දියවැඩියාව නසන ගම්මාලු

ජුනි 2, 2023

 

සුසුබසෙත ඔසු උයනේ ඔසු පැළවලට සාත්තු කරමින් සිටි වෙද මහතා හමුවීමට හන්දියේ කඩේ මුදලිලා පැමිණ ඇති බව සිසුවෙකු පැමිණ දැනුම් දුන්නේය. හනික සායනය වෙත පැමිණි වෙද මහතා මුදලාලිගෙන් සුපුරුදු පැනය විමසුවේය.

“මොකද මුදලාලි මහත්තයා මේ පැත්තේ. අසනීපයක්වත්ද”

 

එයට පිළිතුරු දෙන මුදලාලි හිඳගෙන සිටි අසුනින් මඳක් එසවී ගරුසරු කරන ලීලාවෙන් මෙසේ පැවසීය.

“ඔව්.වෙද මහත්තයෝ.අපි ඉතිං ඔබතුමා බලන්න එන්නෙ අසනීපයක් හැදුණාමනේ.”

එවර වෙද මහතා මුදලාලි දෙස පිරික්සුම් ඇසක් හෙළමින් විමසුවේ

“ඇයි මොකක්ද අසනීපය.ඇඟත් හොඳටම කෙට්ටුවෙලා වගේ.”

මුදලාලි තම අසනීප තත්ත්වය පිළිබඳ කියන්නට විය.

“ඔව් ඇඟත් කෙට්ටු වුණා. බරත් අඩු වුණා. ඒ නිසා දොස්තර මහත්තයෙකුට පෙන්නුවාම දියවැඩියාව වෙන්න ඇති කියලා ලේ බලන්න කිව්වා. ඒ ගමන ඊට පහුවෙනිදා උදේ නොකා ගිහින් ලේ බැලුවම ලේවල සීනි වැඩියි කියල දැන ගත්තා. ඒ ගමන ඒකට බේත් දුන්නා. දැන් ඒ බේත් බොන ගමන්. ඒ වුණාට මට සිංහල බේත් ටිකක් බොන්න හිතුණා.”

 

ඒක හොඳයි කියමින් කල්පනාබර වූ වෙද මහතා

“අපේ බෙහෙත් බොන්න පුළුවන්.ඒත් ටිකක් කල්පනාවෙන් බොන්න ඕන. මොකද ඉංග්‍රීසි බෙහෙත් බොන ගමන් අපේ බෙහෙත් බොන කොට සීනි ගොඩක් අඩු වෙලා “කෝමා”එකට එන්න පුළුවනනේ.”

මුදලාලි සිය අවශ්‍යතාව වෙද මහතාට පවසන්නට විය.

“නැහැ මම හිතුවෙ ඉංග්‍රිසි බේත් බොන ගමන් ගම්මාලු වගෙ බේතක් අමතරව බොන්න.”

 

මුදලාලිගේ අවශ්‍යතාව අවබෝධ කරගත් වෙද මහතා

“ගම්මාලු දියවැඩියාවට හොඳම බේතක් තමයි. ඒකෙන් අග්න්‍යාසයෙ ක්‍රියාවන් හොඳින් සිදු කරනවා.

එතකොට ඉන්සියුලින් නිෂ්පාදනයත් නියම විදියට සිදු වෙනවා. එතකොට ලේවල සීනි අවශ්‍ය විදියට පාලනය වෙනවා.”

හිස වනමින් එකඟතාව පළ කළ මුදලාලි

“මමත් ගම්මාලු හොඳයි කියල අහල තිබුණා. ඒ ගැන අහගන්න තමයි, මම වෙද මහත්තයා හම්බවෙන්න ආවෙ.”

වෙද මහතා ගම්මාලු පිළිබඳ දිගු විස්තරයක් කියන්නට විය.

“ඔව්. ගම්මාලු කියන්නේ ඉතා වටිනා ඖෂධීය ශාකයක්.මේකට ගස්වැඩුම්, සහ ගම්වැඩුම් කියන නම් ද යෙදෙනවා ඒවගේම සංස්කෘත භාෂාවෙන් බීජක...පීතසාර. විජය. සාරා. බන්දුක පුෂ්ප. පියාසලක ආදී නම් යෙදෙනවා.

දෙමළෙන් වෙන්කායි, වීරසරම් නම් යෙදෙනවා. හින්දි භාෂාවෙන් බීජසාර. විජයසාර කියන නම් යෙදෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් ධ්දඤඪචද ඬඪදධ බපඥඥ. ර්චතචඡචප ඬඪදධ බපඥඥ ...ඕචඵබචපඤ බපඥඥ ආදී නම් යෙදෙනවා.

ඒ වගේම ගම්මාලුවල උද්භිද විද්‍යාත්මක නාමය:- ර්‍ථබඥපධජචපනභඵ ථචපඵභනඪභථ වෙනවා. ඒවගේම ජ්ඒඕඒඛ්ඡ්ඒඡ් කුලයට අයිති වෙනවා.

ගම්මාලු ගහ මීටර් 30 ක් විතර උසට හැදෙන තරමක් විශාල ගහක්.මේ ගහේ කදේ පොත්ත කහ අලුවන් පාට තද ගතියෙන් යුක්තයි. මේ ගහේ පොත්ත තුවාල වුණ තැන්වලින් ගලන කිරි සුළු වෙලාවකින් රතු පාටට හැරෙනවා.

