දියවැඩියා රෝගීන්ගේ පාද සාත්තුව

ජූලි 21, 2023

ඇවිද්ද පය දහස් වටී යන්න පැරැණි ප්‍රචලිත කියමනකි. සාමාන්‍ය ජීවිතයට දෙපා කොතරම් වැදගත්ද යන්න අප හොඳීන් දන්නා කරුණක් වන නමුත් දෙපා පිළිබඳ නිසි අවධානයක් නොදක්වන පිරිසක්ද අප අතර බොහෝ ඇත.

දියවැඩියා රෝගීන් හට පාද ආබාධවලට ලක්වීමේ වැඩි අවදානමක් පවතී. ආබාධවලට ලක්වී කකුල් කපා ඉවත් කිරීමට සිදු වන්නන් අතර දියවැඩියා රෝගයෙන් පෙළෙන්නන් බහුතරයක් ඇත. දියවැඩියා රෝගියකුගේ පාද අහිමිවීමේ අවධානම සාමාන්‍ය පුද්ගලයෙකුගේ මෙන් විසිපස් ගුණයකි. එබැවින් දියවැඩියා රෝගියකු තමන්ගේ පාද පිළිබඳව සැලකිලිමත් විය යුතු ආකාරය සොයා බලමු.

පවුලේ දියවැඩියාව ඇති සාමාජිකයකු සිටී නම් මේ කරුණු බොහෝ වැදගත් වේවි.

දියවැඩියා රෝගීන්ගේ දෙපා සාමාන්‍ය පුද්ගලයෙකුගේ දෙපාවලට වඩා තුවාලවීමට වැඩි අවධානමක් ඇත්තේ ඇයි ?

දෙපාවලට රුධිරය සපයන රුධිර නාල තුළ කුහරය කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා නාල සිහින් වීම හේතුවෙන් පාදවලට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුවේ. එම නිසා පාද කෙලවර ඇඟිලි කෙලවර ආශි‍්‍රත පේශි මියගොස් කලු පැහැති වියළි ප්‍රදේශ ලෙස දිස්වේ. එම මියගිය ප්‍රදේශවල බැක්ටීරියා ආසාදනයට ලක්වී කළු පැහැ දියර ගලන තුවාල ඇතිවේ. එම තුවාලවලට අවශ්‍ය තරම් ඔක්සිජන් නොලැබෙන බැවින් හා ශරීරයේ ප්‍රතිශක්තිය අඩුවීම හේතුවෙන් සනීප වීම ප්‍රමාද වීම නිසා ප්‍රතිජීවක ඖෂධ ලබාදුන්නද ආසාදන ස්ථානයට හොඳ රුධිර සැපයුමක් නොමැති බැවින් ඖෂධවලට තුවාලය වෙත ළඟාවීමට හැකියාව අඩු නිසා තුවාලය තුළ බැක්ටීරියා වර්ධනය වීම වැඩිවී තුවාලය ඔඩු දුවා පාදයේ ඉහළ ප්‍රදේශවලටද ආසාධනය පැතිරී පාදය කපා දැමීමට පවා සිදුවේ.

දියවැඩියා රෝගීන්ගේ සංවේදන ස්නායුවලට හානි සිදුවී පාද හිරිවැටීම්, පාදවල දැවිල්ල ඇතිවීම, සීතල, උණුසුම, වේදනාව වැනි සාමාන්‍ය සංවේදන නොදැනීම සහ ඉඳීකටු අනිනවා වැනි සංවේදන ඇතිවීම සිදුවේ.

තවද පාදවල පේශිවලට ඇතිවන පීඩනය නිසි පරිදි බෙදී නොයාම හේතුවෙන් යටිපතුලේ සම ඝනකම් වීම, ගැටිති ඇතිවීම සහ තුවාල ඇතිවේ. ඒ විතරක් නොවේ. සම වියළි සහ තුනී වීම නිසා කැපීම්, සීරීම් තුවාල පහසුවෙන් ඇතිවේ.

ඇඟිලි කරු අතර දිලීර වර්ධනය වීම නිසා එම ප්‍රදේශය සුදුපැහැ වීම, නියපොතුවල පැහැය හා හැඩය වෙනස් වීම සිදුවිය හැකිය.

 

දෙපා රැක ගැනීමට කලහැකි දේ මොනවාද?

දියවැඩියා රෝගීන් රුධිරයේ සීනි මට්ටම නිසිලෙස පවත්වා ගැනීම කළ යුතුය. පාදවල රතුවීම්, ඉදිමීම්, සීරීම්, තුවාල ආදිය තිබේදැයි දිනපතා පරීක්ෂා කිරීම ඉතා වැදගත් ය. එහිදී තමාට පාදයේ යටි පතුල තනිවම බලාගත නොහැකිනම් අත් කණ්නාඩියක් පාවිච්චි කළ හැකිය.

නිදිකුම්බා ශාකය සම්පූර්ණයෙන්ම හෝ මුල් ගෙන තම්බා නිවුණු පසු එම වතුරෙන් පාද සේදීම සමේ ආසාදන හා තුවාලවලට බොහෝ ගුණදායකය.

දිනපතා දෙපා හොඳීන් පිරිසිදු කර තුවායක් මගින් තෙත මාත්තු කර පිණ්ඩ තෙල් ස්වල්පයක් ගා මෘදු ලෙස සම්බාහනය කරන්න.

පාදවලට සුදුසු ව්‍යායාම දිනපතා සිදු කළ යුතු අතර නියපොතු කපන විට දෙකෙලවර රවුම් නොකර කෙලින් කපන්න.

පාවහන් පැලදීමේදී පාදවලට පහසු ඉදිරිපස ආවරණය වූ මෘදු පාවහන් පැලඳීම වඩා සුදුසුය. නින්දට යන වෙලාව හැර අනිත් වෙලාවන්හිදී පාවහන් පැලඳ සිටීම යෝග්‍ය වන අතර පාවහන් පැලඳීමේදී මේස් පැලඳීය යුතුය.

පිළිස්සීමට බොහෝ ඉඩකඩ ඇති හෙයින් උෂ්ණත්වය පරීක්ෂාවකින් තොරව උණු වතුරට පාද දැමීම, සේදීම හෝ තැවීම නොකළ යුතුය.

දෙපාවල යම්කිසි රතුවීමක්, සීරීමක් හෝ වෙනත් විශේෂයක් පවතී නම් නොපමාව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් ය. වසරකට දෙවරක්වත් දෙපා පිළිබඳව වෛද්‍යවරයකුගේ පූර්ණ පරීක්ෂාවක් සිදුකරගත යුතුය.

දියවැඩියා රෝගියකු වශයෙන් දෙපා ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු අතර ඒ වෙනුවෙන් කලයුතු දෑ බොහෝය. එසේ නොකිරීමෙන් දෙපා නොයෙකුත් ආබාධවලට ලක්වීමට ඉඩ ඇති අතර පාද අහිමිවීම්ද සිදුවීමට ඉඩ ඇත.

 

එච්. ඒ. මධුශානි ප්‍රසංගිකා

හෙද නිලධාරිනී

ජාතික ආයුර්වේද රෝහල

කොළඹ



subasetha

Comments