වමන කර්මය
ළය විරේක ලෙස දේශීය චිකිත්සාවේ දී අප හඳුන්වන්නේ මෙයයි. ශරීරයේ උර්ධ්ව භාගයෙන් හෙවත් මුඛයෙන් කිපිය වූ දෝෂ නිසි ලෙස ශරීරයෙන් බැහැර කිරීම වමන කර්මය නම් වේ.
මෙමගින් අප ආමාශ ගත දූෂිත වූ සෙම් පදාර්ථ සමනය කිරීමට මෙම කර්මය උපයෝගී කරගන්නා අතර, මෙහිදී ද අප පෙර විග්‍රහ කළ පරිදි ස්නේහන ස්වේදන විධි මඟින් සමනකර ද්‍රවත්වයට පත්වූ එම සැඟවුණු දෝෂයන් අප පිටතින් ලබාදෙන වමන කාරක ද්‍රව්‍යයන් හේතු කොට ගෙන ඔවුන්ගේ විවිධ වු විශේෂ ගුණයන් උපකාරයෙන් හෘදය කරා ගොස් ධමනි ද්වාරයෙන් ශෝතස් තුළට ගෙන ගොස් වමන කාරක වල උෂ්ණ ගුණ හේතුවෙන් සැඟව සිටත්, තීක්ෂණ ගුණ හේතුවෙන් දෝෂයන් ඡේදනය කරත් සූක්ෂ්ම මාර්ගයන් තුළින් ආමාශය තුළට පිවිස උධාන වාතය සමඟ එක්වී අග්නියේ ක්‍රියා හා වාතයේ ක්‍රියා හේතුවෙන් ශරීරයේ ඌර්ධ්ව කොටසේ කිපී ඇත්තාවූ දෝෂයන් බැහැර කිරීමේ යුත් එම ද්‍රාවණයන්ගේ ප්‍රභාව බලයෙන් මුඛයෙන් වමන ක්‍රියාවෙන් බැහැරට පමුණුවීම සිදුකරයි.
වමන කර්ම යෙදීම මගින් යළිඳු ඇති නොවනසේ සුව කරගත හැකි රෝග ලෙස විෂ ශරීරගත වීම්. කුෂ්ට,උන්මාද අපස්මාර ,ස්වාසය මදුමේහය, අතීසාර, අධෝගත රක්ත පිත්ත. ක්ෂය රෝගය විසර්ප, මව්කිරි දෝෂ, අජීර්ණ. මන්දාග්නි, පීනස, අරුචි කර්ම රෝග,නාසා පාතක, තාලුපාක, කෝෂ්ඨ පාක, නව ජ්වර ආදී රෝගයෝ වෙත්.
වමනකාරක ද්‍රව්‍ය ලෙස :– මදන ඵල (මෙය වමන කර්මයේදී භාවිත වන ශ්‍රේෂ්ඨතම ඔසුවයි) බිං නුඟ මුල්චූර්ණය,කුකුරුමාන්, වැල්මී, තිත්ත ලබු, කොහොඹ තිත්ත, වැටකොළු, කෙලිඳහාල්, වලඟසාල්, රත්නිටුල්, වඳකහ, අබ ආදි ද්‍රව්‍යයන් දැක්විය හැක.
නිවැරදි වමන කර්මයකින් රෝගියාට ඉතා හොඳින් අග්නිය ඇතිවේ. කිපියා වූ දෝෂයෝ සමතාවයට පැමිණීම සිදුවේ. මුඛයේ විසරතාවයන්, කැසීම්, ග්‍රහණි ස්ථාවර විෂ නිසා ඇතිවන පීඩාවන් කිසිවිටක යළි ඇති නොවේ. සිරුර සැහැල්ලු බවින් යුක්ත වේ.
විරේචන කර්මය
රෝගියාගේ අධෝ මාර්ගයෙන් දෝෂ බැහැර කිරීම විරේකය නම්වේ. විරේක නමින් දෝෂ බැහැර කිරීමේ අර්ථ දෙන බැවින් මුඛය මාර්ගයෙන් දෝෂ බැහැර කරන අවස්ථාවටද විරේක යන නම යොදනු ලැබේ. විරේක කර්මයේ ද මනා ගුණ ලබා ගැනීමට පිළිවෙලින් ස්නේහ හා ස්වේද කර්ම නිසි ලෙස කර ප්‍රධාන කර්මයට යොමුවීමෙන් ලබාගත හැකිය. මෙම කර්මය බහුලව පිත් රෝග සඳහා යොදන බැවින් ආමය නිසා හටගත් රෝගවලට, උදර රෝග වලට, වාත රක්ත රෝගයට, අර්ශස්, භගන්දර , පාණ්ඩුව, හෘද රෝග, අරුචි, ස්ත්‍රී රෝග වලට ආදී රෝගයන්ට යෙදීමෙන් පූර්ණ සුවය ලබාගත හැකියි බව දක්වා ඇත. බොහෝවිටම ශරීරයේ නිරෝගීකම අපේක්ෂාවෙන් විරේක කර්ම යොදන අතර සරත් ඍතුව හා වසන්ත ඍතුවේදී යෙදීම සුදුසු වන අතර රෝගියාගේ අවශ්‍යතාවය අනුව නිසි වෛද්‍යවරයකු යටතේ කාලයන් නොසලකා වුවද අවශ්‍ය පරිදි විරේචන කර්මයන් යෙදිය හැකිය.
