බටහිර වෛද්‍ය කර්මයේදී මෙම රෝගී තත්ත්වයට ශල්‍ය කර්ම මගින් ප්‍රතිකාර කෙරේ. නමුත් ආයුර්වේද වෛද්‍ය කර්මය තුළින් ශල්‍යකර්ම වලට නොගොස් කල්ක, කෂාය, තෙල්, පත්තු. ගුලි යනාදිය භාවිත කර රෝග ශාන්තිය උදා කර ගැනීමට හැකියාව පවතී.
අද සමාජයේ බොහොමයක් කාන්තාවන් පීඩාවට පත් කරන රෝගයක් ලෙස දෑතේ හිරිය සමගින් ඇතිවන්නා වූ වේදනාව දැක්විය හැකිය. මෙහිදී තියුණු වේදනාව හා මස් පිඩුවල පෙරළීම් ද ඇතිවිය හැකිය. අතින් බරක් එසවීමේදී හෝ අල්ලා සිටීමේදී අධික වේදනාව හා ඇඟිලි වල හිරි ගතියක් ඇතිවේ. මෙම රෝගී තත්ත්වය ආයුර්වේදයේ හඳුන්වනු ලබන්නේ විශ්වාචී වාත රෝගය ලෙසිනි.
අල්ලෙන් පටන් ගෙන ඇඟිල්ල දක් වා
ගති නම් වාතෙත් අතුරු නොදක් වා
විශ්වාචී වාතය කියන නමක් වා
පවතී පෙර සිට තව අද දක් වා
(සිං.යෝ.ර)
බොහෝ විට මෙම රෝගී තත්ත්වය වයස අවුරුදු තිහ, තිස්පහ ඉක්ම වූ කාන්තාවන් හට වැලඳීමේ ඉඩකඩ වැඩිය. සමහර කාන්තාවන්ගේ එක් අතක ද, සමහරෙකුගේ දෑතේම ද මෙම තත්ත්වය හට ගනී. එක් අතක ආ පසු නොබෝ දිනකින් අනෙක් අත ද ආක්‍රමණය කරයි. කටී ප්‍රදේශයේ මෙන්ම ගි‍්‍රවා ප්‍රදේශයෙහි ද කශේරුකාන්තර අතර, බිම්බ වල (Dise) නෙරා ඒම හේතුවෙන් සුසුම්නාවේ බාහිර තෙරපීමක් ඇති වූ විට බාහුවේ වේදනාව, පේශි දුර්වල බව, අත මැණික් කටුවෙන් උඩු අතට නැවීමට නොහැකිවීම යනාදී ලක්ෂණ මෙම රෝගයේදී දක්නට පුළුවන.
අතේ මැණික් කටුව ආශි‍්‍රතව ඇති කුඩා කුහරය (Carpal Tunnel) තුළින් මධ්‍යස්ථ ස්නායුව (Median Nerve) ගමන් කරන අතර, එම කුහරයට පිටතින් අල්තර් ස්නායුව (ulnar Nerve) ගමන් කරයි. මෙම කුහරය තුළ ස්‍රාවයක් එකතුවීමෙන් හෝ වෙනත් ආකාරයකින් හෝ පීඩනය වැඩි වී මධ්‍යස්ථ ස්නායුව තෙරපීම හේතු කොට ගෙන අතේ ඇඟිලිවල වේදනාව හෝ හිරිය හෝ මේ දෙකම ඇති වේ. එපමණක් නොව ස්නායුව තෙරපීම නිසා රුධිර සම්පාදනය නිසි ලෙස ක්‍රියාත්මක නොවීමෙන් හිරිය ඇතිවේ. කෙසේ වෙතත් මෙම තත්ත්වය දෑත මෙහෙයවා කරන ක්‍රියාකාරකම් වලට බාධා පමුණුවයි.
එදිනෙදා වැඩ කටයුතු කරන විට මෙම හිරි ගතිය මද වශයෙන් දැනෙන අතර, සමහර කාන්තාවන්ට උදෑසන අවදිවීමත් සමඟ හිරිය දැනෙන්නට පටන් ගනී. එසේම ඉවසිය නොහැකි අධික වේදනාවක් ද දැනේ. පෑන,පැන්සල, ඉදල, කොස්ස, පිහිය , කතුර වැනි උපකරණ ඇඟිලි අතර රඳවා ගැනීමට නොහැකි ස්වභාවයක් ඇතිවේ. මෙම වේදනාව මැණික් කටුවේ සිට ඇඟිලි තුඩු දක්වා පැතිරෙන අතර, සමහර අවස්ථාවලදී වැලමිට දක්වා හෝ ඉන් ඉහළට ද වේදනාව ගමන් කරන බවක් දැකිය හැක.
විශේෂයෙන් අධික ලෙස දෑත මෙහෙයවා වැඩ පල කරන කාන්තාවන් ට ද මෙම රෝගී තත්ත්වය වැලදේ. මීට අමතරව පරිගණක ශිල්පීන්ට, ලේඛන කලාවේ නියුක්ත වූවන්ට, ගුරු වෘත්තිකයින්ට, රියදුරන්ට, ඇඳුම් මසන්නන්ට, වඩුවැඩ හා මේසන් කර්මාන්තයේ යෙදෙන්නන්ටද මෙම රෝගී තත්ත්වයට මුහුණ දීමට සිදුවේ.
එසේම මෙම රෝගී තත්ත්වය තයිරොයිඩ් ග්‍රන්ථියේ මද ක්‍රියාකාරිත්වයේදී ද, දියවැඩියා රෝගයේදී ද ආමවාත සන්ධි ශෝථයේදී ද උපද්‍රවයක් ලෙස පැන නැගේ. තවද වැටීම්, තැලීම් වැනි බාහිර පීඩාවන් වලදි මැණික් කටුව ආශි‍්‍රත ප්‍රදේශය මෙකී තත්ත්වයට පත්වේ.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
subasetha
Comments
Post a Comment