කෙස් කලඹේ සතුරා හිස් හොරි

දෙසැම්බර් 4, 2020

පංච කල්‍යාණයන් අතුරින් කෙස් කලඹට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. රූ සපුව කෙරෙහි අවධානය යොමු කිරීමේදී කාන්තාවන්ට පමණක් නොව පුරුෂ පක්ෂයට ද හිසකෙස් ඉතා වැදගත් අංගයක් වේ. හිසකෙස් වර්ධනය කර ගැනීම මෙන්ම රැක ගැනීම තුළින් රූසපුවට මහඟු වටිනාකමක් ලැබේ.

ශීර්ෂය හෙවත් හිස මනුෂ්‍ය ශරීරයේ උත්තම අංගයයි. මෙහි මතුපිට පවතින සම කේශ භූමිය ලෙස හඳුන්වයි. මහ පොළොව මත ඛනිජ ලවණ හා ජලය ආධාරයෙන් තුරුලතා පෝෂණය වන්නේ යම් සේද, කේශ භූමිය මත හිසකෙස් පෝෂණය ලබමින් වර්ධනය වන්නේය.

වර්තමාන සමාජයේ බොහෝ දෙනෙකුට වද දෙන රෝගයක් ලෙස හිස් හොරි හඳුන්වා දිය හැකිය.මෙකී තත්ත්වය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවිය හැකි රෝගයකි. එහෙයින් මේ පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.

හිස නිතුරුවම බාහිර පරිසරයට නිරාවරණය වී පවතී. විශේෂයෙන් දුම් දූවිලි වැනි අපිරිසුදු කොටස් වාතය හා මිශ්‍රවී හිස මත තැන්පත් වේ. එය හිස්හොරි ඇතිවීමට එක් හේතුවකි. තවදුරටත් මේවා වර්ධනය වී කුඩු බවට හැරේ. විටෙක පිටි වැනි ස්වභාවයක් ගන්නා අතර තවත් විටෙක කුඩා පොතු ලෙසින්ද දැකිය හැකිය. හිස කැසීමේදී නිය අගයට මෙම හිස්හොරි පැමිණේ. මෙහි දී ඒ සමඟම හිසකෙස් ගැලවී යාමද සිදුවේ. එසේම මෙම අපිරිසුදු තත්ත්වය නිසා හිසකෙස් වර්ධනය වීම හා හිසකෙස්වල ප්‍රකෘති ස්වභාවය ගිලිහී යනු ඇත.

තවද අප එදිනෙදා ගනු ලබන ආහාර හා විහරණ නොගැලවීම හේතුවෙන්ද හිස්කබල වියළීමට ලක් වේ. විශේෂයෙන් උෂ්ණ අධික ආහාර පාන ගැනීමෙන් කේශ මූලයන් දිරාපත් වේ. ශීත කළ ආහාර පාන නිතර නිතර සේවනය කිරීම, දවසේ වැඩි වේලාවක් හිරු රශ්මිවට හිස නිරාවරණය වීම, රාත්‍රී නිදිවැරීම, ඉන්ධන දහනය වන දුම් ආදියට ගොදුරුවීම, ලෝභ, ශෝක, ද්වේෂ කෝප ආදි මානසික හේතු නිසාද හිස් හොරි ඇතිවීම මෙන්ම කේෂ මූල දිරාපත් වීම සිදුවේ.

වර්තමාන සමාජය විවිධ විලාසිතා පසුපස හඹා යෑමද මෙකී තත්ත්වයට තවත් හේතුවකි. මෙහිදී විවිධ ආලේපන වර්ග, ක්‍රීම් වර්ග, සබන් හා ෂැම්පු වර්ග භාවිත කිරීම මෙන්ම ස්වභාවික තත්ත්වයේ පවතින හිසකෙස් විවිධ උපකරණ මගින් අස්වාභාවික තත්ත්වයට හැරවීම නිසාද හිසකෙස් ගැලවීයාම සහ වියළීම සිදුවේ. තවද හිසට තෙල් නොගැල්වීම හිසකෙස් ගැලවී යාමටත්, වියළී යාමටත් ප්‍රධාන හේතුවක් වන්නේය. එනිසාම හිසට පෝෂණයක් නොලැබීම හේතු කොට ගෙන හිස්හොරි පමණක් නොව උකුණන් බෝවීමද සිදුවේ. එම නිසා විලාසිතා කිරීමේදී අප වඩාත් ප්‍රවේශම් විය යුතුය.

රූ සපුව නසාලන මෙම හිස්හොරි ව්‍යසනය දුරු කිරීමට නම් හිස නිරතුරුවම පවිත්‍රව තබා ගත යුතුය. අතීතයේදී අපේ ලලනාවෝ හිසකෙස් රැක ගැනීමට ස්වභාවික දේම යොදා ගන්න. ස්ත්‍රියකට වරක් හෝ උළුහාල්, දෙහි ගැට තැම්බූ ජලයෙන් හිස සේදා පිරිසුදු කළහ. ගොඩපර තලා ජලය හා මිශ්‍ර කොට හිස සෝදූහ. මෙකී ඖෂධීය ජලය හිසකෙස් වර්ධනයටත්, කේශ මූල ශක්තිමත් කිරීමටත්, සිසිලස ගෙන දීමටත් මහඟු පිටිවහලක් ලබා දුනි.

