Liliaceae

හාතාවාරිය

ඛනිජ පදාර්ථ සංයුතිය

ඛනිජ පදාර්ථ - (mg) සාන්ද්‍රණය

1. සෝඩියම් – 118

2. පොටෑසියම් – 1099

3. මැග්නීසියම්- 71

4. කැල්සියම්- 102

5. යකඩ- 1.97

6. සින්ක්- 0.76

7. කොපර්- 0.21

ආයුර්වේද පත පොතේ දක්වන ආකාරයට හාතවාරිය ගුණ වශයෙන් ගුරු, ස්නිග්ධ වේ. රසයෙන් මධුර හා තිත්තය. විපාකයෙන් මධුරය. වීර්යයෙන් ශීතය. දෝෂානුරූපව වාත පිත්ත සමනය කරයි.

හාතාවාරිය නැගෙනහිර රටවල උපතට නෑකම් කියයි. මේ වන විට ඉතාලිය. ප්‍රංශය, ජර්මනිය, මැලේසියාව, ඉන්දියාව, නේපාලය, චීනය, ඕස්ට්‍රේලියාව, අමෙරිකාව වැනි රටවල දක්නට ඇත. ලංකාවේ විවිධ දේශගුණික කලාප වලින් සජීවිව ශාක හමුවී ඇත. ගම්පහ, ගාල්ල, අනුරාධපුරය, පොලොන්නරුව, යාපනය, වව්නියාව, ත්‍රිකුණාමලය, අම්පාර, නුවරඑළිය ආදී ප්‍රදේශවල සජීවිව බලාගත හැක. බීජ මගින් මෙන්ම අංකුර සහිත ෙරෙසෝම මගින්ද බෝ කරගත හැකිය. ආධාර මත වැවෙන බැවින් පැළ වැඩෙන ලෙස ආධාරක සිටුවිය යුතුය.

ඈත අතීතයේ සිට පැරණි වෙද පොත්වල හාතාවාරිය ශාකය පිළිබඳ අඩංගු කරුණු අනුව බඩගින්න නැති කර සිරුර පුෂ්ටිමත් කරයි. අතීසාරය නැති කරයි. ඇසට හිතකර ප්‍රබෝධයක් ලැබේ. ශුක්‍ර වඩවයි. කිරි දෙන කාන්තාවන්ගේ මව්කිරි වඩවයි. මීට අමතරව නව යොවුන් තරුණ. තරුණියන්ගේ ශක්තිය වඩවයි. අම්ල පිත්ත. මුත්‍ර රෝග, රක්ත ප්‍රදර, ශ්වේත ප්‍රදර ආදි රෝග වලට ගුණදායක වේ. ධාතු දුර්වලතා ඇති දෙපක්ෂයටම හාතාවාරිය කැඳ උදේට හිස් බඩ පානය කිරීම ඉතා ගුණදායකය. රාත්‍රියේ ඇස් පෙනීම දුර්වල අයට රාත්‍රී අන්ධභාවයට හාතාවාරිය කොළ හාතාවාරිය අල, ඉරමුසු පස්පංගුව ද, බිංතල අල කොටා හාල්පානු දියෙන් මිරිකා ගෙන, ඇතිවන තරමට ජලය දමා උණු කර ගිතෙල් සමඟ දීමෙන් රාත්‍රී අන්ධභාවයට ගුණදායක බව පැරණි වෙද පොත්වල සඳහන් වේ.

ගීත ගායනයට හුරු දරු පරපුරක් ඇති කිරීමට. ගීත කවි තරගවලට පෙනී සිටින යොවුන් පරපුරට මිහිරි කට හඬක් ඇති කර ගැනීමට අලුයම පානය කරන ‘හාතාවාරිය කැඳ’ කෝප්පය උපකාරි වන බව හේතු වේ.

තරුණයන්ගේ ස්වප්න මෝචනයට හාතාවාරිය කැඳ ගුණදායකය. මධුමේහයට මෙන්ම ස්ත්‍රින්ගේ ප්‍රදර රෝග වලට ද ගුණදායක සේම ස්නායු ශක්තිමත් කරයි.



subasetha

Comments