බොහෝ පිරිසක් ගොදුරු වන ඔස්ටියෝපොරෝසීස්

දෙසැම්බර් 3, 2021

සිරුරේ පැවැති කැල්සියම් ප්‍රමාණය නොලැබෙන විට හෝ කැල්සියම් ප්‍රමාණය අඩුවූ විට හෝ අස්ථිවල කැල්සියම් ඛනිජය ක්ෂයවීමක් හෝ ඇති වූ විට ඔස්ටියෝපොරෝසීස් රෝගය ඇතිවේ. තවද විශේෂයෙන් ශරීරයේ අස්ථීන් නිර්මාණය වී තිබෙන අස්ථි බදාමය දුර්වල වී අස්ති ව්‍යුහය වෙනස්වීම්වලට ලක්වීමෙන්ද ඔස්ටියෝපොරෝසීස් හටගනී. එමෙන්ම අස්ථි පටක තුනීවීම සහ අස්ථිවල ඝනත්වය අඩුවීමෙන්ද මෙම රෝගී තත්ත්වයට පත්වේ.

ඔස්ටියෝපොරෝසීස් රෝගයේදී අස්ථි හීනවීම සහ අස්ථිවල සිදුරුවීමක් ද වේ. අස්ථි බිඳීයාම අස්ථි භග්නවීම මෙම රෝගයේ පීඩාකාරී මෙන්ම මහත් වේදනාකාරී තත්ත්වයක් ගෙන දෙන්නකි. ශරීරයේ ඕනෑම අස්ථියක ඇතිවන බිඳීයාමක් ඔස්ටියෝපොරෝසීස් රෝගය නිසා සිදුවිය හැකි වුවද කොඳු ඇට, උකුළු ඇට, මැණික් කටුව හෝ ඉදිරි බාහුවේ ඇතිවන තත්ත්වයන් ඔස්ටියෝ පොරෝසීස් තත්ත්වයේ ප්‍රධානතම ලක්ෂණය ලෙස හැඳින්විය හැකි ය. මෙම අස්ථිබිඳීයාම අතර උකුළු ඇට බිඳීයාම භයානක තත්ත්වයකි. ඔස්ටියෝපොරෝසීස් රෝගය ගැන දැනුම්වත්ව සිටියේනම් එය වළක්වාගැනීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ගවලට ලක්විය හැකිය. අස්ථි දුර්වල වූ විට ශරීරය තුළින් යම් යම් වේදනාත්මක තත්ත්වයන් ඇති වේ. මෙවැනි අවස්ථාවලදී එදිනෙදා කටයුතුවල නිරතවිය යුත්තේ ඉතා ප්‍රවේසමෙනි.

එසේ හැකිතාක් දුරට ප්‍රවේසම්වීමට උපදෙස් ලබාදෙනු ලබන්නේ ඉතා සුළු වැටීමකදී වුවද පෙරළීමකදී වුවද අස්ථි කැඩීමක් සිදුවිය හැකි බැවිනි. මේ නිසා ලිස්සාවැටීම් හැප්පී වැටීම් පඩිවලින් වැටීම් ආදියෙන් ප්‍රවේසම්විය යුතු ය. මෙම රෝගී තත්ත්වයෙන් මිදීම සඳහා කැල්සියම් හා විටමින් සී අඩංගු ආහාරපාන ලබාගත හැකිය. විශේෂයෙන් කුඩා මාළු වර්ග මෙන්ම හාල් මැස්සන්ද ආහාරයට ගැනීමෙන් නොඅඩුව කැල්සියම් ලබාගත හැකි ය. කොළ පැහැති පළාවර්ග ඉතාම ගුණදායකය. එම පළා කෑමෙන් ද කැල්සියම් නොඅඩුව ලැබේ. ඊට අමතරව කිරි යොදය සහිත කිරි යෝගට්, සෝයා බෝංචි, කතුරු මුරුංගා, පොල් හකුරු, දිවුල් කිරි, තල මෙන්ම කෙලවල්ලන් මාළු ද නෙළුම් අල ද වඩාත්ම ගුණදායකය. නිතරම ශක්තියක් ගෙන දෙන්නේ නිසි කැල්සියම් ප්‍රමාණයක් ලැබීමෙන් අස්ථිවලිනි. එබැවින් අස්ථිවල ස්කන්ධය වර්ධනය කර ගැනීම සඳහා ශරීරයේ බර අස්ථි හරහා ගමන් කිරීමට පියවරගත යුතු ය. ඒ සඳහා කළ යුත්තේ ව්‍යායාමයේ යෙදීමයි.

