බාල මහලු සැම පීඩා විඳින මුත්‍රාශි‍්‍රත රෝග

ජුනි 9, 2023

 

මෞත්‍ර ලිංගික රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය

නෙවිල් පෙරේරා

 

බාල මහලු කාහටත් වැලඳීය හැකි රෝග අතර ප්‍රධාන තැනක් ගන්නා රෝගයක් වනුයේ මුත්‍රාශය ආශ්‍රිත රෝගය. මුත්‍රාශය ආශ්‍රිත රෝග ගණනාවක් තිබෙන අතර විවිධ රෝග විවිධ වූ ආකාරයට රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. නීරෝගි පුද්ගලයකුට දිනකට පැය හතර, පහකට වතාවක් මුත්‍රා කිරීමේ අවශ්‍යතාවයක් දැනේ. මුත්‍රා එකදිගට විදීමක් හෝ ගලා යාමක් සිදුවිය යුතුය. එසේ නොවන්නේ නම් එය මුත්‍රාශය ආශ්‍රිත රෝගයක මූලාරම්භයකි.

 

මූලික රෝග ලක්ෂණ

 

මූත්‍රා කිරීමට අපහසු වීම, මුත්‍රා කිරීම තරමක් පමා වීම ඇරැඹෙන අතර ඇතැම් විට තැටමීමෙන් ටික වේලාවකට පසු මුත්‍රා කිරීම ඇරැඹේ. සාමාන්‍යයෙන් අවුරුදු 45 පසු වන විට මෙම රෝග මතුවිය හැකිය. ඇතැමුන් තැකීමක් නොකළ ද පසුකාලීනව තත්ත්වය ව්‍යාකූල විය හැකිය.

 

කඩින් කඩ පිටවීම

 

මුත්‍රාශයෙන් මුත්‍රා ප්‍රවාහය තත්පර තිහේ සිට හතළිහක කාලයක් තුළ දී අවසාන විය යුතුය. ඇතැමුන්ට මුත්‍රා කඩින් කඩ පිටවීම නිසා තත්පර තිහේ සිට හතළිහට වඩා වැඩි කාලයක් උත්සාහයෙන් මුත්‍රා පිට කළ යුතුය.

 

ගිනි වතුර මෙන් දැවිල්ල

 

තවත් රෝග ලක්ෂණයක් වන්නේ ගිනි වතුර මෙන් මුත්‍රා තද රස්නයට පිටවීමයි. මේ අවස්ථාවේ දී මුත්‍රා දැවිල්ලක් ද ඇති වේ. වේදනාවක් සහිතව රතු පාටට මුත්‍රා පිටවන්නේ නම් එය බොහෝදුරට මුත්‍රා ආසාදනයක ලක්ෂණයකි. මුත්‍රා බර දැනුණු විට අවට පරිසරයේ ඒ සඳහා සුදුසු වාතාවරණයක් සකසා ඇත. එසේ නොමැති නම් ස්වභාව ධර්මයා විසින් මුත්‍රාශය තුළ මුත්‍රා රඳවාගෙන සිටිය හැකිය. මුත්‍රාශය තුළ මිලි ලීටර් 150ක් පමණ මූත්‍ර එකතු වන තුරු දරා ගැනීමට හැකියාව පවතී. සාමාන්‍යයෙන් මිලි ලීටර් 400 එකතු විය යුතුය. යම් යම් රෝගවලදී දරා ගැනීමේ ශක්තිය නොමැතිව අතරමැද මුත්‍රා ගලා යාමට පවා ඉඩ ඇත.

මුත්‍රා සමඟ රුධිරය පිටවීම

 

මුත්‍රා සමඟ රුධිරය පිට වීම බොහෝ විට මුත්‍රා පද්ධතියේ පිළිකා රෝග ලක්ෂණයකි. විශේෂයෙන් දැවිල්ලක් නොමැතිව මුත්‍රා සමඟ රුධිරය පිටවීම පිළිකාවකට හොඳම උදාහරණයකි .

 

දරුවන්ට

 

කුඩා පිරිමි දරුවන්ගේ මුත්‍රා පිටවීම වේගවත් විය යුතුය. එසේ නොවන්නේ නම් උත්පත්තියේ සිට ඇතිවන මුත්‍රා මාර්ගයේ සිරවීමක් දක්නට ලැබේ. මෙම දරුවන් තටමමින් මුත්‍රා පිට කිරීම සිදු කරන්නේ නම් ඉක්මන් ප්‍රතිකාර අත්‍යවශ්‍යය. එසේ නොවන්නට අනාගතයේ දී වකුගඩු අකර්මණ්‍ය වීමට ද ඉඩ ඇත.

 

සමාජ රෝග

 

අවුරුදු 20 සිට 25 අතර මුත්‍රා ප්‍රවාහය ඉතා අඩු වශයෙන් සිදු වේ නම් ඇතැම් විට එය ලිංගාශ්‍රිත රෝගයක ලක්ෂණයක් විය හැකිය.

 

බයිසිකල් පැදීම

 

බයිසිකල් පැදීමේදී ඇතැම්විට පිරිමින්ගේ මූත්‍රා මාර්ගය බයිසිකල් බාර් එකට තැළීමට ඉඩ ඇති බැවින් එවැනි අවස්ථාවල මුත්‍රා මාර්ගයේ ගැටලු ඇති විය හැකිය.

 

පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත ගැටලු

 

වයසත් සමඟ පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීම වැනි රෝගාබාධ මතු වන්නේ මුත්‍රා කඩින් කඩ පිටවීම වැනි රෝග ලක්ෂණ මතු කරවමිනි. ඇතැම් විට පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාමය තත්ත්වයක් දක්වා මෙය පැතිර යා හැකිය.

 

කාන්තාවන්ගේ මුත්‍රා රෝග

 

ඔසප් අවසන් වීමෙන් පසු ඇතැම් කාන්තාවන්ට මුත්‍රා කිරීම අපහසු වන්නේ හෝමෝන අඩුවීම නිසා මුත්‍රා මාර්ගය හැකිළීමට ලක් වීම හේතුවෙනි. ඇතැම් විට රුධිරය පවා පිට විය හැකිය. පිළිකාව ලක්ෂණයක්ද විය හැකිය.

 

මූත්‍රා අඩස්සිය

 

මුත්‍රා පහ වීම නැවතීම, කැඩි කැඩී පිටවීම, සෙමෙන් පිට වීම, ආදියට ප්‍රතිකාර නොගැනීමෙන් මුත්‍රා අඩස්සිය ඇතිවීමට ඉඩ ඇත.

 

දියවැඩියාව

 

රාත්‍රියේ නින්දෙන් අවදි වී මුත්‍රා පිටවීම සිදුවන්නේ නම් දියවැඩියා ලක්ෂණකි.මේ ආකාරයට මුත්‍රා ආශ්‍රිත රෝග ගණනාවක් තිබෙන හෙයින් රෝග ලක්ෂණ මතු වූ වහාම හැකි ඉක්මනින් වෛද්‍යවරයකු මුණ ගැසීම අත්‍යවශ්‍යය. එසේ නොවන්නට අනාගතයේ දී මුත්‍රා ආශ්‍රිත ගැටලු සමූහයකට ඔබට මුහුණ දීමට සිදුවනු ඇත. පසුකාලීනව වකුගඩු බද්ධ කිරීමට තරම් රෝගය දරුණු විය හැකිය.

 



subasetha

Comments