කාන්තා පිරිමි භේදයකින් තොරව පැහැපත් වන්න ස්වාභාවික ආලේපන

ජුනි 9, 2023

 

“සුවඳ සඳුන් කොකුමගරා

පැහැද තමන් වෙත තවරා “

 

මේ ගුත්තිල කාව්‍යයේ එන කවියක්. අතීතයේ කාන්තාවන් ලස්සනට ඉන්න, හැඩට ඉන්න සුදු හඳුන්, කොකුම් පොතු ශරීරයේ ආලේප කළාලු.

 

 

 

අතීතයේ කාන්තාවන් පමණක් නොමෙයි වර්තමානයේ ඉන්න කාන්තා හා පිරිමි ඔබත් ලස්සනට ඉන්න හැඩට ඉන්න කැමතියි කියල අපි දන්නවා.

 

ලස්සනට ඉන්න, හැඩට ඉන්න කැමති ඔබට අපි හිය සතියේ පොරොන්දු වුණා සමෙහි පැහැපත් බව වර්ධනය කරන ස්වාභාවික ආලේපන සකස් කර ගන්නා ආකාරය කියල දෙනවා කියලා.

අද අපි ඔබ කවුරුත් දන්න කහවලින් ලස්සන වන හැටි කියල දෙන්න බලාපොරොත්තු වෙනවා.

කහ සහ රූපලාවණ්‍ය අතර ඇත්තේ මනා සබදතාවයකි. විශේෂයෙන් කහවල අඩංගු කර්කියුමින් සමෙහි දීප්තිමත් බව වර්ධනයට දක්වනුයේ නොමඳ දායකත්වයකි. මේ අනගි කහ වලින් සමට ලැබෙන ප්‍රතිලාභ බොහෝය.

දිගු කාලීනව හිරු එළියට භාජනය වීම නිසා සමෙහි රැළි වර්ධනය වේ.

ඇමෙරිකානු චර්ම රෝග විද්‍යා ඇකඩමියේ ( American academy of dermatology ) (AAD) 68  වන වාර්ෂික සමුළුවේදී කරන ලද පර්යේෂණ වාර්තාවකින් හෙළි වී ඇත්තේ කහ තුළ අන්තර් ගත කර්කියුමින් හිරු එළියේ පවතින විෂ සහිත කිරණවලින් සමට වන හානිය වළක්වා මුහුණ මත සිහින් රේඛා ඇති වීම වළක්වන බවය.

 

හයිප පිග්මන්ටේෂන් හා පිග්මන්ටේෂන් සුවය සදහා කර්කියුමින් බලපාන අයුරු

 

මෙලෙනොසයිඩ් සෛල මඟින් නිපදවනු ලබන මෙලනින් සමට වර්ණය ලබා දෙනු ලබයි. නමුදු මෙලනින් පාලනයකින් තොරව නිපදවන්නේ නම් සමෙහි මෙලනින් වර්ණකය අධික වී සමෙහි වර්ණය තද පැහැයට හැරේ. මෙම තත්ත්වය හයිප පිග්මන්ටේෂන් නමින් හදුන්වනු ලබයි .

තවද මෙලනින් වර්ධනයේ සිදු වන වෙනස්වීම් හේතුකොට ගෙන පිග්මන්ටේෂන් හෙවත් සමෙහි දුඹුරු ලප හට ගනී. තවද සමෙහි අව පැහැය වර්ධනය වේ.

කහ තුළ අඩංගු කර්කියුමින් මෙලනින් අතිරික්ත නිෂ්පාදනය අඩු කර මෙලනින් වර්ධනයේ සිදු වන වෙනස්වීම් පාලනය කර හයිප පිග්මන්ටේෂන්, පිග්මන්ටේෂන් හා සමෙහි අවපැහැ වීම පාලනය කර සමෙහි දීප්තිමත් බව හා සුසිනිදු බව වර්ධනය කරයි.

කහ හේම රාගී, කන්චානි, රංජානි, සර්වනා, වර වර්ණනී, සරවන වරා, වර්ණා, ධාත්‍රි යන සංස්කෘත නම් වලින් හදුන්වනු ලබයි.

මෙම නම් සියල්ලෙහි අරුත රන්වන් පැහැය යන්නයි. අතීතයේ සිටි ආයුර්වේද රිසිවරු වසර 5000 කට පෙර සිට කහවල සම පැහැපත් කිරීමේ හැකියාවක් ඇතැයි පැවසීම පුදුම සහගතය.

ඔබට ස්වාභාවික රන්වන් දීප්තිමත් පැහැයක් ලබා ගැනීමට අවශ්‍ය නම් සම සදහා කර්කියුමින් අන්තර්ගත කහ සුදුසුම ඖෂධයකි.

