සුබසෙතින් සුවය

ජූලි 14, 2023

 

ප්‍රශ්නය

වැටුණට පස්සේ ඇතිවෙන අස්ථී අමාරුවකදී කටයුතු කරන්න ඕනේ කුමන ආකාරයටද?

පරිගණක භාවිතයේදී තවත් වැඩිවෙන අවස්ථාද තිබේ. මේ පිළිබඳ විස්තර කර දෙන්න.

 

වැටීමකදී සිදු වන්නේ ආඝාතය සිදුවන ස්ථානය කුමක් හෝ වේවා ඒ අවට ඇති පටක, මාංශපේශි, ස්නායු, රුධිරනාල ආදිය කැඩී බිදී යාමයි. එවිට එම ස්ථානය තුවාලයක ස්වරූපය ගනී. සම මතු පිට පවතින තුවාලයක් මෙන් එම අභ්‍යන්තර ආඝාත ස්ථානද රුධිරය ගැලීමෙන් තැල්මක් හට ගනී. එම තැල්මද සමඟ වන අස්ථි බිදීමක්ද ඇති වුවහොත් තත්ත්වය බරපතලය. නිසි අයුරින් තැල්මට සහ අස්ථි භග්නයට ඖෂධ පත්තු, මැල්ලුන්, ලේප වර්ග ආදිය යෙදූ විට දින 42දී සුව අතට පත්වේ. එසේ නිසි ඖෂධ ප්‍රතිකාරයක් සිදු නොවුවහොත් එම ස්ථානයේ ඇති තැල්ම සහ අස්ථි භග්නය හේතුවෙන් පටක ඉදිමී වේදනා කැක්කුම් හට ගනී. මේ වේදනාව, කැක්කුම සහ ඉදිමුම දීර්ඝ කාලයක් තිස්සේ වරින්වර පවතින අතර, නිට්ටාවට සුව නොවේ. ඇල්වතුර තෙමීම අගුණ අතර, ආඝාතය සිදුවූ ස්ථානය නිතර චලනය කිරීම අහිතකරය. එයින් එම ස්ථානයේ පවතින හානිය වර්ධනය වී තව තවත් වේදනාව හට ගනී. බර ඉසිලීම සහ වෙර යොදා වැඩ කිරීම ද, නිතර නිතර එකම ඉරියව්වේ සිට ක්‍රියාකිරීම ද අහිතකරය.

එම ස්ථානය නිසි ලෙස නිට්ටාවට සුවවීමට ප්‍රථම කරන ෆිසියොතෙරපි ප්‍රතිකාර ඉතාම අහිතකර වේ.

 

ප්‍රතිකාර

කල්ගිය තැල්මට කරන්නාවූ තෙල්, පත්තු ආදිය එම ස්ථානයේ තබා වරු ගණනකට පසු ඉවත්කර නැවත සුවවීමේ පත්තු යොදා වරු 30ක් පමණ තබා ඉවත්කර කොළ තැම්බුම් ඖෂධ වතුරෙන් තෙමා තෙල් ගා නැවත උණු වතුරෙන් තෙමා පසුව ඇල්වතුර සාමාන්‍ය පරිදි තෙමීම සුදුසුය.

 

 

 

ප්‍රශ්නය

වෛද්‍යතුමියනි මාගේ වයස අවුරුදු 50කි. මාගේ දකුණු අත එම කකුල තදින් කැක්කුම අල්ලනු ලබයි. මෙම වේදනාවට ආයුර්වේද ප්‍රතිකාර මොනවාද? කොලෙස්ට්‍රරෝල් තත්වයක්ද ඇත.

 

ප්‍රතිකාර

ඔබගේ වයස අනුව මෙය ස්නායු රෝගි තත්ත්වයකි. ශරීරයේ වාත කෝප තත්ත්වයක් පවතින බව පෙනේ. මූලිකව වාත කෝප තත්ත්වයට ප්‍රතිකාර කරන අතර, ස්ථානික ප්‍රතිකාර වශයෙන් පිණ්ඩ ශ්වේද සහ තෛල අභ්‍යංග කිරීම කළ යුතුය. බෙලිකොළ, නික කොළ, බේත්එරඬු කොළ එක පමණ ගෙන කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා තවා තෙල් ගාන්න. උදේ සවස ඒ අතරට කෂායක් ලෙස දශමූල ක්වාථය කෑමට පෙර තුන්වේලක් මේස හැඳි දෙකක් බොන්න.