ඒ සඳහා ව්‍යායාම් කිරීමේ දී මාංසපේශීන් ඇදීම සහ තල්ලුවීමක් සිදුවේ. ඉන් ද අස්ථි ශක්තිමත් වේ. මෙම ව්‍යායාම් අතර කායවර්ධන ව්‍යායාම් ඉතාම සුදුසු ව්‍යායාමයකි. කල්පනාකාරීව දිවීම ඇවිදීම පඩි නැගීම නැටීමද වැදගත්ය. එහෙත් ඒවා කළ යුත්තේ තැපීම් වැටීම්වලට යොමු නොවන අයුරිනි. අද සමාජයේ වැඩි දෙනෙකුට ඔස්ටියෝපොරෝසීස් රෝගය වැළඳීමට හේතුවී ඇත්තේ ඇඟ නොවෙහෙසා මහන්සි නොවන අයුරින් එදිනෙදා කටයුතුවල නිරතවන බැවිනි. තවද ඔස්ටියෝපොරෝසිස් රෝගය වැලඳීම ද තවත් හේතු බොහොමයක් ම ඇත. විටමින් සී ඌණතාවය මෙන්ම පවුලේ අයට මෙම රෝගය වැලඳීමත් තවත් හේතුවකි. දිගු කාලයක් පුරා ආර්තවය සිදු නොවීමත්, අධික මත්පැන්වලට පුරුදුව සිටීමත්, ශරීරයේ බර අඩුවීමත්, දුම්පානයත් එදිනෙදා ගන්නා ආහාරවේලට ප්‍රමාණවත් කැල්සියම් නොමැතිවීමත් රෝගය වැළඳීමට හේතුවන තවත් කරුණකි. රෝගී මුල් අවස්ථාවේදී අස්ථිවල වේදනාව සාමාන්‍ය ලෙස දැනීමට පටන් ගනී. වයස්ගතවනවිට උස අඩුවීමක් ඇතිවේ. කොඳු ඇට පෙළේ අස්ථි බිඳීමෙන් කොන්දේ වේදනාව හටගනී. රෝගයට ප්‍රධානවශයෙන් අවශ්‍ය වන්නේ විටමින් සහිත පෝෂ්‍යදායී ආහාර ගැනීමයි. විටමින් ඩී අස්ථිවල ශක්තිය මෙන්ම සෞඛ්‍යාරක්ෂාවට ද හේතු වේ.

බෝ නොවන රෝග අතර එක් රෝගයක් වන ඔස්ටියෝපොරෝසිස් රෝගය ඉවසිය නොහැකි තරම් වේදනාවට පත් කරන එක් රෝගයකි. රෝගයෙන් පීඩා විඳිනු ලබන රෝගීන් සිහිතබාගත යුතු කරුණක් වන්නේ කල්පනාකාරීව එදිනෙදා කටයුතුවල නිරතවීමයි. එයට හේතුවන්නේ යම් හෙයකින් ඇද වැටුණහොත් ඉන් අස්ථිබිඳීයාමක් සිදුවන බැවිනි. අත්පාවල අස්ථිබිඳීම අතරින් සුලබව සිදුවන්නේ උරහිස් සන්ධිය වැලමිට මැණික්කටුව ආදී ස්ථාන අස්ථි බිඳීමයි. මේ හේතුන් නිසා කැල්සියම් හා විටමින් ඩී අවශ්‍ය ලෙස ශරීරයට ලබාගැනීමට උනන්දුවිය යුතු ය. එදිනෙදා ආහාර වේලට කැල්සියම් වැඩි ආහාර එකතුකරගත යුතු ය. ඒ සඳහා වඩාත්ම සුදුසු වන්නේ තම්බපු සහල්, කැකුළු සහල්, කුරක්කන් ආහාර වර්ග තිරිඟු පිටි ආහාර, සෝයාබෝංචි, කැරට්, බණ්ඩක්කා, බීට්රූට්, සාරණ, නිවිති, ගොටුකොළ, කතුරුමුරුංගා, කංකු, දිවුල්, වියළි රට ඉඳි, මුද්දරප්පලම්, ගස්ලබු, පේර, අලිගැටපේර, වියළි හාල්මැස්සන්, හුරුල්ලන්, බිත්තර, ගවමස් මෙන්ම කුකුළු මස්ද සුදුසු ය.

කැල්සියම් සපිරි පෝෂණයට අමතරව ශරීරය ශීඝ්‍ර ලෙස වර්ධනය වන අවදියේ සිදුකරන ව්‍යායාම හා ශාරීරික ක්‍රියාකාරකම් අස්ථිවර්ධනය හා එක්වීමට උපකාරීවෙයි. කෙසේ වෙතත් අස්ථිබිඳීයාමට වැඩි අවදානමක් ඇති අයට ඖෂධ ප්‍රතිකාර ලබාදිය යුතු ය.

බත්තරමුල්ල පැළවත්ත 
රාජපුර වෙදමැදුරේ 
ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය 
සුමිත් රාජපුර 
 
සටහන මාධ්‍යවේදී 
බී.ඇල්. පේ‍්‍රමරත්න


subasetha

Comments