කොරෝනා සමයේ ඔසුගුණ බල මහිමය පෙන් වූ කොත්තමල්ලි

දෙසැම්බර් 11, 2020

පෙරදිග රටවල් බොහෝමයකම ආහාර හා ඖෂධ අවශ්‍යතා සඳහා යොදා ගන්නා කොත්තමල්ලි

අපට නම් අලුත් දෙයක් නොවේ. එහෙත් සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවටත් බටහිර ඖෂධ සොයන ඇතැමුන්ට එහි අගයක් නොතිබුණ ද කොත්තමල්ලි වල ප්‍රයෝජන රැසක් අනාවරණය කෙරෙන මේ ලිපිය ඔබට ඉතාම ප්‍රයෝජනවත් වන බව කිව යුතුය.

දිරවීමේ අපහසුතා දුරුකරවයි

වඩා නීරෝගී ආහාර ජීර්ණ පද්ධතියක් පවත්වා ගැනීමට කොත්තමල්ලි ඇට මෙන්ම කොළ ද හේතු වේ. එහි ඇති ප්‍රතිඔක්සිකාරක සංඝටක අක්මාවේ හා අතුනුබහන්වල නීරෝගී ක්‍රියාකාරිත්වයටත් ජීර්ණය සඳහා අවශ්‍ය එන්සයිම නිපදවීමටත් උපකාරි වේ. එනිසා ආහාර දිරවීමේ අපහසුතා ඇති අය තම ආහාරයට කොත්තමල්ලි එක්කර ගැනීම සුදුසුය. කොත්තමල්ලි අහුරක් පෙඟ වූ ජලය පෙරා දිනපතා උදෑසන හිස්බඩ බීමෙන් ආහාර ජීර්ණ අපහසුතා මඟහැරෙයි.

සිරුරට විටමින් රැසක් ලබාදෙයි

ෆෝලික් අම්ලය, විටමින් ඒ, විටමින් සී සහ බීටාකැරොටීන් ලබා ගැනීමට කොත්තමල්ලි හොඳ මූලාශ්‍රයකි.

දෛනික විටමින් සී අවශ්‍යතාවයෙන් 30% ක් ඉන් ලබාගත හැකි ය. එයින් නිරෝගි සිරුරකට හා සමට අවශ්‍ය ප්‍රබල ප්‍රතිඔක්සිකාරක රැසක් ලැබෙයි.

ලේ වල සීනි අඩු කරයි

කොත්තමල්ලි පානය දියවැඩියාවට එරෙහිව ක්‍රියා කරයි. රුධිරයේ ප්‍රශස්ත සීනි මට්ටමක්

පැවතීමට හේතුවන පරිදි ඉන්සියුලින් නිපදවීමට කොත්තමල්ලි උපස්ථම්භක වේ. එසේම රුධිරගත අහිතකර කොලෙස්ටරෝල් (LDL) අගය අඩු කිරීමටත් හිතකර කොලෙස්ටරෝල් (HDL) ඉහළ නැංවීමටත් එය හේතු වේ. ඒනිසා දියවැඩියාව හා කොලෙස්ටරෝල් සම්බන්ධ ගැටලු ඇති අය දිනපතා දෙවරක්වත් කොත්තමල්ලි පානය කිරීම ඉතා සුදුසුය. (උදේ සහ දහවල වශයෙන්)

බැක්ටීරියා ආසාදන පරදවයි

ආහාර හා ජලය නිසා නිතර බැක්ටීරියා ආසාදනයන්ට ලක් වන්නන්ට කොත්තමල්ලි ඉතා හොඳ ප්‍රතිජීවකයක් සේ ක්‍රියා කරයි. ඒ එහි ඇති ප්‍රතිජීවක සංඝටක හේතුවෙනි.

භයානක විෂ බීජයක් සේ සැලකෙන සැල්මොනෙල්ලා ආසාදනයන්ට එරෙහිව දැනට භාවිත වන බටහිර ඖෂධ වලට වඩා කොත්තමල්ලි දෙගුණයකින් බලගතු බව පැවසේ. මේ නිසා අතීසාරය, කොළරාව, උණසන්නිපාතය වැනි රෝගයන් වැළැක්වීමත් ආහාර විෂවීම සඳහාත් කොත්තමල්ලි ගුණදායකය.

නීරක්තිය වළක්වාලයි

අත්‍යවශ්‍ය විටමින් වලින් පමණක් නොව කොත්තමල්ලි ඉහළ යකඩ ප්‍රතිශතයකින්ද පෝෂිතය.

නීරක්තිය වළක්වා ගැනීමට එය මහත් රුකුලකි. මේ නිසා විශේෂයෙන් කාන්තාවන් තම ආහාරයට නිතරම කොත්තමල්ලී පානය හා කොත්තමල්ලි කොළ එක්කර ගැනීම වැදගත් වේ.

