කරල දරලම

ජුනි 16, 2023

සෙනසුරාදා දින සවස මාගේ සායනයට පැමිණි රෝගීන් පරීක්ෂා කරන අතරතුර තරුණ කාත්තාවක් ප්‍රතිකාර ගැනීම සදහා සායනයට ඇතුළු විය. ඇය ලස්සන කාන්තාවකි. නමුදු ඇයගේ මුහුණ පුරා කුරුළෑ දක්නට ලැබිණි. ඇයගේ මුහුණේ සුන්දරත්වයට කුරුලෑ එක් කර තිබුණේ අව ලස්සනකි.

සායනය තුළට පැමිණි ඇය කුරුලෑ නිසා මානසිකව පවා පීඩා විදින බව පැවසුවාය. කුරුලෑ හට ගන්නේ කුමක් නිසාද ? කුරුලෑ සුව කර ගැනීමට හැකියාව පවතිනවද ? යන ප්‍රශ්න ඇය මාගෙන් විමසා කුරුලෑ සුව කර දෙන මෙන් ඉල්ලා සිටියාය.

කුරුලෑ ඇති වීමට බලපාන හේතු හා කුරුලෑ සදහා නිවසේදි කළ හැකි ප්‍රතිකාර ක්‍රම කිහිපයක් මම ඇයට කියා දී නැවත සති දෙකකට පසු පැමිණෙන ලෙසද දන්වා සිටියෙමි.

සායනයට පැමිණි ඇය පමණක් නොව සුබසෙත කියවන පාඨක ඔබද කුරුලෑ ඇති වීමට බලපාන හේතු සහ ඒ සදහා කළ හැකි ප්‍රතිකාර පිළිබඳව දැන ගැනීමට කැමති බව අපි දනිමු.

හොර්මෝන යනු ග්‍රන්ථි මගින් ශ්‍රාවය කරන රසායනික පණිවිඩකරුවන්ය. ශරීරය හරහා ගමන් කරන හෝර්මෝනවලට නිශ්චිත අනුපාතයක් ඇත. මෙම අනුපාතය වෙනස් වූ විට විවිධ වු රෝගාබාධ හා රූපලාවණ්‍ය ගටලු ද හට ගනී. හෝර්මෝන අධිකව ශ්‍රාවය වීම නිසාද මන්දගාමීව ශ්‍රාවය වීම නිසාද අවශ්‍ය ප්‍රමාණයට ශ්‍රාවය නොවීම නිසාද හෝර්මෝනවල සමබරතාවය ගිලිහී රූපලාවණ්‍ය ගැටලු රාශියක් ඔබගේ සම මත ඇති කරනු ලබයි.

වැඩිවියට පැමිණීම, ඔසප් වීම හා ඔසප් නැවතීම, ගර්භණීභාවය, බහු අවයවික ඩිම්බ කෝෂ සින්ඩ්‍රෝමය ( Pcos) ( Polycystic ovaries syndrome )  වැනි තත්ත්වයක් නිසා කාන්තා සිරුර තුළ හෝර්මෝන උච්චාවචනයක් නිරන්තරයෙන් සිදු වීම නිසා බහුලව කාන්තාවන් තුළ කුරුලෑ හට ගනී. වයස අවුරුදු 20 - 24 අතර වයසේ පසුවන කාන්තාවන්ගෙන් 50% කට පමණ කුරුලෑ හට ගනී. වයස අවුරුදු 40 - 49 අතර වයසේ පසුවන කාන්තාවන්ගෙන් 25% කට පමණ කුරුලෑ හට ගනී

 

වැඩිවියට පැමිණීම

වැඩිවියට පැමිණීමේදී කාන්තාවන්ගේ ඩිම්බ කෝෂ සක්‍රීය වී ඊස්ට්‍රජන් ( Estrogen )  හෝර්මෝනය ශ්‍රාවය වීම ඉහළ යයි. තවද අස්ථි ශක්තිමත් කිරීමට හා මාංශ පේශි ශක්තිමත් කිරීමට කාන්තාවන් තුළ ටෙස්ටොස්ටෙරෝන් (Testosterone)  හෝර්මෝනය ශ්‍රාවය වීම ද ඉහළ යයි.

