බඩ දැවිල්ලද? උගුරට එනවාද? කෝමාරිකා පානය කරන්න

ජුනි 9, 2023

වෙද මහතා උදෑසන නැගිට තේ බීම පිණිස මුළුතැන් ගෙය දෙසට ගියේය. එහෙත් හාමිනේ තවම අවදි වී නොමැති බව දැක “හාමිනේ” “හාමිනේ” යැයි අඬගැසුවේය. “ඇයි මහත්තයා.දැන් දවල් වෙලාද. මට ටිකක් නින්ද ගියා.” “ඔව්. ටිකක් දවල් වෙලා. ඇයි හාමිනේ මොකද අසනීපයක්ද?” යනුවෙන් වෙද මහතා ඇසීය. “මගේ හිසත් ටිකක් කකියනවා. බඩ පුරවල දාල. වමනෙ යන්නත් වගේ” යනුවෙන් හාමිනේ පිළිතුරු දුන්නාය.

එවිට වෙද මහතා හාමිනේගේ නාඩි බලා “හාමිනේට තියෙන්නේ අම්ල පිත්ත රෝගය. ඕකට අපි පොඩි බේතක් කරමු. එතකොට ඉක්මනට සනීප වේවි” යැයි පැවසීය.

“ඔව්. එහෙම හොඳයි. මොනවද මහත්තයෝ බොන්න ඕන.” හාමිනේ විමසුවාය. “හාමිනේ ඕකට කෝමාරිකා යුෂ ටිකක් ලුණු පොඩ්ඩක් දමල උදේ හිස්බඩම බිව්වනං හොඳයි.

කෝමාරිකා කියන්නෙ පුදුම ගුණදායක ඖෂධයක්. ගැස්ට්‍රයිටිස් වලට දිව්‍ය ඖෂධයක්. ඒ වගේම තවත් රෝග රැසකටම ගුණදෙන ඔසුවක්. සිරුර හැඩ කරන අගනා ඖෂධයක්. වෙද මහතා මෙසේ පවසන විට කෝමාරිකාවල ගුණාගුණ ගැන තවත් විස්තර දැන ගැනීමට හාමිනේට කුහුලක් ඇතිවිය.

මහත්තයෝ කෝමාරිකා ගැන මට තොරතුරු ටිකක් කියන්නකෝ දැනගන්න යැයි හාමිනේ ආයාචනාත්මකව වෙද මහතාට කීය. “හාමිනේ. කෝමාරිකා ගැන නම් විස්තර ගොඩක් කියන්න පුළුවන්. ඒ තරමටම කෝමාරිකා ප්‍රයෝජනවත් දෙයක්” යැයි කියමින් වෙද මහතා එය විස්තර කරන්නට විය.

හාමිනේ කෝමාරිකා ඇමරිකාව. අප්‍රිකාව, ඉන්දියාව,පාකිස්තානය වගේ රටවලත් ශ්‍රී ලංකාවෙත් උෂ්ණ කලාපීය ප්‍රදේශවල සරුවට වැවෙන පැලෑටියක්. හාමිනේ කෝමාරිකා දැකල තියෙනවනේ.කටු තියෙන දික් හැඩ තියන කොළ ඇති පැලෑටියක්නේ. මේක කාන්තාවන්ගෙ රෝග වැඩි ප්‍රමාණයකට ඖෂධ පිණිස ගන්න නිසා කුමාරි, කුමාරිකා ගෘහ කන්‍යා, කන්‍යා, සෘතුකුමාරි කියන නම් සංස්කෘත භාෂාවෙන් යෙදෙනවා. කෝමාරිකාවලට හින්දි භාෂාවෙන් කුමාරි කියනවා. දෙමළ භාෂාවෙන් කත්තාලි කියනවා. ඉංග්‍රිසී භාෂාවෙන් කියන්නෙ ධ්දඤඪචද ඒතධඥ කියලයි.

කෝමාරිකාවල උද්භීද විද්‍යාත්මක නාමය ඒතධඥ ඪදඤඪජච ඒවගේම කුලය ඹ්ධ්ඹ්ධ්ඒඛ්ඡ්ඒඡ් යනුවෙන් වෙද මහතා කෝමාරිකා ගැන හැඳීන්වීමක් කළේය.

හාමිනේට කෝමාරිකා ගැන තවත් තොරතුරු දැන ගැනීමට අවශ්‍ය විය. “එතකොට මහත්තයෝ කෝමාරිකා මොන මොන ලෙඩ වලටද හොඳ”. “හාමිනේ කෝමාරිකා ලෙඩ රෝග රාශියකට ගුණයි.”

කෝමාරිකා ආහාර දිරවීමේ ක්‍රියාවලිය හොඳින් සිදු කරනවා. ඒ වගේම ඇස් දැවිල්ල. කබ ගැලීම වගේ ඇස් රෝගවලට ගුණයි.