ඒ වගේම ගම්මාලු ගහේ ඉතිවල පත්‍රිකා 5, 7 ආකාරයට දකින්න පුළුවන්. මේ ගසේ හටගන්න මල් පෙති 5කින් යුක්තයි. කහ පාටයි. ඒ වගේම මේ මල් පිපෙන්නෙ ජූලි සිට සැප්තැම්බර් දක්වා කාලයේදි. මේ ගස්වල හට ගන්න ගෙඩි කුඩා හොටක් වගේ හැඩයක් සහිතයි. නොපැළෙන ස්වරූපයකින් යුක්තයි. එක ගෙඩියක බීජ එකක් පමණයි තියෙන්නෙ. ගම්මාලු ගෙඩිය වටේට පියාපතක් වගේ තියෙන නිසා සුළඟට බොහෝ දුර පාවෙලා ගිහින් පැළ වෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ දකින්න පුළුවන්. ඒ වගේම පහතරට ප්‍රදේශවලත් දකින්න තියෙනවා. විදේශ රටවල් ගත්තොත් මලයාව සහ අන්දමන් දූපත් ගම්මාලුවල නිජ භූමි. වර්තමානයේ මියෙන්මාරය, මධ්‍යම සහ දක්ෂිණ භාරතය තුළ බහුලව දකින්න පුළුවන්.”

ඒ කතාව සාවධානව අසා සිටි මුදලාලි

“ගම්මාලුවල මොනවද බේත් වලට ගන්නෙ.”

පොත් රාක්කයෙන් ගම්මාලු පිළිබඳ ලියැවුණු පොතක් ගෙන මුදලාලි වෙත දිගු කළ වෙද මහතා

“ගම්මාලු කොළ, සුඹුලු, කිරි, පොතු, අරටුව සහ මැලියම් බේත් වලට ගන්නවා.

දියවැඩියාවට ගම්මාලු කිරි ඉතා ගුණයි. ගම්මාලු ගස සිදුරු කළාම රතු පාට කිරි වෑස්සෙනවා. ඒවා එකතු කරල බොතල් වල තබාගන්නවා. ඒවායින් බිංදු දෙක තුනක් ජලය මිශ්‍රකරල බීම දියවැඩියාවට ඉතා ගුණයි

ඊට අමතරව ගම්මාලු අරටුවෙන් කැබලි කීපයක් කෝප්පයකට රෑ සිසිල් වතුර දමා තියලා ඊට පසුවදා උදේ බීම ගුණයි.ඒ වගේම ගම්මාලු අරටුව කැබැල්ලක් සීතල වතුර භාජනයක තබා පහුවදා උදේට බීමත් හොදයි.

තවත් රෝග රාශියකට ගම්මාලු ගුණයි. රත් පිත, අජීර්ණ, අතීසාර, කුෂ්ඨරෝග, දන්ත රෝග, අක්ෂි රෝග, ප්‍රමේහ රෝග, සෝම රෝග ආදී රෝග රාශියකට ගුණදායකයි.”

පොතේ විශේෂ පිටුවක් වෙත මුදලාලිගේ අවධානය යොමු කළ වෙද මහතා

“මේ බලන්න මුදලාලි රත් කිහිරිය සහ ගම්මාලු දෙවගයේ කෂාය කුෂ්ඨ රෝගවලට හොඳයි. ගම්මාලු අරටුවේ චූර්ණය දියකර කට සේදීම දත් රෝගවලට ගුණ.

ගම්මාලු කොළ අඹරා ආලේප කිරීම තැළීම් සඳහා හොඳයි. දරු සම්පත් නොමැති කමට ගම්මාලු කිරි බිංදු කිහිපයක් එළකිරි වීදුරුවකට දමා බීම ගුණයි.

කැස්සට සහ හතියට ගම්මාලු මුල් කිරි කෂාය ඉතා ගුණයි. ප්‍රමේහ රෝගයට ගම්මාලු අරටු කෂාය හොඳයි.

මේ වාගේ ප්‍රතිකාර රාශියකට ගම්මාලු අඩංගුව තිබෙනවා. ඒ වගේම ගම්මාලු තෛලය.සහ අසන බිල්වාදි තෛලය සකස් කර තිබෙනවා.”

විස්මයෙන් මෙන් වෙද මහතා දෙස බැලූ මුදලාලි

“බලාගෙන ගියාම ගම්මාලු කියන්නේ වටිනා ඖෂධයක් නොවැ.”

සිනාවකින් මුව සරසාගත් වෙද මහතා

“ඔව්. ඖෂධයක් විදියට ගම්මාලු ඉතා වටිනවා.ඒ වගේම ලී බඩු සකස් කිරීමට, කැටයම් කැපීමට, බෙර සෑදීමට, කෘෂි උපකරණ් සෑදිමටත් ගම්මාලු අරටුව උපයෝගී කර ගන්නවා.

ගම්මාලු කියන්නෙ කප් රුකක් වගේ ශාකයක් දියවැඩියාව පාලනය කරනව වගේම තවත් රෝග රැසක් පාලනය කරනවා.ඒ වගේම තවත් ප්‍රයෝජන රාශියක් ලැබෙනවා.”

කියමින් ඖෂධ රාක්කය වෙත ගිය වෙදමහතා

“හොඳයි එහෙනම් මුදලාලි මහත්තයා මම කිව්ව දේවල් හිතට අරගෙන ගම්මාලු මිශ්‍ර මේ බෙහෙත් ටිකත් ගන්නකෝ. “

කියමින් දියවැඩියාවට ගුණ ඔසුවක් මුදලාලිට දුන්නේය. බොහෝ ගරුසරුව එය දෝතට ගත් මුදලාලි වෙදමහතාට සමු දුන්නේ මෙසේ කියමිනි.

“වෙද මහත්තයට ගොඩක් ස්තූතියි. මම ගම්මාලු ගැනත් ගොඩක් දේ දැන ගත්තා.”

 

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන



subasetha

Comments