 

ඇස්වටා අඳුරු පැහැය වැළැක්වීමට කර්කියුමින් බලපාන අයුරු

 

ඇස්වල සුදු මැළි ස්වභාවය හා ඇස් වටා කළු පැහැ ගැන්වීම වැළැක්වීමට කර්කියුමින්වලට විශේෂ හැකියාවක් පවතී. කර්කියුමින් රුධිර සංසරණය උත්තේජනය කරනු ලබයි.

දුර්වල රුධිර සංසරණය හේතුවෙන් ඇති වන ඇස්වල සුදු මැළි ස්වභාවය සහ ඇස් වටා කළු පැහැවීම කහ මඟින් ඉවත් වේ.

කර්කියුමින් හා කුරුළෑ

 

කර්කියුමින් ප්‍රබල බැක්ටීරියා නාශකයක් ලෙසටද වෛරස් නාශකයක් ලෙසටද , දිලීර නාශකයක් ලෙසටද ක්‍රියා කරනු ලබයි. එම නිසා කාන්තා පිරිම් භේදයකින් තොරව පිඩා විදින මනසට වද දෙන කුරුළෑ පහසුවෙන් සුව කිරීමට කර්කියුමින් උපකාරී වේ

කර්කියුමින් යනු අණුක මට්ටමින් දැවිල්ලට එරෙහිව සටන් කරන ජෛව ක්‍රියාකාරී සංඝටකයකි. මේ සංඝටකය දැවිල්ලට එරෙහිව සටන් කොට කුරුළෑවල දැවිල්ල රතු පැහැය ඉදිමීම පහසුවෙන් අඩු කරනු ලබයි.

කර්කියුමින් ඔබගේ සෛල න්‍යෂ්ටීන් තුළට ගමන් කොට දැවිල්ල හා සම්බන්ධ ජාන අක්‍රීය කරන අණුවක් වන ව්ජ් - ම්ඕ අවහිර කර සමෙහි දැවිල්ල, රතු පැහැය හා ඉදිමුම අඩු කරනු ලබයි.

කර්කියුමින් හා වියළි සම

කර්කියුමින් සමෙහි තෙතමනය ආරක්ෂා කර සමෙහි වියළි බව දුරු කරයි. කහ තුළ අන්තර්ගත කර්කියුමින් වියළි සම හෙවත් මැරුණු සම ඉවත් කිරීමේ ක්‍රියාවලිය ස්වාභාවිකව වේගවත් කරයි .

සමේ සෛලවලට හානිවීම වළක්වයි.

 

කාන්තිමත් දිදුලන සමකට

කහ කුඩු තේ හැදි 01

කඩල පිටි මේස හැදි 01

යෝගට් හෝ එළකිරි හෝ

ෆ්‍රෙෂ් මිල්ක් මේස හැදි 3

මී පැණි බිංදු 8

සියල්ල මිශ්‍ර කර පිරිසිදු කරන ලද මුහුණේ ආලේප කර විනාඩි 30 පසු සෝදා හරින්න

 

වියළි සමට

 

කහ කුඩු තේ හැදි 01

දොඩම් යුෂ මේස හැදි 01

යෝගට් හෝ එළකිරි හෝ

ෆ්‍රෙෂ් මිල්ක් මේස හැදි 3

මී පැණි බිංදු 8

සියල්ල මිශ්‍ර කර පිරිසිදු කරන ලද මුහුණේ ආලේප කර විනාඩි 30 පසු සෝදා හරින්න

 

මුහුණේ රැළි වැටීම වැලැක්වීමට

කහ කුඩු තේ හැදි 1/2

කඩල පිටි මේස හැදි 01

බිත්තර සුදු මද 1

මී පැණි බිංදු 8

සියල්ල මිශ්‍ර කර පිරිසිදු කරන ලද මුහුණේ ආලේප කර විනාඩි 30 පසු සෝදා හරින්න

 

කුරුළෑ සඳහා

 

කහ කුඩු තේ හැදි 01

ඇපල් සයිඩර් විනාකිරි තේ හැදි 01

මී පැණි බිංදු 8

සියල්ල මිශ්‍ර කර පිරිසිදු කරන ලද මුහුණේ ආලේප කර විනාඩි 30 පසු සෝදා හරින්න.

ඉහත සදහන් කරන ලද සියලුම ආලේපන වර්ග දිනක් හැර දිනක් වුවද ආලේප කළ හැකිය. මෙම ආලේපන වර්ග භාවිතයෙන් ඔබට පවතින රුපලාවණ්‍ය ගැටලුවලට සාර්ථකව විසදුම් ලබා ගත හැකිය.

ලස්සන වෙන්න තවත් බොහෝ දෑ අරගෙන ලබන සතියෙන් ඔබ හමුවෙන්න අපි බලාපොරොත්තු වෙනවා.

 

 

ශ්‍රී ලංකාවේ ප්‍රථම ආයුර්වේද රූපලාවණ්‍ය ග්‍රන්ථ රචක

ආයුර්වේද හා හෝමියෝපති වෛද්‍ය, ආචාර්ය

මහේෂ් අතුරලිය



subasetha

Comments