හදවත් රෝගීන්ට ගුණ දෙන කළු උක්

පෙබරවාරි 16, 2024

දේශීය සිංහල ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී නැතුවම බැරි උක් ප්‍රධාන වශයෙන් ආර්ථික ලාභ ලබා ගැනීමේ අරමුණ ඇතිව විවිධ රටවල මහා පරිමාණයෙන් වගා කරනු ලබයි. සීනි නිෂ්පාදනය කරන ප්‍රධාන පෙළේ දේශයක් වන කියුබාව ඉන් එක් රටකි.

තෘණ කුලයට අයත් වන මේ ඖෂධීය ශාකය අප ශ්‍රී ලංකාවේද බහුලව දකින්නට හැකිය. කියුබාව හැරුණ විට ශ්‍රී ලංකාව, ඉන්දියාව, මුරිසි රාජ්‍යය ආදි රටවල බහුලව වගා කරන ආර්ථික වාසි ලබන ශාකයකි. බහු වාර්ෂික ශාක වර්ගයක් වන මෙහි කඳන් පුරුක් සහිත වේ. මුල් හට ගන්නේද රයිසෝමවලය. වර්ග කිහිපයක් ම ඇත. ඒ අනුව දම් පාට, කොළ සහ ළා කහ පාටට හුරු කඳන් සහිත මෙන්ම කළු පාට ශාඛද වේ. එය කළු උක් ලෙස හඳුන්වනු ලබයි. මහතින් අධික ශාකද සිහින් කඳන් සහිත ආදි විවිධ වර්ගයේ උක් ශාක ඇත. ළා කහ පැහැති කඳ සිහින්ව ඇති ශාකය සුදු උක් ලෙස හඳුන්වනු ලැබේ. හොඳින් වැඩුණු ශාකයක් අඩි 12/15ක් පමණ උසින් යුක්ත වේ. මෙහි මල් දැක ගත හැකි වන්නේ මංජරියක් ලෙසටය. සිසිල් ගුණය බහුලව පවතී. පිත කෝප වී හට ගන්නා ව්‍යාධීන්වලට ඉතා ගූණදායක වේ. ශ්ලේෂ්මලජ සමනය කරලීමෙහිලා යෙදිය හැකිය. මූත්‍ර අඩස්සිය, කෑම අරුචිය, හෘද රෝග පවතින අවස්ථාවලදී මෙන්ම යකෘත්තයේ හට ගන්නා ආසාදන නොවූ ආබාධවලටත් එමෙන්ම සෙංගමාලයෙන් පෙළෙන රෝගීන්ගේ සැනසිලිදායක සුවයක් ළඟා කරදීම සඳහා කළු උක් පැණි මිශ්‍ර ඖෂධ භාවිත කෙරේ. දේශීය සිංහල ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී විවිධ වූ කල්ක පානය කිරීමේදී මෙන්ම කසාය සකස් කිරීමේදීද කළු උක් පැණි සහ උක් හකුරු යොදා ගැනේ. ඖෂධීය ගුණ රැසක්ම හිමි ගණ දෙවිඳු පි‍්‍රය කරන කළු උක් ශාකයක් ඔබේ ගෙවත්තේ රෝපණය කර ගැනීම ඉතා යහපත් වේ. මේ කළු උක් ශාකයේ කොළ, කැඳ සඳහා ද යොදා ගැනීම ඉතා ගුණදායක වේ.

 

පාරම්පරික යන්ත්‍ර මන්ත්‍රවේදී,

එච්.විජිත කුමාර සිංදුරගේ

 



subasetha

Comments