ටෙස්ටොස්ටෙරෝන් අධිකව ශ්‍රාවය වීම නිසා සමෙහි පිහිටි සෙබාශස් ග්‍රන්ථිය උත්තේජනය වී එමගින් සීබ්ම් නැමැති තෙල් හා ඉටි මිශ්‍රිත ද්‍රව්‍යක් ශ්‍රාවය වේ.

සීබ්ම් සමෙහි තෙතමනය ආරක්ෂා කිරීමට උපකාරී වේ. නමුදු සීබ්ම් අධිකව ශ්‍රාවය වීමෙන් සමෙහි තෙල් ස්වභාවය අධික වී සමෙහි කුරුලෑ ආසාදන බහුලවම ඇති වේ. තරුණ අවදියේදී සිදු වන හෝර්මෝන වෙනස් වීම නිසා බහුලවම ටී කලාපයේ(T - Zone)  හෙවත් නළල, නාසය හා නිකට ප්‍රදේශයේ කුරුලෑ හට ගනී .

 

ඔසප් වීම

මිනිස් ජීවය මිහිතලය මත පවත්වා ගෙන යාමේ උතුම් වගකීම පැවරී තිබෙන්නේ කාන්තාවන්ටය. මිනිස් ජීවිත බිහි කිරීම සඳහා ගැහැනු කමේ උරුමයක් ලෙස සෑම කාන්තාවක්ම දින 28 වරක් ඔසප් වීමකට ලක් වන අතර මෙය ස්වාභාවික සංසිද්ධියකි.

ඔසප් චක්‍රයේ 1 වන දිනයේ සිට 14 වන දිනය දක්වා පිටියුටරි ග්‍රන්ථිය( Pitutary gland ) මගින් හෝර්මෝන වර්ග දෙකක් නිකුත් කරනු ලබයි. එනම්

1 ෆෝලික් උත්තේජක හෝර්මෝනය (FSH) Follicle stimulating hormone

2 ලුටිනයිසින් හෝර්මෝනය (LH) Luteinizing hormone
 

මෙම හෝර්මෝන වර්ග දෙක ඩිම්බ කෝෂවල ක්‍රියාකාරිත්වය සහ ඩිම්බ කෝෂ මගින් නිපදවන ඊස්ට්‍රජන් හෝර්මෝනය (Estrogen)  සහ ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය ( Progesterone ) නිපදවීම පාලනය කරනු ලබයි.

ඊස්ට්‍රජන් හෝර්මෝනය කාන්තා ලක්ෂණ ප්‍රවර්ධනය කරන හෝර්මෝනයකි. ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය ගැබ් ගැනීම සදහා කාන්තා ශරීරය සූදානම් කිරීමට උපකාරී වන හෝර්මෝනයකි. 1 වන දිනයේ සිට 14 වන දිනය දක්වා කාලයේදී ඊස්ට්‍රජන් හෝර්මෝනය ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනයට වඩා අධිකව ශ්‍රාවය වේ. 14 වන දිනයේ සිට 28 වන දිනය දක්වා කාලයේදී ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය ඊස්ට්‍රජන් හෝර්මෝනයට වඩා අධිකව ශ්‍රාවය වේ.

ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය ශ්‍රාවය වීම අධික වීම හේතුවෙන් සමෙහි පිහිටි සෙබාශස් ග්‍රන්ථිය උත්තේජනය වී එමගින් සීබ්ම් අධිකව නිපදවීම නිසා සමෙහි තෙල් ස්වභාවය වැඩි කර සම මත කුරුලෑ ඇති කරනු ලබයි.

පූර්ව ඔසප් සමයේදී හෙවත් ඔසප් වීමට පෙර සිට ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝන දෙකට වඩා ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය අධිකව ශ්‍රාවය වේ.

ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය අධිකව ශ්‍රාවය වීම හේතුවෙන් සමෙහි පිහිටි සෙබාශස් ග්‍රන්ථිය උත්තේජනය වී එමගින් සීබ්ම් නැමැති තෙල් හා ඉටි මිශ්‍රිත ද්‍රව්‍ය අධිකව නිපදවා සමෙහි තෙල් ස්වභාවය වැඩි කර සම මත කුරුලෑ ඇති කරනු ලබයි.

ගර්භණීභාවය

 

ගර්භණී අවදියේදී ගර්භණී කාන්තාවන්ගෙන් 50% කට වඩා කුරුලෑවලින් පීඩා විදිති.

