ඔල්මාදය හෙවත් උන්මාදය

දෙසැම්බර් 11, 2020

උද්ගතවූ මත් ගතිය අධික වීම, උන්මත්තතාව හෙවත් උන්මාදය නම් වේ. ඔල්මාදය, උමතුව, පිස්සුව, පෛත්තියම් යන නාම මෙයට පර්යායන් වේ.

මත් බව හෙවත් මදාත්‍යයේ උග්‍ර අවස්ථාවද උන්මාද ස්වරූපය හා සමානය. එනම් මදාත්‍යයට සම කළ හැකි රෝගය උන්මාදයයි. නමුත් මෙහිදී දැකිය හැකි ප්‍රධාන වෙනස වන්නේ දිගුකාලීන සම්බන්ධතාවයක් මදාත්‍යයේ නොමැති වීමයි.

සිත හෙවත් මතය පිහිටා ඇත්තේ බ්‍රහ්ම හෘදය තුළයි. සිහිය හා නුවණ බ්‍රහ්ම හෘදය ආශ්‍රය කොට පවතී. උන්මාර්ග ගත වූ හො විමාර්ග ගත වූ හෝ ඌර්ධවස්ත වූ හෘදය කරා ගියා වූ වාතාදී දෝෂයෝ මානසික දෝෂත්‍රය හා සිතේ ක්‍රියාකාරිත්වය යටපත් කොට මනෝ විග්‍රහය හෙවත් මනසේ මත් බව ඇති කරයි. මනෝ ව්‍යසනයක් වූ මෙම රෝගය උන්මාදයයි.

උන්මාදයේ සාමාන්‍ය ලක්ෂණ

1.බුද්ධි විග්‍රහය 2.සිතේ චංචල බව 3.දෑසෙහි ව්‍යාකූල බව 4.අධෛර්ය හෙවත් දීන බව 5.සම්බන්ධයක් නැති වචන කතා කිරීම 6.තමා ගැන දැනීමක් නැති වීම

උන්මාදය ප්‍රභේද 7 කි. ඒවා නම්

1.වාතික උන්මාදය 2.පෛත්තික උන්මාදය 3.ශ්ලේෂ්මක උන්මාදය 4.සන්නිපාතික උන්මාදය 5.ශෝකාදිජ උන්මාදය 6.භූතජ උන්මාදය

වාතික උන්මාදය

මෙහිදී රෝගියා නිකරුණේ සිනාසීමටද , නටන්නටද, දෙඩවීමටද, ගයන්නට ද, අත පය එහා මෙහා කරමින් සරඹ කරන්නට ද, පටන් ගනී. මොහුගේ ශරීරය රූක්ෂය. කර්කශය, පැහැතිය. කෑ දෙය දිරවීමෙන් පසු මෙම තත්ත්වය දරුණු වෙයි.

පෛත්තික උන්මාදය

ඇඳි වත ලිහා දැමීම, වේගයෙන් දිවීම, තර්ජනය කිරීම, තරහා යෑම, නොඉවසීම යනාදිය මෙම රෝගියාගේ ලක්ෂණ වේ. මොහුගේ සිරුර අධික උණුසුමකින් යුක්තය. එබැවින් සිසිල් ආහාර පාන හා සිසිල් ස්ථාන පි‍්‍රය කරයි.

ශ්ලේෂ්මක උන්මාදය

මෙම රෝගියාගේ කථා බහ අඩුය. ක්‍රියාවන් අල්පය. සෙම වමනය කරයි. අධික නිදිමත පවතී. කාන්තාවන් කෙරෙහි ඇල්මක් පවතී. නිය, සම, මල, මූත්‍ර, සුදු පැහැයෙන් යුක්තය. ආහාර ගත් විගස රෝගය දරුණු වෙයි.

සන්නිපාතික උන්මාදය

ඉහත දැක්වූ ත්‍රිදෝෂ ලක්ෂණම පෙන්නුම් කරයි.

