දැවුම් පිලිස්සුම් සඳහා ක්ෂණික ප්‍රතිකාර

ජූලි 14, 2023

“ඕ ලෙවල්” විභාගෙ ඉවර වුණා විතරයි... බලන්න! මේ ළමයාගෙ කකුලෙ තැල්මක් නෙ. නිමාලි එහෙම කියාගෙන ම ගෙට ගොඩ වැදුණේ මිදුලේ වැලේ අව්වට වේළෙන්න දමා තිබූ රෙදි ටිකත් අකුලාගෙනමයි.

ආච්චි අම්මා ඉස්තෝප්පුවේ කෙළවර ඇඳ පුටුවේ ඉඳන් හිනාවෙන ගමන් “මොකද පුතේ......! තවම කකුලත් එක්ක දඟලන්නෙ....රිදෙනවද?” ඇය හඬ අවදි කළේ මුනුබුරාගේ කකුළ දෙස බලාගෙනමය.

මුනුබුරා ටික වෙලාවක සිට වම් කකුලෙ යටි පතුලෙ ගල් තැලුම අල්ලාගෙන රිදෙනවා කියමින් දඟලන විට ආච්චි අම්මා ඊට හොඳ පිළියමක් කීවාය.

“දුවේ ඔන්න ඔය කොළුවට හැඳි මිටක් ගිනියම් කරලා ඔය ගල් තැළුම උඩ තියාපන්. එතකොට හරියයි.” යැයි තම දියණියට කීවේ මුනුබුරාගේ ලෙඩේට හරියන ප්‍රතිකාරය මෙය බව දැනගෙන වුවත් ඔවුන් එය ගණනකටවත් ගත්තේ නැත.

ඕනේ නැහැ අම්මේ අපි හවස් වෙද්දී ඩිස්පෙන්සරියට යනවා කියමින් නිමාලි ගේ ඇතුළට ගියාය.

නිමාලි ගල් තැලුමකට කරන ප්‍රතිකාරය හරිහැටි නොදන්නා නිසා වෛද්‍යවරයකු වෙත යාම මේ වෙලාවේ කළ යුතු නිසාය එවැනි තීරණයකට එළැඹ ඇත්තෙ. නිමාලි නොදන්නවා වුණාට ආච්චි අම්මා එවැනි රෝගාබාධයකට සිදුකරන ප්‍රතිකර්ම අතරින් නිවැරදිම ප්‍රතිකර්මය පිලිස්සුම් ක්‍රමයකින් කළ හැකි බව දැන සිටියාය.

 

දැවුම් පිළිස්සුම් (අග්නි කර්ම)

ආයුර්වේදයට මෙන්ම පාරම්පරික වෛද්‍ය ක්‍රමයේද මේ දැවුම් පිළිස්සුම් හෙවත් අග්නි කර්ම ඉතාම සුවිශේෂ ප්‍රතිකාරයකි. මෙම ක්‍රමය තර්මල් කෝටරයිසේෂන් යනුවෙන් English  බසින් හඳුන්වයි.

ගල්තැලුම්, අර්ශස්, ඉන්නන්, භගන්දර, මස්දලු ආදි කතා බොහෝ රෝගාබාධ සඳහා දැවුම් පිළිස්සුම් ක්‍රම භාවිත කරයි.

චිකිත්සාවේදී ක්ෂාර ප්‍රතිකාරයට වඩා අග්නිය ප්‍රධාන වේ. එයට හේතුව අග්නියෙන් සුව කළ රෝගයක් නැවත ඇති නොවීමයි. එසේම ඖෂධ ශස්ත්‍ර ක්ෂාරවලින් සුව කළ නොහැකි රෝග අග්නි කර්ම (පිලිස්සුම්) වලින් සුව කළ හැකිවීම නිසයි. අග්නියේදී අතුරු ආබාධ පවා ඇති නොවේ. රෝගය නිට්ටාවටම සුව කරගත හැක්කේ අඩු කාල සීමාවකින් වීම තවත් වාසිගත තත්ත්වයකි. එසේම අඩු වියදමක්ද යන ප්‍රතිකාර ක්‍රමයක් වේ.

 

පිලිස්සුම්වලදී භාවිත වන උපකරණ

තිප්පිලි, එළු බෙටි, ගව දත්, ඊතණ, යකඩ ආදිය භාවිත කරනු ලබයි. රෝග සුවකිරීමට පිලිස්සුම් ප්‍රතිකාරය සඳහා මේවා යොදා ගනියි. එසේම මාංශගත රෝගවලට පිලිස්සුම් කරන්නේ තඹ, රිදීවලින් සාදන ලද උපකරණ භාවිත කිරීමෙනි. මේවා ජාම්බෝස්ට සලාකා නමින් හඳුන්වයි. විශේෂයෙන් මාංශපේශි වේදනාව වැනි රෝගාබාධයක දී මේ ජාම්බෝස්ට හෙවත් තඹරිදීවලින් සැදුම්ලත් උපකරණ භාවිතාව සිදුකරයි. සන්ධිගත අස්ථි රෝගවලට – මී පැණි, උක්හකුරු තෙල් භාවිත කෙරේ.

