ශීඝ්‍රයෙන් පැතිරෙන වෛරස් උණ

නොවැම්බර් 17, 2023

මේ වර්ෂා කාලගුණය සමයේදී වෛරස් උණ බෙහෙවින් පවතින අතර දරුවන් බොහෝ දෙනෙක් එයට ගොඳුරු වීමේ ප්‍රවණතාවයක් දක්නට ඇත. වෛරස් උණ ඕනෑම වයස් කාණ්ඩයකට බලපාන නමුත් අඩු ප්‍රතිශක්තියක් ඇති දරුවන්ට වැලඳීමේ වැඩි අවදානමක් ඇති බැවින් දරුවා උණුසුම් සංවේදනයක් ගැන පවසන්නේ නම්, හිසරදය හෝ වමනය පවතින්නේ නම් වෛරස් උණ රෝගයෙන් පෙළෙනවා විය හැකිය.

උණ රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් සතියක් පමණ පවතින අතර වඩාත්ම දරුණු රෝග ලක්ෂණ ඇති වන්නේ දින දෙක තුනක් පමණි.

උණ, තෙහෙට්ටුව, ශරීර දුර්වලතා, හිසරදය, මාංශ පේශි වේදනා, උගුරේ අමාරුව, කැස්ස, ඔක්කාරය, වමනය ප්‍රධාන රෝග ලක්ෂණ වේ.

දැනටමත් වෛරස් උණ රෝගයෙන් පෙළෙන පුද්ගලයකුගේ කැස්ස හෝ විවෘතව කිවිසුම් කර පිටවන කෙල බිඳීති මගින් වෛරස් උණ පැතිරිය හැකිය. රෝගියෙකුගේ එම ශාරීරික තරල ශරීරගත වූයේ නම්, ඒ හා සමානව රෝග ලක්ෂණ ඇතිවීමට පටන් ගනී. ඒ වගේම වෛරස් ආසාදනය රැගෙන යන කෘමීන් සහ අනෙකුත් සතුන් සපා කෑම මඟින් වෛරස් උණ බෝවිය හැකියි.

වෛරස් උණෙන් වැළකීම සඳහා නිතර දෑත් සේදීම, සනීපාරක්ෂාව තහවුරු කර ගැනීම, නාසය සහ මුඛය ස්පර්ශ කිරීමෙන් වැළකීම, කෝප්ප හෝ උපකරණ අන් අය සමඟ බෙදා ගැනීමෙන් වැළකීම ඉතා වැදගත් වේ.

නිසි ප්‍රතිකාර ගනු ලැබුවහොත් වෛරස් උණ ඉක්මනින් සුව කළ හැකිය. මූලික ප්‍රතිකාරය වන්නේ නිවසේ සිට විවේක ගැනීමයි. ජලය හා තරල වැඩිපුර පානය කිරීම වෛරස් උණ සුව කිරීමට බොහෝ උපකාරී වේ. කිවිසුම් යාම හා කැස්ස තුළින් රෝගය පැතිරිය හැකි බැවින් නිරෝගී පුද්ගලයින්ට වෛරස් උණ රෝගයෙන් පෙළෙන්නන් වටා රැඳී සිටීම වැළැක්විය යුතුය. ඒ වගේම සමබර ආහාර වේලක් ලබාදිය යුතුය.

පෞද්ගලික ස්වස්ථතාව ප්‍රමුඛතම අවශ්‍යතාවයක් බැවින් නිසි පිරිසිදුකම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරන්න. පිරිසිදු තුවා හා පිරිසිදු ඇඳුම් භාවිතා කරන්න.

වෛරස් උණ රෝගයෙන් පෙළෙනවා නම්, අනෙක් පුද්ගලයන් නිරෝගීව හා ආරක්ෂිතව සිටින පරිදි ලේන්සුවක් භාවිතා කිරීමට ඔහුට උපදෙස් දෙන්න.

වෛද්‍යවරයෙකුගේ නිශ්චිත බෙහෙත් වට්ටෝරුවක් නියම කර ඇත්නම්, එය නිසි පරිදි අනුගමනය කරන්න.

උණ රෝගීන් සඳහා පෝෂ්‍යදායී එලවලු සුප්, කිරි, මෘදු පලතුරු, බත් කැඳ හා තැම්බූ එළවලු ගුණදායකයි. ආහාර වේලෙහි ප්‍රෝටීන් බහුල ආහාර ඇතුළත් වන බවට වග බලා ගත යුතුය. ජලය, උණුසුම් තේ, නැවුම් පලතුරු යුෂ පානයට ලබා දෙන්න. ඇපල්, දොඩම්, කොමඩු, අන්නාසි වැනි පලතුරු විටමින් සී වලින් පොහොසත් නිසා ප්‍රතිශක්තිය වඩවයි. අධික සීනි සහ සීනි සහිත පලතුරුවලින් වළකින්න.

උණ , සෙම්ප‍‍්‍රතිශ්‍යාව පවතී නම් පුරාණ කාලයේ සිටම සුලභ ඖෂධයක් වන්නේ

කොත්තමල්ලි තැම්බූ වතුර පානයට ලබා දීමයි.

උණ තදින් පවතී නම් දරුවන්ට වලිප්පුවට ඒමට ඉඩ ඇති බැවින් ජ්වරය පහ කර වීම සඳහා පත්පාඩගම් අඩංගු කොත්තමල්ලි වතුර වරින් වර දිය හැකි අතර ෂඩංග පානය, මොනරකුඩුම්බිය වැනි ඖෂධ කැඳ, ප්‍රතිශක්තිය වඩවන කැඳ වර්ග ගුණදායකයි.

මේ ආකාරයට ඖෂධ, ආහාර දී ඇඳ විවේක ගැනීමෙන් හා දිරවීමට පහසු සැහැල්ලූ ආහාර ගැනීමෙන්, අතුරු උපද්‍රව වලින් තොරව විශේෂයෙන් කැස්සෙන් පීඩා ඇති නොවී උණ සුවවේ.

 

එච්. ඒ. මධුශානි ප්‍රසංගිකා

හෙද නිලධාරිනී

ජාතික ආයුර්වේද රෝහල, කොළඹ



subasetha

Comments