දතල කළ වලද?

ජුනි 23, 2023

දෑසින් මෙන්ම දෙතොලින් ද අදහස් ප්‍රකාශ කිරීමට හැකිය. නා දලු පැහැ දෙතොල් නිතැතින්ම යුවතියන්ගේ සුන්දරත්වය, අලංකාරය තීව්‍ර කරන ආභරණයක් යැයි කීම වරදක් නොවේ.

නා දලු පැහැ දෙතොල ආකර්ෂණීය බවකින් ද යුක්තය. නමුත් අවාසනාවකට මෙන් බොහොමයක් කාන්තාවන්ගේ දෙතොල් අවපැහැයෙන් යුක්තය.

 

තොල් අවපැහැ වීමට බලපාන කරුණු

 

මෙලනින් අධිකව නිපදවීම

සමෙහි පිහිටි මෙලෙනොසයිඩ් සෛල තුළින් මෙලනින් නම් වර්ණකය නිපදවනු ලබයි. මෙලනින් සමට වර්ණය ලබා දෙනු ලබයි. නමුදු මෙලනින් පාලනයකින් තොරව අධිකව නිපදවීම නිසා සමෙහි මෙන්ම දෙතොල්වලද අඳුරු පැහැය වර්ධනය වේ.

 

හිරු එළියට නිරාවරණය වීම

හිරු එළියේ අහිතකර විෂ සහිත පාර ජම්බුල කිරණ අන්තර්ගත වේ. නිතර නිතර පාරජම්බුල කිරණවලට නිරාවරණය වීම නිසා තොල්වල අවපැහැය වර්ධනය වේ .

 

දුම් පානය

දුම්වැටි තුළ නිකොටින් සහ බෙන්ස්පයිරීන් නැමැති විෂ සංයෝග අන්තර්ගත වේ. නිකොටින් සහ බෙන්ස්පයිරීන් සමෙහි මෙලෙනොසයිඩ් සෛල උත්තේජනය කොට මෙලනින් අධිකව නිපදවනු ලබයි. අධිකව මෙලනින් නිපදවීම නිසා තොල්වල අවපැහැය වර්ධනය වේ.

 

ගැබ් ගැනීම

ගර්භණී සමයේදී ශරීර අභ්‍යන්තරය තුළ සිදුවන හෝමෝන වෙනස් වීම නිසා තොල්, තන පුඩු, නළල, කම්මුල් සහ නාසය ඇතුළු ප්‍රදේශවල අඳුරු පැහැය වර්ධනය වේ.

 

බටහිර ඖෂධ භාවිතය

දීර්ඝ කාලීනව මැලේරියා නාශක සහ මුඛ ප්‍රතිජීවක ඖෂධ භාවිතය නිසා සමෙහි පිහිටි මෙලෙනොසයිඩ් සෛල උත්තේජනය වේ. මෙලෙනොසයිඩ් සෛල උත්තේජනය වූ විට ඒ තුළින් පාලනයකින් තොරව මෙලනින් නිපදවීම නිසා තොල් ඇතුළු සම අඳුරු පැහැ වේ.

 

ඇඩිසන්ගේ රෝගය (Addison’s diseases)

ඇඩිසන්ගේ රෝගය අධිවෘක්ක ඌණතාවය ලෙස ද හැඳීන්වේ. අධිවෘක්ක ග්‍රන්ථි තුළින් ප්‍රමාණවත් පරිදි අත්‍යවශ්‍ය හෝමෝන නිපදවීමට නොහැකිවීම ඇඩිසන්ගේ රෝගය යනුවෙන් හඳුන්වනු ලබයි. මෙම රෝගී තත්ත්වය නිසාද තොල්වල අඳුරු පැහැය වර්ධනය වේ.