නමුත් වත්මන් සමාජයේ ජීවත්වන අපේ දූ දරුවන් පමණක් නොව වැඩිහිටියන් පවා කෘත්‍රිම සුගන්ධයට හා පිට ඔපවට සැකසුණු විවිධ ෂැම්පු හා සබන් වර්ග වලට රැවටී අකාලයේ කෙස් කලඹ අහිමි කරගෙන ඇත. මෙහිදී හිස් කබල වියළි හිස් හොරි ඇතිවේ. තවද හිසකෙස් දුඹුරු පැහැවීම, අකලට හිසකෙස් වැටීම මෙන්ම සුදුවීම, හිසකෙස් පිපිරීම, හිසකෙස් තුනී වීම යනාදී විවිධ ගැටලු වලට මුහුණ දීමට සිදුවේ.

හිසකෙස් පෝෂණයට මෙන්ම වර්ධනයට ද තෙලට වඩා උතුම් දෙයක් නැති තරම්ය. හිසට තෙල් භාවිත කරන පුද්ගලයාට ශීර්ෂ රෝග පමණක් නොව නේත්‍ර රෝග ද හට නොගන්නා බව අතීත පූර්වාචාරින් පෙන්වා දී ඇත.

හැකි සෑම අවස්ථාවකදීම හිරු මුදුන් වෙන්නට පළමුව ස්නානය කිරීම යෝග්‍ය වන අතර ඉන් පසු හිසකෙස් මුල හොඳින් පිස දමා තෙත සිඳ ගත යුතුය. පසුව හිස කෙස් පීරා වියළා තෙල් දමා හොඳින් හිස සම්බාහනය කළ යුතුය. එවිට හොඳින් හිසට රුධිර සම්පාදනය සිදුවේ.

හිස් හොරි සඳහා ප්‍රතිකාර කිරීමේදී පළමුවෙන්ම ශිරෝ විරේචනයක් කළ යුතුය. මේ සඳහා අරළු කලං 02 යි. බුළු කලං 4 යි. නෙල්ලි කලං 6 යි ආදී වශයෙන් රැගෙන හොඳින් කොටා එළකිරෙන් තම්බා, අඹරා තලපයක් සේ සකසා හිස මත ආලේප කොට නෙළුම් පත්‍රයකින් හෝ කෙසෙල් දල්ලකින් ආවරණය කොට රෙදි කඩකින් වෙලා පැයකින් පමණ පසු එය ඉවත් කොට ස්නානය කළ යුතු වේ. මෙහිදී සබන් හෝ ෂැම්පු වර්ග භාවිත නොකළ යුතුය. දින 3 හෝ 4 ක් මෙම ප්‍රතිකාරය කිරීම යෝග්‍ය වේ.

හිස සම්බාහනය සඳහා වෙරළු කොළ, පේර කොළ, කුඹුක් කොළ, වැල්කැප්පෙටියා කොළ යන මේවා සම භාගව ගෙන පොල් සමඟ කොටා මිරිකා පෙරා ගත් දියරය සුදුසු වේ.ඉන්පසු ස්නානය කිරීම යහපත් වන්නේය. මීට අමතරව මෙම ප්‍රතිකාර ද සුදුසු වේ.

කොහොඹ දලු සහ අමුකහ පොල්කිරෙන් තම්බා අඹරා හිස ගල්වා ඉන්පසු ස්නානය කිරීම

දෙහි ගැට, පොල්කිරෙන් තම්බා අඹරා හිස ගල්වා පසුව ස්නානය කිරීම

උළුහාල්, නෙල්ලි, පොල් කිරෙන් තම්බා අඹරා හිස ගල්වා පසුව ස්නානය කිරීම

ගොඩපර තලා හිස ගල්වා හොඳින් සම්භාහනය කර ස්නානය කිරීම

මෙකී ඖෂධ භාවිතයෙන් හිස් හොරි ඉවත්වූ පසු හිස හොඳින් වියළා යෝග්‍ය තෙලක් හිස ගල්වා විනාඩි 30 ක් පමණ මෘදු ලෙස හිස සම්භාහනය කිරීම සුදුසු වේ.

හිස්හොරි සඳහා විශේෂ වු තෙලක් සකසන අයුරු

උළුහාල්, සුදුලූනු, නෙල්ලි, කීකිරිදිය, සුදුහඳුන් යන මේවා සමව ගෙන තැඹිලි පොල් දමා කොටා ලබාගත් ඉස්මට තලතෙල් මිශ්‍ර කර ළිප තබා එයට රතුලූනු මිටක් සිහින් වෙන්නට ලියා දමා මඳ ගින්නේ පැසවා තෙල සිඳ ගන්න.

හිස්හොරි සම මතු පිටට වැටීමෙන්,මුහුණේ පිටේ පපුවේ උරහිස් යනාදියේ බිබිලි හට ගෙන කැසීමට පටන් ගෙන අනතුරුව කුෂ්ට රෝගයක් බවට පරිවර්තනය වන බවත් අමතක නොකළ යුතුය.

එබැවින් කෘත්‍රිම ආලේපන හා විලාසිතාවන්ගෙන්ද කෘත්‍රිම රසකාරක ආහාරපානයන්ගෙන්ද ඈත්වී ස්වභාවික පුරුදු අනුගමනය කිරීමෙන් මෙම රෝගී තත්ත්වය දුරුකර ගැනීමට හැකියාව ඇති අතර නිසි වෛද්‍ය උපදෙස් පිළිබඳ අවධානය යොමු කිරීමත් ඉතා වැදගත් වේ.



subasetha

Comments