ධර්මදාස ගැටවරයා පසළොස්වැනි වියේදීම පාසලින් හයවැන්න සමත්වූ පසුව කැලේ පැන්නේ මේ ඉගෙන ගත්තා ඇතිය යන හැඟීමෙන් යුතුවය. ඉන්පසු ඔහු පවුලේ මව්පියන්ගේද අදහසකට අනුව බටලීයේ ජල බුබුල අසල ඇති ශ්‍රී සිද්ධාර්ථ පිරිවෙන කරා ගියේ මහණදම් පිරීමේ අදහසද ඇතිවය.
මහණදම් පිරීමට පෙරහුරුවක් ලෙස ශතක පොත් හා බණ දහම් පොත් කියැවීමේ, සමහර ග්‍රන්ථ වනපොත් කිරීමේ අවස්ථාව ලද ගැටවරයා ඒවා ප්‍රගුණ කළේ මහත්වූ අභිරුචියකිනි. ඒ අතර ඔහුට නිතොරවම පාහේ දකින්නට හා අසන්නට ලැබුණු එක්තරා දර්ශනයකින් හා හඬකින් තම සිත සසල කර ගන්නට ඔහුට අවස්ථාව ලැබිණ. එහි නිමිත්ත වූයේ පන්සලේ ඇතුළු කාමරයක වැඩ වසන ඇඳුම රෝගයෙන් ඔත්පලව වෙසෙන වයෝවෘද්ධ හාමුදුරු නමක යාර ගණනක් දුරට පවා ඇසෙන්නට හති දමන හඬ ඇසීමය. එසේම ඔත්පල වෙමින් ඒ හිමියන් දුක්විඳින සැටි දුටු විටදී ධර්මදාස ගැටවරයාට මහණකම එපා විය.
මට වෙදකම ඉගෙන ගෙන ලොකු මහත් වෙලා මෙවැනි ලෙඩුනට පිහිට වෙන්නට ඇත්නම් කෙතරම් හොඳද? යනුවෙන් එය දකින සෑම වාරයක් පාසාම එම නාහිමියන්ගේ හඬ අසන වාරයක් පාසා ධර්මදාස ගැටවරයාට සිතෙන්නේය. ඔහු මෙම සිතිවිල්ල සිතේම සඟවා තබා ගත්තේ නැතිව එක් දිනයක නායක හාමුදුරුවන්ට කියා සිටියේය. මෙකල ඔහු මහණ කරවන්නටද දින වකවානු යොදා ගෙන තිබිණ.
“මට ඕනෑ වෙදකම ඉගෙන ගන්න .මට මහණ වෙන්න බැහැ” යනුවෙන් තම සිතේවූ අදහස ළඟම ඥාතිවරයෙකුද වූ විහාරාධිපති පූජ්‍ය රද්දල්ගොඩ විමලබුද්ධි නාහිමියන් වෙත කියා සිටියේය. ඒ අදහසට විරුද්ධ නොවූ නාහිමියෝ පසුවදාම ධර්මදාස ගැටවරයා කැඳවා ගෙන ගොස් පූජ්‍ය පස්යාලේ සෝමරතන වෙද හාමුදුරුවන්ට බාර දුන්හ. එක බැල්මෙන්ම සෝමරතන නා හිමියෝ දරුවා තේරුම් ගත්හ. රද්දල්ගොඩ නාහිමියන් මේ සමඟ ගැටවරයාගේ වේලාපත්කඩයද ගෙනැවිත් තිබුණු හෙයින් එයින්ද මනා ලෙස පිරික්සා බැලූ වෙද නාහිමියෝ ඉන් බලවත් සතුටකට පත් වූහ.
නායක හාමුදුරුවනේ මේ දරුවාට පිහිටා තියෙන්නේ වෙදකමම තමයි. මහණ කරන්නට ගියාට වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේමයි මට මේ දරුවාට උගන්වන්න ඒ තරම් මහන්සි වෙන්න ඕනෙ එකකුත් නෑ” යයි වෙද නා හිමියෝ පැවසුවෙන් රද්දල්ගොඩ නාහිමියෝ ආපසු පිරිවෙනට වැඩම කළේ මහත්වූ සතුටකින් යුතුවය.
පිරිවෙනේදී වසර ගණනාවක් තිස්සේ එහි පොත්ගුලෙහි වූ බණපොත් මෙන්ම වෙනත් විවිධ විෂයයන් ගෙන් යුත් පුස්කොල පොත් මහත් ආශාවෙන් යුතුව කියැවූ ධර්මදාස ගැටවරයා වෙදකමෙහි සතතාභ්‍යශය ලබනු පිණිස යොමුවූ යේ නිතැතින්මය.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
කස්තුරි ලියයි
subasetha
Comments
Post a Comment