අසාත්මිකතා හඳුනාගනිමු

ජූලි 28, 2023

මේ දිනවල වැඩියෙන් කතාබහට ලක්වෙන මාතෘකාවක් තමයි අසාත්මිකතා එහෙමත් නැත්නම් ඒතතඥපඨර කියන්නෙ. සෞඛ්‍ය කාර්යමණ්ඩල නොවන අයට නිසි අවබෝධයක් නැති මාතෘකාවක් නිසා ඒ පිළිබඳව විවිධාකාර කතා මේ දිනවල පැතිරෙනවා.

මොනවද මේ අසාත්මිකතා කියන්නෙ?

ශරීරයට මොනයම් හෝ බාහිර දෙයක් ඇතුළු වුණාම ශරීරය ඒ සඳහා පෙන්වන අධිසංවේදීතාවය නිසා ප්‍රතිශක්ති පද්ධතිය මඟින් ඒවා හඳුනාගෙන ප්‍රතික්‍රියා කිරීම මේ නමින් හඳුන්වයි.

අසාත්මිකතා වෙන ආගන්තුක දෙයකට පළමුවරට ශරීරය නිරාවරණය වුණාම ප්‍රතිශක්ති පද්ධතිය මඟින් එය හඳුනාගෙන මතක තියාගෙන දෙවැනි වර හිස්ටමින් කියන රසායනිකය ලේවලට මුදා හරී. ඒ හේතුවෙන් කැසීම පලු දැමීම ඇති වේ.

හිස්ටමින්වලින් සිදුකරන්නේ ආගන්තුක දේවල් සඳහා ප්‍රතික්‍රියා කිරීම වුණත් රුධිර නාල විශාල කිරීම සහ පෙනහලුවලින් ආශ්වාස කරන නාල සිහින් කිරීමත් සිදුවේ. මේ මඟින් රුධිර පීඩනය අඩුවීමත් හුස්ම ගැනීම අසීරු වීමත් සිදුවී අවසානයේ ජීවිත හානි පවා සිදුවිය හැකිය.

අසාත්මිකතා වෙන්නේ මොනවාටද?

මුහුදු ආහාර, මස් වර්ග, අන්නාසි තක්කාලි, කිරි ආහාර හා අනෙකුත් ප්‍රෝටීන් බහුල ආහාර වර්ග, බෙහෙත්, සුවඳ විලවුන්, ඩයි වර්ග, ප්ලාස්ටර්, දූවිලි, සතුන්ගේ ලෝම, දළඹුවන් ස්පර්ශය මඟින් අසාත්මිකතා වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ජලය, ඉර එළිය පවා අසාත්මික අය ඉන්නවා.

අසාත්මිකතා සඳහා අවදානම් සාධක මොනවාද?

1. ජානමය සාධක

2. ශරීර ප්‍රතිශක්තිය අඩු වීම

3. ප්‍රතිජීවක භාවිතය

4. ඩයි වර්ග, රසායනික ද්‍රව්‍ය සමඟ සම්බන්ධතා

අසාත්මිකතාවකදී පෙන්වන ලක්ෂණ මොනවාද ?

කැසීම, සම මතුපිට පලු ඇතිවීම, ඇස්වල රතු පැහැය, කඳුළු ගැලීම, නාසයේ තදබදය, ඇදුම, උගුරේ යමක් හිරවූවා සේ දැනීම, කැස්ස, ශරීරයේ දැවිල්ල, පාචනය, හුස්ම ගැනීමේ අපහසුව ඇතිවිය හැකිය.

අසාත්මිකතා ඇතිවීම නවත්තන්න

පුළුවන් ද ?

අසාත්මිකතා නැවත්විය නොහැකි නමුත් ඒ සඳහා සූදානමින් සිටිය හැකියි. උදාහරණයක් ලෙසට සමහර බෙහෙත් වර්ග බොහෝ දෙනකුට අසාත්මිකතා පෙන්වන නමුත් ඒ බෙහෙත් ලබාදෙනවිට ඒ සමගම ප්‍රතිඅසාත්මික ඖෂධ ලබාදෙනු ලබයි.

