සුදෝ සුදු මුතු වන් දත් දෙපෙළකින් පාන සොඳුරු සිනහවකින් ඔප් නැංවෙන්නේ ඔබේ පියකරු බව පමණක් නෙවෙයි, මුළු ගතෙහිම ශරීර සුවතාවයයි. ආයුර්වේදය මේ රස රහස සොයා ගනු ලැබුවේ මීට වසර දහස් ගණනකට පෙරදීය. මුඛයේ සුවතාව සකල ශරීරයටම බලපායි.
වා, පිත්, සෙම් අසමතුලිතතාව මුළු ශරීරයේම සෞඛ්‍යයට අයහපත් ලෙස බලපානවාක් මෙන්ම මුඛයට ද බලපායි. මේ තුන් දොසම තවත් උප වර්ග පහකට බෙදෙයි.
සෙම හෙවත් කප අපේ මුඛයේ ක්‍රියාකාරිත්වයට නැතිවම බැරිය. උප සෙම් වර්ගයක් වන බෝධක කප (දෙස) මුඛයේ එන්සයිම සමඟ ජීර්ණයේ මූලික පියවර සිදු කරයි.
ආහාර ජීර්ණයට හිතකර බැක්ටීරියාවන් ද එක් වන අතර බෝධක කප මේ බැක්ටීරියාවන් හැසිරවීමේ කාර්ය සිදු කරයි. මුඛයේ පටකවල ලිහිස්සිභාවය වැඩි කරයි. අපේ කථනයට ස්වර තන්ත්‍රවලට ආධාර වෙයි. මුවෙහි උෂ්ණත්වය රැක ගනී. රස දැනීමට උපකාරී වෙයි. සෙම් ගෙඩි හරහා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයට සහයෝගය ලබා දෙයි.
බෝධක කප සමතුලිතව ඇති විට අපේ මුවෙහි සුවසෙත සුරැකෙයි. එහෙත් එය අසමතුලිත වූ විට මුළු සෞඛ්‍යයටම අහිතකරව බලපායි. ශරීරයේ සෙම් ප්‍රධාන ස්ථාන වන්නේ අග්න්‍යාශය, හදවත, මොළය සහ සන්ධි ය. බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පවා මුඛ සෞඛ්‍ය සමඟ එම ස්ථානවල ඇති සබඳතාව සොයාගෙන ඇත. දියවැඩියාව (අග්න්‍යාශය), හෘද රෝග (හදවත), ඩිමෙන්ෂියා, ඇල්ෂයිමර් රෝග (මොළය) සහ ඔස්ටියෝපොරෝසිස් ඊට උදාහරණයි. ඔස්ටියෝපොරෝසිස් සමඟ සෙම සම්බන්ධ වන්නේ සන්ධිවල ඇති ශ්ලේෂක කප අස්ථි පටක පෝෂණය කරන නිසාය.
අප මුවෙහි සෞඛ්‍ය රැක්කොත් එවැනි රෝග තත්ත්වයන්ගෙන් අත් මිදිය හැකිය. නොරැක්කොත් අත් පත් කර ගැනීමට සිදුවන්නේ එහි ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලයි.
දිවට දැනෙන රස හය අපේ ආහාරය සමතුලිත කරන බව ඔබ දන්නවාද? මේ රස හය කායික මානසික සුවයට බලපායි. ආයුර්වේදයේ රස දැක්වෙන්නේ බලසම්පන්න චිකිත්සක ප්‍රතිකර්මයක් ලෙසයි.
රස හය කෙතරම් බලසම්පන්නද කිවහොත් වාපිත් සෙම් සමනය කිරීමට හෝ කුපිත කිරීමට මේ සය විධ රසය යොදාගත හැකිය.
වාතය සමතුලිතව තබා ගැනීමට වැදගත් වන්නේ පැණි රස, ඇඹුල් රස සහ ලුණු රසයෙන් යුතු ආහාරයි. වාතය කුපිත වන්නේ කටුක, කෂාය, තිත්ත රස මඟිනි. පිත සමතුලිත වන්නේ තිත්ත, පැණිරස සහ කසට රස මඟිනි. අනෙක් රස මඟින් පිත අසමතුලිත වෙයි.
සෙම තිත්ත, කසට, කෂාය රස මඟින් සමනය වෙද්දී පැණි රස, අඹුල් රස සහ ලුණු රස මඟින් කුපිත වෙයි.
ආහාරය උකහා ගෙන රසය කුමක්දැයි හඳුනා ගැනීම මුඛය සහ ජීර්ණ පද්ධතියේ ඉතිරි කොටස් සමඟ ගොඩ නැඟෙන පාලමයි. ආහාර මාර්ගය, ආමාශය, අන්ත්‍ර හොඳින් ක්‍රියාකාරී වී උපරිම ජීර්ණයකට මං පෑදෙන්නේ ආහාරය උකහාගෙන රසය හඳුනා ගත් පසුවයි. කටට දෙකට නොකා හොඳින් ආහාර රස බැලිය යුත්තේ එනිසයි.
ඉන්දීය ආයුර්වේද
උපදෙස් ඇසුරිනි
සටහන – චම්පිකා දීපානි රණසිංහ
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
subasetha
Comments
Post a Comment