ගර්භණී අවදියේදී හෝර්මෝනවල උච්චාවචනයක් සිදු වන අතර ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය ඉහළ මට්ටමක පැවතීම නිසා සමෙහි සෙබාශස් ග්‍රන්ථිය උත්තේජනය වී සීබ්ම් අධිකව ශ්‍රාවය කර සමෙහි කුරුලෑ ඇති කරනු ලබයි

ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය පිරිම් පුද්ගලයන් තුළ වසර ගණනාවක් ස්ථීරවම පවතී. නමුදු මෙම හෝර්මෝනය වැඩිවියට පැමිණීම, ඔසප් වීම, ඔසප් නැවතීම, ගර්භණීභාවය නිසා කාන්තාවන් තුළ නිරන්තරයෙන් උච්චාවචනය වේ. එම හේතුව නිසා බහුලවම කාන්තාවන් තුළ කුරුලෑ හට ගනී .

 

කුරුලෑ සදහා සත්කාර

 

කොත්තමල්ලි කුඩු මේස හැදි 01 ලොත් සුඹුල් කුඩු මේස හැදි 01 කහ කුඩු තේ හැදි 1/4

සියල්ල ජලය සමග මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 30 පසු පිරිසිදු වතුරෙන් සෝදා හරින්න

කබලේ බැද කුඩු කර ගත් සත්කුප්ප මේස හැදි 01 කලාදුරු අල කුඩු මේස හැදි 01 මී පැණි තේ හැදි 01

සියල්ල ජලය සමග මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 30 පසු පිරිසිදු වතුරෙන් සෝදා හරින්න

 

කොත්තමල්ලි ජලය සමග අඹරා ආලේපය

 

කලාදුරු අල මේස හැදි 02 මී පැණි මේස හැදි 02 සියල්ල ජලය සමග මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 30 පසු පිරිසිදු වතුරෙන් සෝදා හරින්න. දිනක් හැර දිනක් ඉහත ආලේප ඔබට ආලේප කළ හැකිය.

 

කුරුලෑ පැතිර යාම වැළැක්වීම සදහා

 

කුරුලෑ කැඩීමෙන් වැළකිය යුතුය. කුරුලෑ කැඩීමෙන් පසු කුරුලෑ වායුවට නිරාවරණය වේ. වායුව මත ඇති අහිතකර බැක්ටීරියා කුරුලෑ සිදුරු තුළින් සමට ඇතුළු වී කුරුලෑ තව තවත් වර්ධනය කරනු ලබයි.

 

නිතර මුහුණ සේදීමෙන් වළකින්න

 

දිනපතා දෙවරකට වඩා මුහුණ සේදීමෙන් ඔබගේ සම හා කුරුලෑ අනවශ්‍ය ලෙස උත්තේජනය වේ. සම හා කුරුලෑ අනවශ්‍ය ලෙස උත්තේජනය වීමෙන් කුරුලෑ තව තවත් වර්ධනය වේ

 

රූපලාවණ්‍ය නිෂ්පාදන

 

අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු මුහුණ සේදුම් කාරක ( ටචජඥ ඹචඵඩ ) හා වෙනත් වර්ග භාවිතයෙන් වැළකී සිටිය යුතුය. දිනපතා අලුත් එළවලු පලතුරු පලා වර්ග ආහාරයට ගැනීමෙන්ද කුරුලෑ පැතිර යාම වළක්වා ගත හැකිය. දිනකට අවම වශයෙන් වතුර ලීටර් 2 1/2 පානය කල යුතුය. දිනපතා ව්‍යායාම කළ යුතුය. මානසික ආතතියෙන් තොරව ජීවිත් විය යුතුය. හරිත තේ හෙවත් ග්‍රීන් ටී පානය කිරීමද සුබය.

සති දෙකකට පසු ඇය නැවත මාගේ සායනයට පැමිණි අතර ඇයගේ මුහුණ පුරා තිබුණි කුරුලෑ සුව වී ඇති බව මට දක්නට ලැබුණි

 

 

ශ්‍රී ලංකාවේ ප්‍රථම ආයුර්වේද රූපලාවණ්‍ය ග්‍රන්ථ රචක

ආයුර්වේද හා හෝමියෝපති වෛද්‍ය, ආචාර්ය

මහේෂ් අතුරලිය



subasetha

Comments