ක්‍රෝෂ්ට්‍රක ශීර්ෂය හෙවත් ජානු කලා ශෝථය (දණහිස ඉදිමීම)

ඔක්තෝබර් 2, 2020

වාත රෝග අධිකාරියේ දණහිසට පමණක් සීමා වූ විශේෂිත වාත රෝගයක් ලෙස ක්‍රෝෂ්ට්‍රක ශීර්ෂය හඳුන්වා දිය හැක. 

වාත ශෝකිතජඞ ශෝථො 

ජානු මද්ධ්‍යෙ මහා රුජඞ 

ශෙªයඞ ක්‍රෝෂ්ටුක ශීර්ෂස්තු 

ස්ථුලඞ ක්‍රෝෂ්ටුක ශීර්ෂවන් (සු.නි.1) 

වාත රක්ත හේතුවෙන් දණහිසෙහි ඉදිමුම හට ගෙන එය හිවල් හිසක් මෙන් මහත්ව අධික වේදනාවෙන් යුක්ත වූ විට එය ක්‍රෝෂ්ට්‍රක ශීර්ෂය ලෙස හඳුන්වයි. 

මෙම රෝගය වාත රක්තය මෙන් ශරීරයේ නොයෙක් තැන් ඇසුරු කිරීමක් නොමැති මුත් තීව්‍ර වූ වේදනාවක් ඇති වේ. තවද දණහිසේ වතුර පිරීමක් ද ඇති නොවේ. එසේම මාස 8ක් 10ක් කල් ගිය ද නපුරු තත්ත්වයක් ඇති නොවේ. 

සිංහල යෝග රත්නාකරයේ මෙම රෝගය මෙලෙස විග්‍රහ කොට ඇත. 

ලේ හා වාතෙන් දණ උතු ඉදිමු ම් 

කොට්ටුක සිරසයි යන නම පවස ම් 

සාමාන්‍යයෙන් මෙම රෝගයට වාත රක්ත චිකිත්සාව කළ යුතු ය. ශිරාවන් විද වාත රෝගයටත්, රක්ත දෝෂයටත් සමග පොදු ප්‍රතිකාර යෙදිය යුතු ය. 

ක්‍රොෂ්ට සිරසි ගෘධ්‍රසි යයි යන දෙක     ට 

ලේ හැර වායු පිළියම් යොදන මොනව     ට 

අවසේසය වෙසෙසින් නැති වස ලෙස     ට 

ඔසු බැද තැවිලි ලා තෙල් ගා කරව     තුට 

ගෘධ්‍රසි ක්‍රොෂ්ට සිරය ද සෙම් නැසීම     ට 

සියලු කුරිරු කාරිය කරව නද කො     ට 

පසුව සියලු වාතය නැති වන ලෙස     ට     පිළියම් යොදා සෙත සලසාලව ඔහු     ට  

(සිං. යෝ. ර) 

කෂාය යෝග 

උණුසුම් රසකිඳ, ත්‍රිපල් කෂායට ගුගුල් දමා පානය කිරීම. 

උණුසුම් එළකිරි සමඟ එරඬු තෙල් පානය කිරීම. 

අරළු, සිද්ධිගුරු, චීන අල කෂායට රතිකාම තෛලය දමා බීම. 

සීන මුල්, ඉරමුසු, වැල්මී, හාතාවාරිය අල කෂාය කර බීම. 

කෝමාරිකා, ත්‍රිපල්, සෙනෙහෙ කොළ, මුරුංගා මුල්, උළුහාල්, කොල්ලු, සුදුලූනු කෂාය කර බීම. 

ප්‍රලේප 

වෙනිවැල් ගැට, වියත් දුඹුළු, නික කොළ, ත්‍රස්තවාලු, කුඹුරු ඇට, පෙරුම්කායම් යන මේවා ගෝමුත්‍රයෙන් අඹරා කකාරා ආලේප කිරීම. 

නිෂ්පාදිත ඖෂධ 

අමෘතාදී ක්වාතය, ත්‍රිපලා ක්වාථය, දුම්මැල්ල හත් වගේ කෂාය, ගාන්ධර්ව හස්තාදී කෂාය, ශාරිබාද්‍යාසවය, නිම්භාරිෂ්ටය, රණහංස රසායනය, ලසුන පද්මය, ක්‍රෝෂ්ටුක ශීර්ෂග්න තෛලය, දිව්‍යාංගනාදී තෛලය, අමෘතාරිෂ්ටය, දේව දාර්වාරිෂ්ටය, චෝපවිනී චූර්ණය, නිම්නාදී චූර්ණය, වැල් දෙහි චූර්ණය, පංච තික්ත ගුග්ගුලුව, ගෝක්ෂුර ගුග්ගුලුව, සිංහ නාද ගුග්ගුලුව, කොර තෛලය, විදුරග තෛලය.

මෙම රෝගය තනිකරම වාත රෝගයක් නොවන මුත් තද බල වාත රෝගයකදී පවතින්නා වූ අධික වේදනාවක් ගෙන දෙන බැවින් සුශ්‍රැත ආචාර්ය තුමා මෙය වාත රෝග අධිකාරියෙහි ලා විස්තර කොට ඇත. . . . .

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>



subasetha

Comments