 

සත්කාර

 

මීපැණි - සීනි ස්ක්‍රබ්

මී පැණි තේ හැඳී 01

සීනි තේ හැඳී 01

මිශ්‍රකර තොල්වල ආලේප කොට විනාඩි 5කට පසු මෘදු ලෙස ඇගිලි තුඩුවලින් රවුමට කරකවමින් ස්ක්‍රබ් කළ යුතුය. පසුව උණුසුම් ජලයෙන් සෝදා ඉවත් කළ යුතුය.

 

තොල් සම්බාහනය

වර්ජින් කොකනට් ඔයිල්, ආමන්ඩ් ඔයිල්, එඩරු තෙල්, තල තෙල් භාවිත කොට දිනපතා රාත්‍රී නින්දට පෙර තොල් මෘදු ලෙස සම්බාහනය කළ යුතුය.

 

කහ කුඩු ආලේපනය

කහ කුඩු තේ හැඳී 01

රෝස වතුර තේ හැඳී 01

මිශ්‍රකර තොල්වල ආලේපකර විනාඩි 20ට පසු පිරිසිදු වතුරෙන් සෝදා ඉවත් කළ යුතුය. කහ තුළ කර්කියුමින් අන්තර්ගතය. කර්කියුමින් සමෙහි පැහැය වර්ධනයට මෙන්ම තොල්වල පැහැය වර්ධනයට ද උපකාරී වේ. curcumin තුළ ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණය අන්තර්ගතය. ප්‍රති ඔක්සිකාරක ගුණය තොල්වල සෛල අලුත්වැඩියා කර තොල්වල අඳුරු පැහැය දුරු කරනු ලබයි.

 

දෙහි යුෂ

තොල්වල දිනපතා දෙහි යුෂ රාත්‍රි නින්දට පෙර ආලේපය. දෙහි තුළ ද ප්‍රතිඔක්සිකාරක ගුණය පවතී. ප්‍රතිඔක්සිකාරක ගුණය හානි වූ තොල්වල සෛල පිළිසකර කිරීමට උපකාරී වේ. තවද දෙහි තුළ අන්තර්ගත සිට්‍රික් අම්ලය සමෙහි හා තොල්වල අඳුරු පැහැය දුරු කරනු ලබයි.

 

ස්ට්‍රෝබෙරි ආලේපය

ස්ට්‍රෝබෙරි ගෙඩි බාගයයි

මී පැණි බිංදු 8

බ්ලෙන්ඩ් කර තොල්වල ආලේප කර විනාඩි 30ට පසු සිසිල් ජලයෙන් සෝදා ඉවත් කිරීම.

ස්ට්‍රොබෙරි තුළ විටමින් සී හා සැලිසිලික් අම්ලය අන්තර්ගත වේ. විටමින් සී හා සැලිසිලික් අම්ලය තොල් වන අඳුරු පැහැය දුරු කිරීමට උපකාරී වේ.

 

ග්ලසරීන් ආලේපය

ග්ලසරීන් සමෙහි සෛල පරිණත වීමට උපකාරී වේ. ග්ලසරීන් සමෙහි සෞඛ්‍යය ඉහළ නංවන අතර සමෙහි තෙතමනය ආරක්ෂා කරනු ලබයි.

ග්ලසරීන් තොල්වල අවපැහැය දුරු කිරීමට උපකාරී වේ.

ග්ලසරීන් තේ හැදි 01

රෝස වතුර බිංදු 8

මිශ්‍රකර තොල් ආලේප කර විනාඩි 30ට පසු පිරිසිදු වතුරෙන් සෝදා ඉවත් කරන්න. මිශ්‍ර කර අත් හෝ පාදවල ආලේප කර විනාඩි 30ට පසු පිරිසුදු වතුරෙන් සෝදා හරින්න.

 

ශ්‍රී ලංකාවේ ප්‍රථම ආයුර්වේද රූපලාවණ්‍ය ග්‍රන්ථ රචක

ආයුර්වේද හා හෝමියෝපති වෛද්‍ය, ආචාර්ය

මහේෂ් අතුරලිය



subasetha

Comments