දරුඵල අහිමි ඔබට ප්‍රතිකාර

ජූලි 21, 2023

ජීවයේ අඛන්ඩතාවය සඳහා ප්‍රජනනය අත්‍යවශ්‍ය කරුණකි. මනුෂ්‍යයා ඇතුළු සියලු තිරිසන් සතුන්ගේ පවා අඛණ්ඩ පැවැත්මට ප්‍රජනනය අත්‍යවශ්‍ය වන අතර ඒ තුළින් තම ඉදිරි පරම්පරාව බිහිකරලීම ස්වභාව ධර්මානුකූලව ප්‍රධානම කාර්යයකි.

ප්‍රජනනය ගත් විට එය ශාක සහ සත්ත්ව යන කාණ්ඩ දෙකටම පොදුය. සත්ව ලෝකය තුළ මිනිසාට ප්‍රධාන තැනක් හිමි වන අතර, මිනිසාගේ ඉදිරි පැවැත්ම තහවුරු වන්නේ මිනිස් ප්‍රජනන මඟින් බිහිවන දරුවන් මඟිනි. මේ මිනිස් කාර්යය වෙනත් සත්වයින්ගේ ප්‍රජනනය සමඟ වෙනස් වන්නේ එය මිනිසාගේ කායික සහ මානසික සුසංයෝජනයක් තුළින් සිදුවන අති සංකීර්ණ ක්‍රියාදාමයක් නිසාවෙනි. මිනිසාගේ මෙම ප්‍රජනන කාර්යය ආයුර්වේදයේ දැක්වෙන්නේ ශරීරය දරා සිටින ප්‍රධාන ස්ථම්භ තුනෙන් එකක් ලෙසටය. මිනිසාගේ ජීවිතය පවත්වාගෙන යාමට ඉවහල් වන අනෙකුත් ස්ථම්භ වන ආහාර සහ නින්ද වගේම මෛථුන සේවනය ද අත්‍යවශ්‍ය කාරණයක් ලෙසට ආයුර්වේදයේ දැක්වෙන්නේ එය එතරම්ම මිනිසාගේ ජීවිතය පවත්වා ගැනීමට අත්‍යවශ්‍යය බැවිනි.

මෙම සංකීර්ණ ක්‍රියාදාමයේ ප්‍රතිපලයක් ලෙසට කාන්තා ගර්භාෂයේ තැන්පත් වන කළලය තවත් සංකීර්ණ පියවර ගණනාවකට පසු නව ජනිතයකු ලෙස මෙලොවට බිහි වේ.

මේ ආකාරයට මිනිස් ප්‍රජනනයේ සිට නව ජනිතයකු බිහි වීම දක්වා ක්‍රියාකාරී වන මිනිස් ශරීරය තුළ සිදුවන්නා වූ ජෛව විද්‍යාත්මක රසායනික ක්‍රියාවලින් අතුරින් එකක හෝ යම් අඩුපාඩුවක් සිදු වූ විට නව ජීවියකු බිහිවන්නේ නැත.

නව ජීවියකු බිහිවීම සඳහා ප්‍රධාන වශයෙන් කරුණු කීපයක් සම්පූර්ණ විය යුතු ය.

1. ඩිම්බයක (ස්ත්‍රී බීජයක්) පරිණතභාවයට පත්වීම.

2. නීරෝගී පුරුෂ බීජයක් (ශුක්‍රාණුවක්) සමඟ එකතුවීම

3. පැලෝපීය නාලවල අවහිරතා නොමැතිවීම.

4. ස්ත්‍රී පුරුෂ බීජ දෙකේ සුසංයෝගය වූ යුක්තානුව තැන්පත් වීමට සුදුසු ලෙස ගර්භාෂික අභ්‍යන්තරාවරණය ඝනකම් ලෙස සැදී තිබීම.

5. යුක්තානුවේ සෛල බෙදීම නිවැරදිවීම.

මේ කරුණු නව ජන්මියකු බිහිවීම සඳහා වැදගත් වේ. මෙම අවශ්‍යම කාරණා දෝෂ සහගත වූ විට නව ජන්මියකු බිහි නොවීමට හේතුවේ. ඒවා විස්තර ලෙස පහත දැක්වේ.