අක්මාවේ ක්‍රියාවන් හොඳින් සිදු කරනවා. වා, පිත්, සෙම් රෝග වලට ගුණයි. මුත්‍රා දැවිලි පාලනය කරන ගුණ සහිතයි. මළබද්ධය නැති කරනවා. පෙණහලු ආශ්‍රිත රෝගවලට ගුණයි. කාන්තා රෝගවලට ගුණයි. හිසකෙස් පෝෂණයට උදව් දෙනවා. ශරීරය කෙට්ටු වීම වලක්වලා පෘෂ්ටිමත් කරනවා. මේ වගේ ක්‍රියා රාශියක් කෝමාරිකා වලින් ලැබෙනවා. ඒ වගේම නිර්මාංශ අයට ගුණදායක ආහාරයක්. ඒ වගේම සිරෝසිස්, සෙංගමාලය, අම්ල පිත්ත හෙවත් ගැස්ට්‍රයිසිස්. අර්ශස්, මුත්‍රා අඩස්සිය, අපස්මාරය, පාණ්ඩුව, දණහිස් වළලුකර ඉදිමුම වගේ රෝගවලට ආහාරයක් විදියට හොඳයි යනුවෙන් ලොකු විස්තරයක් කෝමාරිකා ගැන වෙද මහතා විසින් පැවසීය.

“එතකොට මහත්තයෝ කෝමාරිකා මොන විදියටද මේ ලෙඩවලදි යොදන්නෙ” යනුවෙන් හාමිනේ කෝමාරිකා ගැන තව විස්තර ඇසීය. “හාමිනේ බේත් නං ගොඩක්ම තියෙනවා. අම්ල පිත්ත රෝගයට මද රස්නෙ වතුර වීදුරුවකට කෝමාරිකා යුෂ හැදි 2යි මී පැණි හැදි 2යි කලවම් කර බීම හොඳයි. ඒ වගේම කෝමාරිකා යුෂ පුහුල් මද යුෂ මී පැණි සමඟ එකතු කර දිනපතා උදේට බීමත් හොඳයි. ආතරයිටිස් රෝගින්ට කෝමාරිකා මද ගිතෙල් මිශ්‍ර කරල කෑම හොඳයි. සිරෝසිස් රෝගීන්ට මුංඇට තම්බපු වතුරට කෝමාරිකා මද මිශ්‍ර කර පානයත් හොඳයි.

කල් පවතින කැස්සට කෝමාරිකා මද තේ හැදි 1යි. මී පැණි තේ හැදි 1යි. වියළි ඉඟුරු තේ හැදි 1/4යි. ගම්මිරිස් කුඩු තේ හැදි 1 යි හොඳින් අඹරල ටික ටික කෑම හොඳයි. ඇස් දැවිල්ලට අරලු කුඩු, සූකිරි, මී පැණි, කෝමාරිකා මද සමව අරගෙන හොඳින් මිශ්‍ර කරල ඇස උඩ ටික වෙලාවක් තියන එක හොඳයි.

ඒ වගේම ඉතින් හාමිනේට තව ටිකක් පැහැපත් වෙන්න ඕනෙ නම් කෝමාරිකා යුෂ මුහුණේ ආලේප කරල ටික වෙලාවක් තියල මද උණුසුම් ජලයෙන් සේදීමත් හොඳයි. ඒ වගේම පෙණහලුගත රෝගවලදී කෝමාරිකා මද අමුකහ සමඟ අඹරලා බෙල්ලේ සහ පිටේ ආලේප කිරීමත් හොඳයි.

“හිසකෙස් වැඩීමට ගොඩපර තම්බපු වතුරට කෝමාරිකා මද දියකර හිසේ ගා ටික වෙලාවකින් සෝදා හැරීමත් හොඳයි. ඒ වාගේම සමේ තියෙන ලප කැලැල් මැකීමට. කෝමාරිකා මද එළඟිතෙල් සමග අඹරලා ගෑමෙන් ලප කැලැල් මැකී යනවා” යනුවෙන් කෝමාරිකා ගැන හොඳ විස්තරයක් වෙද මහතා විසින් හාමිනේට පවසන ලදී.

“ඇත්තටම මහත්තයෝ කෝමරිකා කියන්නෙ හොද ඖෂධයක් නේ. කෝමාරිකාවල ගුණ දවසෙම උනත් කියන්න පුළුවන්.ඒ තරම් ගුණ තියෙන ඖෂධයක්. බලන්න හාමිනේ මගේ මේ බේත් සාප්පුවෙ තියෙන බේත් අතරෙත් කෝමාරිකාවලින් හදපු බේත් කිහිපයක්ම තියෙනවා.

කුමර්‍යාසවය, කුමාරිකා වටිය, රජ:ප්‍රවර්තන වටී, කුමාරිකා තෛලය, කුමරි තෛලය, කුමරි පද්ම තෛලය වගේ බේත් රාශියකම කෝමාරිකාවලින් හදල තියෙන්නෙ. ඒ වගේම එයින් වැඩි හරියක් කාන්තා රෝගවලට යොදන්නෙ. ඒ වගේම හම පැහැපත් කරන්න ගන්න හොඳම ආලේපනත් කෝමාරිකා වලින් හදලා තිබෙනවා. මේක ඉස් හොරි වලටත් හොඳ බේතක් ඉතිං හාමිනේ දැන් තේරෙනවනේ කෝමාරිකා කියන්නෙ අගනා වටිනා ඖෂධාහාරයක් කියල. ඒ නිසා හාමිනෙත් මේ බේත බොන්න. එතකොට ඔය ඈලි මෑලි දුබල ගති නැතිවෙලා යාවි යයි කියමින් බිඳක් ලුණු දමා කෝමාරිකා යුෂ කෝප්පයක් හාමිනේ අත තැබුවේය.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන



subasetha

Comments