මානසික සෞඛ්‍ය රැකගැනීම

මාර්තු 12, 2021

නිරෝගී දිවියකට කායික සෞඛ්‍ය මෙන්ම මානසික සෞඛ්‍යය ද වැදගත්වන බව ආයුර්වේදයේ සඳහන් වේ.

කායික, මානසික, සමතුලිත බවත්, සමාජයීය ආධ්‍යාත්මික ප්‍රසන්න බවත් නිරෝගී පුද්ගලයාගේ ලක්ෂණයන්ය. මානසික සෞඛ්‍ය රැක ගැනීම තුළින් කායික, ආධ්‍යාත්මික, සාමාජීය වශයෙන් යහපත් දිවියක් ගක කළ හැකි වන අතර, මනස ව්‍යාකූලවීමෙන් පුද්ගල සෞඛ්‍ය බිඳ වැටීම ද නොවැළැක්විය හැකි කරුණකි. මනසේ ක්‍රියාකාරිත්වය ඉතා සියුම් වේ. එය අරමුණෙන් අරමුණට සීඝ්‍රයෙන් ගමන් කරයි. බාහිර පරිසරයේ ඇති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන දේ පංචේන්ද්‍රියන් හරහා අප හඳුනාගන්නේ මනස ක්‍රියාත්මක වන බැවිනි. මනසේ පහළ වන ගුණ ස්වභාවයන් තුනකි.

සත්වගුණය හෙවත් මිනිසා තුළ පහළවන යහපත් සිතුවිලි හා ක්‍රියාවන්, රජස්ගුණය හෙවත් මනස කිලිටි කරන දුක උපදවන අහිතකර ගුණය තමස් ගුණය හෙවත් නුවණ මදිකම හෝ මුළාව එම ගුණ ස්වභාවයන් වේ.

එබැවින් සත්ව ගුණය වැඩි දියුණු කර ගනිමින් මානසික සෞඛ්‍ය රැක ගැනීම අත්‍යාවශ්‍යයෙන්ම කළ යුතු වන්නේය.

මව්පියන්ගෙන් උරුමවන ශාරිරික හා මානසික ලක්ෂණ එනම් මානසික සුවයට බාධා කරන ලෙඩරෝග, නුවණ අඩු බව, වහා කිපෙන සුළු බව, උදාසීන බව ආදිය මානසික සෞඛ්‍යය බිඳ වැටෙන ‘සහජ’ හේතු වේ.

තම වට පිටාව නිසා මානසික සෞඛ්‍යයට බලපෑම් ඇති විය හැකිය. නිවස, පාසල, රැකියා ස්ථානය , සමාජය, විවිධ ජනමාධ්‍ය යනාදිය අහිතකර අන්දමින් පැවතීමෙන් සත්ව ගුණය හෙවත් මිනිසා තුළ පහළ වන ‘සද්’ ගුණය පවත්වා ගැනීමට බාධා පැමිණේ.

මානසික සමතුලිත බව නැතිවූ විට හිස්බැල්ම, අවිවේකී බව, අවධානය අඩුවීම, නොසන්සුන් බව, පසුතැවීම, බලාපොරොත්තු රහිතවීම, කලකිරීම ආදි මානසික පීඩා මෙන්ම තෙහෙටේටුව, ආහාර අරුචිය, බඩ පිපුම, හුස්ම ගැනීමේ අපහසුතාවය, හිසරදය ආදි ශාරිරික පීඩා ද ඇති විය හැකිය.

මානසික පීඩාවලින් බැහැරව නිවැරදි මනසක් ඇති කර ගැනීම සඳහා ආයුර්වේදයේ චතුර්විධ සම්පත් සඳහන් වේ.

ධර්ම - යහපත් දිවි පැවැත්මක් සඳහා කළ යුතු ක්‍රියා

අර්ථ – යහපත් ලෙස ධනය ඉපයීම,

කාම – යහපත් ලෙස පංචේන්ද්‍රියන් පිනවීම හෝ ඉන්ද්‍රීය සැපත

මෝක්ෂ – පුණ්‍ය කර්මවල යෙදි සිත දමනය කර ගනිමින් ලබන ලෝකෝත්තර සුවය

ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මානය, බොරු කීම. කේලාම් කීම, පරුෂ වචන කීම, අනුන් පෙළීම, පර ස්ත්‍රී පුරුෂ සේවනය, හිංසා කිරීම, සොරකම් කිරීම ආදි මනස දූෂණය වන කරුණුවලින් මානසික සෞඛ්‍යය පිරිහේ.

මලවේග, මුත්‍රාවේග, ශුක්‍රවේග, වාතවේග, කුසගින්න , පිපාසය, කඳුළුවේග, නින්ද, වෙහෙස, ප්‍රශ්වාස යන ශාරිරික වේගයන් පාලනය කළහොත් ශාරීරික සෞඛ්‍යය පිරිහී මානසික සෞඛ්‍යය බිඳ වැටෙනු ඇත.

ක්‍රමානුකූලව, සැලසුමකට අනුව දින චර්යාව සකස් කර ගැනීමෙන්, සැලසුම්ගතව කරන කටයුතු සඵල කර ගත හැකිවේ. තම ආදායමට සරින පරිදි වියදම සකස් කර ගත යුතුවේ. සැලසුම් සහගතව වියදම් කිරීමෙන් ගැටලු අවම කර ගත හැකිය.

ස්වභාව ධර්මය ඇසුරු කළ යුතුය. මල්ඵලවලින් පිරුණු තුරුලතා, ඉමිහිරි කුරුලු නාද, පීදුන වෙල්යාය, මනරම් ගංගා ඇළ දොළ , සඳපහන් රැය යන ස්වභාවික සුන්දරත්වය විඳීමෙන් ගත සිත ප්‍රබෝධමත් වේ.

මානසික සමබරතාව බිඳ වැටේ යැයි හැඟේ නම් නිසි සෞඛ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.

 

නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ

ආයුර්වේද අංශයේ පත්‍රිකාවක්

ඇසුරින් සකස් කළේ

මාදම්පේ සමූහ –

ඒ.පී. ගුණරත්න



subasetha

Comments