 

ප්‍රශ්නය

වෛද්‍යතුමියනි, මාගේ වයස අවුරුදු 42 කි. කුඩා වැස්සකට තෙමුණත් සෙම්ප්‍රතිශ්‍යාව සෑදී කැස්සත් සමඟ පපුවේ සෙම ගතිය මතුවේ. මෙය කොතරම් ප්‍රතිකාර කළද සුවවීම කල්ගත වේ. මේ සෙම තත්ත්වය දුරු කිරීමට ආයුර්වේදයේ ප්‍රතිකාර මොනවාද?

 

ප්‍රතිකාර

කළු හෙවත් සෙම් ප්‍රකෘතියක් සහිත ශරීරයක් හිමි ඔබගේ ශරීරයේ බලපවත්නා වූ මේ සෙම තත්ත්වය උපතේ සිට පවතින තත්ත්වයක්ද යන්න මත ප්‍රතිකාර තීරණය වේ. එසේ නැතහොත් මෑත කාලයේ ඇතිවූ තත්ත්වයක් නම් සාමාන්‍ය ප්‍රතිකාර මඟින් සුව කළ හැකිය. ඒ සඳහා ඔබ දිනකට දෙවේලක් බැගින් ඉඟුරු, කොත්තමල්ලි දේවදාර ,කටුවැල්බටු ,එළබටුමුල්, ග්රෑම් 100 බැගින් ගෙන වතුර කෝප්ප 4ක් දමා පත 2ට සිදුවා පෙරා සීනි දමා උදේ කෑමට පැය 2කට පසු සහ දවල්කෑමට පැය 2ට පසු බොන්න.

නමුත් ඔබ උපතේ සිටම සෙම සහිත නම් ප්‍රතිකාර මෙයට වඩා වෙනස්වන අතර, පළපුරුදු වෛද්‍යවරයකු මුණ ගැසී ප්‍රතිකාර ලබාගන්න.

 

ප්‍රශ්නය

වෛද්‍යතුමියනි

ඩී.ජී.කරුණාරත්න වන මා හට ඇති ප්‍රශ්නය රත්ත වාතය වේ. මාගෙ වයස අවුරුදු 76 වේ. මට වැළඳී ඇති රෝග ලෙස කකුල් දණහිසින් පහළ පිච්චීමක් සේ දැනීම. කකුල් දෙක පණ නැතිවීම , හිරිවැටීම, කකුල්වල ඇඟිලි පණ නැතිවීම, හිරිවැටීම

පපුවේ සෙම වැඩිවීම, ඔලුවේ කැක්කුම, මූත්‍ර දැවිල්ල, කල්පනාව අඩුවීම, ඇස් පෙනීම දුර්වල වීම, මෙම රෝග සඳහා ඔබගේ උපදෙස් බලාපොරොත්තු වෙමි.

 

ප්‍රතිකාර

රක්තවාතය යනුවෙන් සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින්නේ රත් පිත් රෝගයයි. රත් පිත සමඟ ඇති වන සෙම් රෝග තත්ත්වයකදී එම රෝග තත්ත්ව දෙකටම එකම ප්‍රතිකාර කළ යුතුයි. මෙවැනි තත්ත්වයකදී බෙහෙත් ප්‍රතිකාර නිවසේදී කර ගැනීමට පැවසීම අසීරුය. නිසි වෛද්‍ය උපදෙස් යටතේ පළපුරුදු වෛද්‍යවරයකු විසින් සීරුමාරුවට ප්‍රතිකාර කළ යුතු තත්ත්වයකි. හැකි ඉක්මනට වෛද්‍යවරයකු මුණ ගැසී ප්‍රතිකාර ලබා ගන්න

 

උපදෙස්

ආයුර්වේද වෛද්‍ය

නිරෝෂා ජයසිංහ (ඩොක්ටර් ජයා)



subasetha

Comments