සිරුරේ විෂ ඉවත් කරයි

ආසනික්, රසදිය, ඊයම් වැනි බැර ලෝහ ශරීරගත වීමෙන් සිදුවන මතකය අහිමිවීම, ස්නායු රෝග, හෘදයාබාධ වැනි සංකීර්ණ රෝගාබාධයන්ට ලක්වීමේ සම්භාවිතාව ඉහළ බැව් පැවසෙන මෙකල ඉන් වැළකීම සඳහා කොත්තමල්ලි දිව ඔසුවකි. ඒ බැර ලෝහ හා විෂධූලක ශරීරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය ස්වභාවික සංයෝග එහි තිබීම හේතුවෙනි.

ඇස් දැවිල්ල හා ඇස් කැසිල්ල දුරු කරයි

අක්ෂි ප්‍රදාහ සඳහාද කොත්තමල්ලි ගුණදායකය. එහි ඇති ප්‍රතිඔක්සිකාරක සංඝටක ඇසේ රත, ඇස් දැවිල්ල හා ඇස් කැසීම අඩු කිරීමට සමත්ය.

ආර්තවයේදී අධික රුධිර වහනය මැඩලීමට සුදුසුයි.

කාන්තාවන්ගේ ආර්තව ගැටලු හා අධික රුධිරවහනය සඳහා කොත්තමල්ලි ගුණදායක බව අපේ පැරැන්නෝ නම් දනිති‍. එවන් රෝග සඳහා ජලය මිලි ලීටර 500 කට කොත්තමල්ලි ග්‍රෑම් 6ක් පමණ එකතු කර තම්බා ඊට සීනි තේ හැන්දක් දමා දිනකට තෙවරක් පානය කිරීම සුදුසුයි.

සමේ රෝග වලට ගුණයි

චර්ම රෝග ගණනාවක් සඳහා කොත්තමල්ලි ගුණදායකය. සමේ කැසීම්ල, දද, පණු කැවිලි හා

ප්‍රදාහයන් සුව කිරීමට එය සමත්ය. ජලය ස්වල්පයක් දමා ඇඹරූ කොත්තමල්ලි ස්වල්පයකට මී පැණි තේ හැන්දක් එක්කර ආලේප කිරීමෙන් සමේ කැසීම් සඳහා ක්ෂණික සුවයක් ලබා ගත හැකිය.

මුඛයේ තුවාලවලට සුදුසුයි

මුවේ ඇතිවන තුවාල සඳහා කොත්තමල්ලි තැම්බූ වතුරෙන් මුව සේදීම සුදුසුය.

කුරුලෑ සහ ඇක්නිවලට ගුණයි

කොත්තමල්ලි පල්පය, මීපැණි හා කහ යොදා සාදා ගන්නා තැවරුම (Mask) මුහුණේ ආලේප කර වියළුණු පසු සිසිල් ජලයෙන් සේදීම මුහුණේ කළු ලප, කුරුලෑ හා ඇක්නි ආසාදන සඳහා ඔසුවකි.

කොත්තමල්ලි සතු බැක්ටීරියා නාශක ගුණය මෙහිදී ක්‍රියාකාරි වේ.

දෙතොල්වල අවපැහැය නැති කරයි.

කොත්තමල්ලි ඇට අඹරා ලබාගත් යුෂ ‌තේ හැඳී 2කට ලෙමන් යුෂ තේ හැන්දක් මුසුකර රාත්‍රියට දෙතොලේ ආලේප කර පසුදා උදේ සෝදා හරින්න. දින කිහිපයක් මෙසේ කිරීමෙන් දෙතොලේ අවපැහැය නැති වී පැහැපත් බවක් ලැබෙනු ඇත.

හිසකෙස් වඩවයි

හිසේ තවරන තෙල් වලට කොත්තමල්ලි කුඩු ස්වල්පයක් එක්කර සතියට දෙවරක්වත් හිස

සම්බාහනය කරන්නේ නම් කේෂ මූලයන් උත්තේජනය වී නව හිසකෙස් වැඩීම ඇරඹෙනු ඇත. එය හිසකෙස් ගිලිහීම අධික අයගේ සතුටට හේතුවනු ඇත.

අපේ පැරණි සිංහල වෙදකමේ නම් කොත්තමල්ලි වලට හිමි වන්නේ මීටත් වඩා අග්‍රගන්‍ය ස්ථානයක් බව සඳහන් කළ යුතුමය. අපේ තුනපහ ඔස්සේද කොත්තමල්ලි දෛනිකව ශරීර ගතවේ. මීට කලකට ඉහත සිදු කෙරුණු පර්යේෂණයකදී හෙළි වී තිබුණේ එතෙක් සොයාගෙන තිබුණු වයිරස් නාශක ඖෂධ වලට වඩා කොත්තමල්ලි හා පත්පාඩගං එකතුව සකස් කරගත් පානය වයිරස් නාශක ගුණයෙන් අනූනතම හෙළඔසු බවයි. බහුලම වෛරස් රෝගය වන සෙම්ප්‍රතිශ්‍යාවටද මෙම පානය සහනයක් වන්නේ එහෙයිනි.



subasetha

Comments