ශෝකාදිජ උන්මාදය

ධන හානිය, බන්ධු හානිය, විරහව යන මේවා මෙකී තත්ත්වයට මූලික හේතු වේ. මෙම රෝගියා සිතේ සැඟවී තිබූ දේ විසිතුරු ලෙස කීමටද , සිනාසීම, හැඬීම යන මේවාටද පෙලඹේ.

විෂජ උන්මාදය

මෙයට හේතුව විෂ සේවනයයි. ශරීරයේ කාන්තිය, ශක්තිය, ඉන්ද්‍රිය පංචකය යන මේවා සියල්ලම ක්ෂීණ වේ. ඇස් රතු පාට වේ. මුහුණ කළු පැහැයක් ගනී. සිත දීන වේ. වසිංගු වේ.

භූතජ උන්මාදය

දේව, අසුර, ගාන්ධර්ව, යක්ෂ, පිතෘ, නාග, රාක්ෂ, පිසාච ආදින්ගේ ඇල්මෙන් හෝ ද්වේෂයෙන් ආවේශ වීම ලෙසට හේතුවයි. දර්පණය තුළට රූපය පිවිසෙන්නාක් මෙන්ද, සිරුරට ශීතල හෝ උෂ්ණය පිවිසෙන්නාක් මෙන් ද භූතයෝ ද, අනුචරයෝද අපට නොපෙනී මිනිස් ශරීරයට ප්‍රවේශ වේ. එය මනසේ විකෘතියට හේතු වේ.

උන්මාද අසාධ්‍ය ලක්ෂණ

1.ඇස් විකෘති වීම 2.ඉක්මනින් ඇවිදීම 3.සෙම පෙණ ලෙව කෑම 4.වැඩිපුර නිදා ගැනීම 5.වරින් වර බිම ඇද වැටීම 6.වෙව්ලීම 7.උස්ස්ථානවලින් පහළට ඇද වැටීම

චිකිත්සාව

මෙහිදී වමන, විරේචන කිරීම ඉතා සුදුසු වේ. ස්නේහ හා ස්වේදනය ද කළ යුතු වේ. සිත සැනසෙන ආකාරයට කරුණාවෙන් කතා බහ කළ යුතුය. අතවශ්‍ය ලෙස තාඩන, පීඩන නොකළ යුතු උචිත ආකාරයට සතුටු කිරීම හා බිය කිරීම කළ යුතුය. රෝගියා අවශ්‍ය ප්‍රමාණයට නින්ද ලබා දිය යුතුය.

වාතික උන්මාදයේදී ස්නේහ පානයද. පෛත්තික උන්මාදයේදී විරේචනයද, ශ්ලේමික උන්මාදයේදී වමනයද යොදා ප්‍රධාන දෝෂය බැහැර කළ යුතුය.

කෂාය යෝග

සප්සඳ, බැබිල, සුදු හඳුන් ආදි කෂාය

ඉරමුසු , කහඹිලියා, කිරි කෂාය

සැවැන්දරා, කලාදුරු අල, ත්‍රිපල් කෂාය

බැබිල, සිරිවැඩි බැබිල, වැල්මී කෂාය

සුදුහඳුන්, සුවඳ හොට, නෙළුම් අල කෂාය

චූර්ණ වර්ග

සාරස්වත චූර්ණය

ඒකාවේරිය චූර්ණය

 

ඉස ගැල්ලුම්

1.වැල්පෙනෙල, වැටකේ බොඩ,බැබිල

කොළ අඹරා ගැල්වීම

2.මුකුණුවැන්න, තැඹිලි දියෙන් අඹරා ගැල්වීම

3.ත්‍රිපල් ,මුං ඇට, එළකිරෙන් අඹරා ගැල්වීම

4.අරළු, බුළු, නෙල්ලි, මුංඇට, එළකිරෙන් අඹරා ගැල්වීම

5.නෙල්ලි, සුදුහඳුන්, හාතවාරිය අල, නාමල් රේණු, එළකිරෙන් තම්බා අඹරා ගැල්වීම

රස ඖෂධ

1.උන්මාද ගජකේශරී රසය 2.උන්මාද භංජන රසය 3.චතුර්භුජ රසය 4.උන්මාද ගජාංකුසය

තෛල වර්ග

1.රත්පිත් කේතකී තෛලය 2.කුමාරි තෛලය 3.සරස්වතී තෛලය 4.උන්මාද ගජකේශරී තෛලය 5.නීල්‍යාදී තෛලය