 

ඩිම්බ පරිණත නොවීම

 

මෑත කාලයේ දරුඵල නොමැති කාන්තාවන්ගේ ප්‍රධානම ගැටලුවක් ලෙස අප හඳුනාගෙන ඇත්තේ මේ ඩිම්බ නිසි කලට මේරීම ප්‍රමාද වීමයි. පෝෂණය නොමැති කල බීජ මේරීම සිදු නොවේ. නිදසුනක් ලෙස නොමේරූ බීජවලින් පැළයක් හට නොගන්නාක් මෙනි. මේ ස්ත්‍රී බීජවලට (ඩිම්බ) පෝෂණය නොමැතිවීමට ප්‍රධාන කරුණු දෙකක් බලපායි.

1. වා, පිත්, සෙම් යන ත්‍රිත්ව ක්‍රියාකාරීත්වයේ විකෘති හැසිරීම නිසා ගන්නා ආහාරය හරිහැටි නොදිරවීම හේතුවෙන් ඩිම්බවලට පෝෂ්‍ය පදාර්ථ නොමැතිවීම (ආයුර්වේද විග්‍රහය - සප්ත ධාත්වාග්නින්ගේ හීන ක්‍රියාකාරීත්වය නිසා ඩිම්බ කරා පෝෂණය ගලා නොයෑම.)

2. රෝගියාගේ වැරැදි ආහාර රටාව හේතුවෙන් ආහාරයේ පවතින මේද කොටස් හරි හැටි නොදිරවා සප්ත ධාතුවලට එකතුවීම නිසා එම ධාතූන්ගේ පෝෂණ මාර්ග අවහිරවීම හේතුවෙන් ඩිම්බවලට අවශ්‍ය පෝෂණය නොලැබීම. මෙහිදී රෝගියා අති ස්ථුලතාවයට පත් වීම ද අනිවාර්යෙන්ම සිදුවේ.

 

පුරුෂ බීජ රෝගී වීම සහ පැලෝපීය නාල අවහිරවීම

 

දරුවකු පිළිසිඳ ගැනීම සඳහා අඹු සැමි සබඳතාවය පමණක් ප්‍රමාණවත් නොවේ. ඉන් අනතුරුව කාන්තා ශරීරය තුළ පිහිටි ප්‍රජනන පද්ධතියේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය භෞතික හා රසායනික වශයෙන් නිවැරැදි විය යුතු ය. ඒ සඳහා පැලෝපීය නාළ අවහිරතාවයක් නොමැතිව පැවැතිය යුතු ය. තවද පුරුෂ බීජයද ඉතාම නීරෝගී විය යුතු වන්නේ එම බීජයට පිහිනා ගොස් ඩිම්බයක් සමඟ එකතුවීමට තරම් ශක්තිමත් භාවයක් තිබිය යුතු බැවිනි. රෝගී ශුක්‍රාණුවකට එම හැකියාව නොමැත. පුරුෂයා දියවැඩියා රෝගී තත්ත්වයකින් පෙළෙයි නම් බොහෝ විට මේරූ ඩිම්බයක් සමඟ ශුක්‍රාණුවට එකතු විය නොහැකි වේ. එවිට මාස් ශුද්ධිය සමඟ ඩිම්භයද රෝගී ශුක්‍රාණව සමඟ ස්ත්‍රී ශරීරයෙන් බැහැර වේ.

 