විරේක කාරක ද්‍රව්‍ය ලෙස :– දැත්ත අල, තිරස්සවාළු. අවරිය , ඇසල , වඳකහ, අරළු, බුළු,නෙල්ලි, මුද්දරප්පලම්, සෙනෙහෙ කොළ, කටුකරෝසන, සියඹලා ආදී ලෙසට දැක්විය හැකිය. තවද නිෂ්පාදිත ඖෂධ ලෙසද විරේකයන් ලබාගැනීමට හැකිය.
නිසි ලෙස විරේකයක් ලද රෝගියාට ශරීරය ඉතා සැහැල්ලු බවක් කිපියා වූ දෝෂයන් සමතාවයට පත්වීම මලබද්ධතා ආදී අන්ත්‍ර ගත දෝෂයන් වලින් මිඳීයාමේ සුවය දැනීම, අධික ස්ථූලත්වයෙන් මිදීමටද, ඉතා හොඳ අග්නියක් සහිත බව, ශරීරයේ දැවිලි කැපිලි ආදි පීඩාවන් මිදීමට හැකිය.
වස්ති කර්මය
වස්ති යන්නෙහිම තේරුම මුත්‍රාශය නමි. මෙය ප්‍රධාන වශයෙන් උත්තර වස්ති එනම් මුත්‍රාශයට හා ගර්භාෂයට කිරීමටත් අධර වස්ති ගුදමාර්ගයට කිරීමටත් යොදා ගනී. මෙම අන්ත්‍ර මාර්ගයට බෙහෙත් තෙල් යොදා කරන වස්ති අනුවාසන වස්ති ලෙසත්, කෂාය වර්ග විඳීම මඟින් කරන වස්ති නිරුහන වස්ති ලෙසටත් බෙදා දැක්වේ.
ඈත අතීතයේ දී මෙම වස්ති විඳීමට සතුන්ගේ මුත්‍රාශයන් උපකරණ ලෙස භාවිතයට ගෙන ඇති අතර එසේ සොයා ගැනීමට අපොහොසත් වූ තැන එම උපකරණ සම්වලින් තනවාගෙන ඇත. මෙම උපකරණ තැනීමට බහුල ලෙස මේරූ ගව මී සතුන්ගේ මුත්‍රාශයන් හෝ හම් භාවිතයට ගෙන ඇත. පපුව ක්‍රම ක්‍රමයෙන් නවීකරණය වෙමින් අද භාවිත කරන උපකරණ ගණයට පැමිණ ඇත.
වස්තියක් යෙදීමට සුදුසු කාලයන් ලෙස හේමන්ත ඍතුව, සිසිර ඍතුව, වසන්ත ඍතු වලදි අනුවාසන වස්තියන් යෙදිය හැකි අතර, ගී‍්‍රෂ්ම ඍතුව, වර්ෂා ඍතුව, සරත් ඍතුවලදී ද රාත්‍රී කාලයේදී අනුවාසන වස්ති යෙදිය හැක. තවද විරේචන කර්මය යෙදීමෙන් පසු යම් රෝගියෙකු වස්තියකට යොමුවේ නම් ඔහු දින 7 කින් පසු ඊට යොමු විය යුතුය.
වස්ති ද්‍රව්‍ය ලෙස :– කුකුරුමාන්, දසමුල, අරත්ත අල, දේවදාර, වැල්මී, සුවඳ කොට්ටම්, කෙලිඳ සහල්, කොල්ලු, තික්ත වැටකොළු, සෛන්දව ලවණ, මී පැණි, තිරස්සවාළු ආදිය නිරූහ වස්තීන් වන ලෙසත්, මහ පහ බැවිල, රසකිඳ, එඬරු, සාරණ, එළබටු ආදිය ස්නේහන වස්ති ලෙසත් ගත හැක.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
subasetha
Comments
Post a Comment