 

සිරුරේ දැවීම්

විවිධ ආකාරවලට සිරුරේ දැවුම් කරයි. එවැනි දහන ආකාර වර්ගීකරණයක් කළ හැකිය. රවුමක් ලෙස දැවීම් කරයි. තිතක් ලෙස ද සිදු කෙරේ. විලේක (ඍජු, වක්‍ර හෝ හරස් ආකාරයට) අෂ්ට පාද යනු කොටස් 8ට බෙදා පිලිස්සුම් කිරීමයි. අර්ධ චන්ද්‍ර යනු චන්ද්‍රයාගේ කොටසක් ලෙසය. සවස්ථික හැඩය ආකාරයට ද පිලිස්සුම් කරනු ලබයි. මෙවැනි පුච්චන ක්‍රම තුළින් බොහෝ රෝගාබාධ සුවවීම දැකිය හැකියි.

අග්නි කර්මවලට පහසුම කාලය

අග්නි කර්මයක් සිදුකළ හැක්කේ සරත් හා ගී‍්‍රස්ම හැර අන් සියලුම කාලවලදීය. මේ බව පුරාණයේ පටන් අපේ මුතුන් මිත්තන් සිදුකර ඇත්තේ අත්දැකීම් වලින් වන අතර ශුස්ශෘත ආචාර්යවරයා සඳහන් කරන ආකාරයට අනුවය.

ඕනෑම කටයුත්තකට අවැසි කාලය නිර්ණය කරනු ලබන්නේ ඒ සඳහා සුදුසුද නැද්ද යන්න විමසා බලමිනි. එසේම මෙවැනි රෝග අවස්ථාවලදී පවා එය එසේම සිදුවේ. විශේෂයෙන්ම අග්නි කර්ම කරන විට සුදුසුම කාලය බැලීමෙන් රෝගියාට අවශ්‍ය පරිසර බලපෑම ද හිතකර තත්ත්වයෙන් පවත්වා ගැනීම සිදුවේ. කෙසේ වෙතත් රෝගියාව එවැනි කාල පරාසයකට හසු කරගෙන සිදුකරන්නේ රෝගයේ දරුණු බව අඩුකර ගෙනය. නැත්නම් අවශ්‍ය කාලය වනතෙක් කියා බලා සිටීමෙන් රෝගය උත්සන්න වී යයි. එම තත්ත්වය ගැන වෛද්‍යවරයා සලකා බලා අවශ්‍ය කාලයට හරියන තෙක් රෝගියාව සුවකිරීමට අවශ්‍ය සියලු දෑ කරනු ලබයි.

ආහාරපාන

සාමාන්‍ය අග්නි කර්මයකදී රෝගියාට දිරවිය හැකි පහසු ආහාර ලබාදීම සිදු කරයි. නමුත් හිස්බඩ සිදුකරන රෝග අවස්ථාද ඇත. මූඩ ගර්භ (ළමයා කුසේ මිය ගිය විට) අෂ්මරි, භගන්දර, උදර හා මුඛ රෝග එසේ හිස්බඩ සිදුකරන රෝග අවස්ථාවන් ය.

අග්නි කර්ම කළ හැකි රෝග

1.මාංශ,අස්ථි, සන්ධි, ස්නායුවල අධික වේදනාව

2.නව වර්ධන

3.ග්‍රන්ථි 4.අර්බුද (පිළිකා) 5.අර්ශස්, 6. භගන්දර 7.ශ්‍රීපද 8 අංශවෘධි 9.රක්තස්‍රාව (ලේ ගැලීම) 10.නාඩි වෘණ (තුවාල) 11.ගල්තැළුම්

 

අග්නි කර්මයක් කළ නොහැකි රෝග

පිත්ත ප්‍රකෘත්තිය, සිරුර අභ්‍යන්තරයේ රැධිරය රැස් වීම, කෝෂ්ඨය බිඳුණූ අය, අයින් කරපු නැති ශල්‍යකර්ම, (උදා:– ඇණ, උල්,කටු)

 

බත්තරමුල්ල

බස්නාහිර පළාත් ආයුර්වේද මධ්‍යස්ථානය ජ්‍යෙෂ්ඨ වෛද්‍ය

අභයතිලක දේවගිරි



subasetha

Comments