ගර්භාෂික බිත්තියේ දෝෂ සහගත බව

ඉහත පැලෝපීය නාළ තුළදී එකට එක් වූ ස්ත්‍රී පුරුෂ බීජ (යුක්තානුව) ඉන් අනතුරුව ගර්භාෂය තුළට පැමිණ තැන්පත්වීමට නම් ගර්භාෂික ඇතුළු ආවරණය මනා ලෙස ඝනකම් වී සැදී තිබිය යුතු ය. මෙය හෝමෝන ක්‍රියාකාරීත්වය මඟින් මසකට වතාවක් සිදු වන්නකි. නමුත් නිර්නාළ ග්‍රන්ථීන්ගේ දෝෂ සහගත තත්ත්වයන් නිසා හෝර්මෝන හරිහැටි ශ්‍රාවය නොවීම නිසා මෙම අභ්‍යන්තරාවරණය නිසි ලෙස වර්ධනය නොවේ. එසේත් නැත්නම් ගර්භාෂයෙන් පිට පැත්තේ වර්ධනය වේ. එවිට යුක්තාණුවට වර්ධනය වීමට සුදුසු ස්ථානයක් නොමැතිවීම නිසා මාස් ශුද්ධිය සමඟ එම යුක්තානුව ශරීරයෙන් බැහැර වෙයි.

තවත් කරුණක් නම් මනා පෝෂණයක් නොමැතිවීමයි. ගර්භාෂික ආවරණය අවශ්‍ය ඝනකමින් යුක්තව සෑදීමට අත්‍යවශ්‍ය සාධකයක් වූ මෙම පෝෂණය ඉහත කී පරිදි කිසිදු අවහිරතාවයකින් තොරව ගර්භාෂය වෙතට ගලා ඒම සිදුවිය යුතු ය. එසේ නැතහොත් කෙතරම් අධි පෝෂණය සහිත ආහාර ගත්තද ගර්භාෂ බිත්තිය අවශ්‍ය ඝනකමින් යුක්තව වර්ධනය නොවිය හැකි ය. උදාහරණයක් ලෙස බීජ කෙතරම් සරු වූවද පස නිසරු නම් බීජ පැළ නොවන්නාක් මෙන්ය.

 

යුක්තානුවේ සෛල බෙදීම දෝෂ සහිත වීම

 

මනා ලෙස ගර්භාෂ බිත්තියේ තැන්පත් වූ යුක්තානුව ඉන් අනතුරුව නව ජනිතයකු නිර්මාණය කිරීම සඳහා වන සෛල බෙදීමේ ක්‍රියාවලිය නිවැරැදිව සිදු විය යුතු ය.

ජානමය හේතූන් වන වර්ණ දේහ නොගැළපීම හේතු කොට මෙම ක්‍රියාවලිය ඇතැම් විට සිදු නොවේ. නැතහොත් විකෘති සහගතව සිදුවේ. එවිට නොයෙක් අඩුපාඩුකම් සහිත දරුවන් බිහි වීම හෝ මළ දරු උපත් ඇතිවීම හෝ නව ජනිතයකු නිර්මාණය නොවී ගබ්සා වීම් ආදිය සිදුවේ.

 

ප්‍රතිකාර

 

දරුඵල නොමැති බව සඳහා වන ප්‍රතිකාරය ඉතා පැහැදිලි ලෙසම දෝෂය හඳුනාගෙන ඒ අනුව සකස් විය යුත්තකි. එනම් ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ දෝෂය ඇත්තේ කිනම් ස්ථානයකද යන්න මත ප්‍රතිකාරය තීරණය වෙයි. ඒ අනුව කාන්තාවට සහ පුුරුෂයාට කෙරෙන පෝෂණ ප්‍රතිකාරය, හෝර්මෝන ප්‍රතිකාරය, රසායන සහ වාජීකරණ ප්‍රතිකාරය ලෙස කොටස් තුනකට බෙදා අභ්‍යන්තර ඖෂධ යෙදීම සිදුවේ.

ඒ සඳහා කෂාය වර්ග, ගුලි, කල්ක, චූර්ණ, සෘත, රසායන, මෝදක වර්ග ලෙස නිෂ්පාදිත ඖෂධ වර්ග ගණනාවක් ලබා දෙනු ලබයි. මෙම ප්‍රතිකාරය ලබා ගන්නා මඳ සරු බව සහිත කාන්තාවන් නිවැරැදිව වෛද්‍ය උපදෙස් පිළිපැදීම මඟින් ඉතා කෙටි කලකින් මාතෘ පදවිය ලබන බව ගත වූ වසර විසිහයක වෛද්‍ය වෘත්තිය තුළ අපි අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන සිටිමු.

 



subasetha

Comments