එසේම එකවරක් අසාත්මිකතා වුණ දෙයකට ඊළඟ වර නිරාවරණය නොවී සිටීම තමාගේ වගකීමක්. ඒ නිසාම තමයි ප්‍රතිකාර ලබා ගැනීමට වෛද්‍යවරයකු හමුවීමට යන ඕනෑම අවස්ථාවක ඒතතඥපඨර මොනවත් තියෙනවද කියලා අහල සටහන් කරන්නෙ.

අසාත්මිකතා ලක්ෂණ පෙන්වන්න කොපමණ වෙලා ගතවනවාද?

අසාත්මිකතාවයේ ප්‍රබලතාවය අනුව ලක්ෂණ මතුවීමට ගතවන කාලය වෙනස් වේ. එය තප්පර ගානක සිට පැය කිහිපයක් දක්වා විය හැකිය.

අසාත්මිකතාවක් ඇතිවු විට කළ යුත්තේ කුමක්ද?

අසාත්මිකතාවක් ඇති වුණොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුය. එසේ නොමැති වුවහොත් දරුණු ප්‍රතිපල ඇතිවිය හැකිය. සුළු අසාත්මිකතා සඳහා, සමේ අසාත්මිකතාවන් ඇතිවී සම රතුවී පලු නැගී ඇත්නම් එම ප්‍රදේශය උණුසුම් ජලයෙන් හොඳීන් සෝදා තෙත මාත්තු කර සර්වවිශාදී තෙල් ආලේප කරන්න.

ශරීරයේ කැසීම පවතීනම් එම ප්‍රදේශයට සිසිල් සම්පීඩනයක් යොදන්න.

කෝමාරිකා මද ආලේප කරන්න.

ප්‍රති-ආසාත්මිකතා ඖෂධයක් ගන්න.

බාර්ලි තැම්බූ වතුර, පොල්පලා තැම්බූ වතුර, තැඹිලි වතුර වැනි මුත්‍රා ශෝධක දියර වර්ග වැඩිපුර බීමට දෙන්න.

රෝගියාගේ තත්ත්වය නරක අතට හැරේ නම් ගිලන් රථයක් අමතන්න හෝ කඩිනමින් රෝහලක් වෙත රෝගියා ගෙන යා යුතුය. මේ අවස්ථාවේ දී, ගිලන් රථය පැමිණීමට පෙර ජීවිතාරක්ෂාව සඳහා පහත සඳහන් පියවර ගැනීම ඉතා වැදගත් වේ.

රෝගියා වැතිරීමට සලස්වා පැත්තට හරවා තබන්න. එමගින් ශ්වසන මාර්ගය අවහිරවීම වළක්වාගත හැකිය. රෝගියාට ඇන්ටිහිස්ටමින් පෙත්තක් ලබා දෙන්න.

හුස්ම ගැනීම හෝ හෘද ස්පන්දනය නතර වුවහොත් කෘතිම ශ්වසනය සහ හෘද සම්බාහනය ක්‍රමවත්ව කළ යුතුය.

අසාත්මිකතාවලින් වළකින්නේ කෙසේද ?

අසාත්මිකතා ඇතිවන ආහාර හඳුනා ගෙන සිටී නම් එම ආහාර පරිභෝජනයෙන් වැළකී සිටිය යුතුය. නිවෙසේ දූවිලි හොඳීන් පිසදමා, අවශ්‍ය වාතාශ්‍රය ලැබීමට සැලැස්වීම, නිදන කාමර සතුන්ගේ ලෝම, පිහාටුවලට අනාවරණය නොවන සේ පිරිසුදුව පවත්වා ගත යුතුය. දුම් පානය, සුවඳ විලවුන් වැනි ඉසින දියර භාවිතයෙන් වැළකීම.

කුඩා දරුවන්ට මුල් මාස හය තුළ මව්කිරි නොකඩවා ලබාදීම. මෙමඟින් දරුවා තුළ හොඳ ප්‍රතිශක්තියක් වර්ධනය වේ.

 

 

එච්. ඒ. මධුශානි ප්‍රසංගිකා

හෙද නිලධාරිනී

ජාතික ආයුර්වේද රෝහල

කොළඹ



subasetha

Comments