ඍත වර්ග

1.සිද්ධාර්ථ ඍතය 2.උන්මාද ඍතය 3.බ්‍රාහ්මී ඍතය ධූප වර්ග

1.මහේෂ්වර ධූපය

2.කොහොඹ කොළ, වදකහ, නයි හැව, සුඟු, අබ යන මේවායින් සිද්ධ කළ ධූපය

දේශීය ප්‍රත්‍යක්ෂ කෂායක්

සුවඳ හොටත්, මානිල් අල ඉරිවේරිය හිම විලඳි ය

මෙකී බෙහෙත් බඩු සමහර අටින් එකට සිඳ ගත් ද ය

මී පැණිත් සමඟ උදේ උදේ දෙන්න නොහැර විදි ය

මද ද එපිත් පවස් දැවිලි සෝපත් නැති වෙයි උරු ද ය

 

සරස්වතී තෛලය

බැමිතිරි අරළු කොට්ටම් වද කසා ගෙන

තිකුළුත් සිඳලුනුත් අට අට පලම් ගෙන

සතරක් එළකිරිත් නැලියක් ගිතෙල් ගෙන

දිය තඹකින් සිඳිමින් තෙල් පෙරා ගෙන

 

සරස්වතී නම් මෙම තෙල බීවොත් සො ඳ

දැනුමැති බවත් සිහියත් වැඩෙමින් නැණ ද

ජඩ බව සමඟ වික්කල් ගොළු බසු නොම ද

උන්මාදත් හැම නැතිවී යේ ලු සො ද

 

නන්දන තෛලය

රණවරා කොළ, වැටකේ මුල්, ලුණුවිල, කතුරුමුරුංගා කොළ යන මේවායේ යුෂ ගෙන තල තෙල් යොදා කල්කය සඳහා හිරියල්, වදකහ, සුඟු, සැවැන්දරා, කරාබු, තිප්පිලි, සූදුරු , වල්ගා මිරිස්, ගල්මද , තුරසි, සුඟු, සැවැන්දරා, කරාබු, තිප්පිලි, සූදුරු, වල්ගා මිරිස්, ගල්මද, තුරසි, කොතඹුරු, කොකුම් මල්, ඉරිවේරිය , ඉඟුරු, හිඟුරු පියලි, සුදුලූනු, එනසාල්, වැල්මී යන මේවා අඹරා දමා තෛල පාකයට සිඳ ගන්න.

මෙය නශ්‍ය, පාන, අගභංග සඳහා යෝග්‍ය වේ.

පත්‍ය දේ

එළකිරි , අලුත් ගිතෙල්, පුරාණ ගිතෙල් , තිරිඟු, රතුහාලේ බත්, මුං ඇට, අළුපුහුල්, කොස්මදුළු, සුප කූර, රතු හීන් ගෙඳ, එළබටු, තම්පලා, සුදුලූනු, රටඉඳි, දෙළුම්, දිවුල්, නෙල්ලි, තැඹිලි, ලූල්මාළු, මුව මස්, වටුමස්, අශ්ව මූත්‍ර, බුරු මුත්‍ර

අපත්‍ය දේ

උෂ්ණ විදාහී තීක්ෂණ සියලුම ආහාරපාන

ප්‍රතිකාර කිරීමේදී උන්මාද රෝගියා කෙරෙහි විශේෂ වූ අවධානය යොමු කරමින්, විශේෂයෙන් ඉවසිලිවන්තව හා බුද්ධිමත්ව ක්‍රියා කිරීමෙන් යහපත් ප්‍රතිඵල උදා කර ගත හැකි වේ. රෝගියාගේ පාර්ශ්වයෙන් නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීම හා අනුගමනය කිරීම ඉතා ඤාණාන්විත වේ.



subasetha

Comments