අප අතර සිටින වැඩි දෙනෙක් අඩියක් දුර හෝ පයින් ඇවිදීමට අකැමැතිය. පුටුවෙන් නැඟිටීමට වඩා උත්සාහ ගන්නේ මොහොතක් හෝ නැඟී නොසිට වාඩි වී සිටීමටය. මෙතරමට අලස වී සිටින්නේ ඉතා කාර්යශූර ජාතියකි. වසර ගණනක් පුරා ආයුර්වේදීය ඇවතුම් පැවතුම්වලට හුරු වූ පිරිසකි.
ඇඟපත සෙලවීම කෙසේ වෙතත් අප ගන්නා ආහාර ප්‍රමාණය නම් යුගයෙන් යුගය වැඩි වී ඇත. ඔබ බෙදා ගන්නා පිඟාන දෙස බලන්න. එය කුඩා එවරස්ට් කන්දකට දෙවැනි නෑ නේද?
ප්‍රවීණ ආයුර්වේද වෛද්‍ය වසන්ත් ලාඩ් පවසන අන්දමට අප කුස පුරවා ගත යුත්තේ වකුටු කළ අත්ල දෙක එක් කළ ප්‍රමාණයටය. ඊට වැඩි ප්‍රමාණයක් කෑමට ගතහොත් ආමාශය විශාල වෙයි. වඩ වඩාත් ආහාර අවශ්‍ය වෙයි. පමණට වඩා ආහාර ගත් විට ජීර්ණ පද්ධතියේ විස නිපදවීම ද වැඩිය.
බටහිර වෛද්‍යවරුන් උදෑසන ආහාරය මඟ නොහරින ලෙසට නිරන්තරයෙන්ම උපදෙස් දෙයි. එය ඉපැරැණි ආයුර්වේදීය මතය අනුමත කිරීමක් වැනිය. කාර්ය බහුලකම නිසා උදෑසන ආහාර වේල මඟ හැරීම කිසිසේත්ම සුදුසු නැත. විශේෂයෙන්ම ඉන් වාතය, පිත සහ සෙම අසමතුලිත වෙයි. විශේෂයෙන්ම උදෑසන ආහාරය මඟ හැරීමෙන් පිත කුපිතවීමේ දැඩි අවදානමක් පවතී. එයින් සිදුවන විශාලම පාඩුව සතුට වෙනුවට කෝපය, නොරිස්සුම් සහගත බව සිත් රජ කිරීමයි.
උදෑසන ආහාර වේල මඟ හැරීමට ප්‍රධාන හේතුව කාර්ය බහුලකම වුව ද කුසගිනි නොදැනීම ද මේ කෙරෙහි බලපෑමට පුළුවන. නැවුම් එළවළු, පලතුරු යුෂවලින් දවස ඇරඹීම ඊට පිළියමකි. එයින් සිරුර විජලනයෙන් දුරු වී සජලනය වෙයි. පෝෂක සිරුරට ලැබෙයි. එහෙත් සෑම පලතුරක්ම, එළවළුවක්ම උදෑසනට යුෂ වශයෙන් ගැනිම සුදුසු නැත. කැරට්, මිදි, ඇපල්, පෙයාර්ස් වැනි පලතුරු බොහොමයක යුෂ උදෑසනට ගත හැකිය. තෝරා ගත යුත්තේ ඇඹුල් රසයෙන් තොර පලතුරුයි. දොඩම් උදෑසන පානයක් ලෙස නොගත යුත්තේ එහි ආම්ලිකභාවය වැඩි නිසයි. කාමර උෂ්ණත්වයෙන් යුත් සීත නොකළ පාන ගැනීමත් වැදගත්ය.
ආයුර්වේදයට අනුව උදෑසනට පලතුරු ආහාරයට ගැනීම ‘රන්’ ආහාරයට ගැනීමට සමානය. මේ පලතුරුවලින් උපරිම පෝෂණය ලද හැකි වේලාවයි.
පැණි රසැති පලතුරු යුෂ පිරිසුදුකාරක ද වෙයි. සිරුරේ අපවිත්‍ර දෑ ඉවත් කිරීමට පැණිරස පාන උපකාරී වෙයි.
ධාන්‍ය වැනි වෙනත් උදෑසන ආහාරයක් ගැනීමට මිනිත්තු 30 කට පෙර පලතුරු යුෂ රස විඳින්න.
තවත් අපූරු ක්ෂණික ආහාරයක් නම් පෙර දින රාත්‍රියේ මිනිත්තු 30 ක් පෙඟ වූ වියළි මිදි වැනි දෙයක් කෑමට ගැනීමයි.
රටඉඳි සහ ගිතෙල් පෝෂ්‍යජනක සුසංයෝගයකි. ඕට්මීල් සහ වියළි මිදි තවත් විකල්පයකි.
ධාන්‍ය ගිතෙල්, සූදුරු, ඉඟුරු, කහවලින් රසවත් කර කෑමට ගත හැකිය.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඉන්දියානු ආයුර්වේද උපදෙස් ඇසුරිනි
සටහන – චම්පිකා දීපානි රණසිංහ
subasetha
Comments
Post a Comment