හිතාමතා ඇවිදීමේ වටිනාකම

නොවැම්බර් 13, 2020

අපේ ජීවිත කාලය තුළදී අපට අවශ්‍යම නම් ලෝකය වටා දෙවරක් දෙපයින් සංචාරය කරන්න (ඇවිදින්න) තරම් ශක්තිමත් පා යුගලයක් අප සතු බව ඔබ දන්නවාද? ලෝකයේ ‌බොහෝ දියුණු රටවල බුද්ධිමත් මිනිස්සු සෝපාන තිබුණත් තට්ටු 15 – 20 ක තරම් ඉහළකට උදේ සවස (සමහර විට ඊට වඩා වාර ගණනක්) ගමන් කරන්නේ ඇවිදගෙන, ඒ කියන්නේ පයින්.

ඒත් ඔබ දන්නවාද අපේ රටේ සමහර මිනිස්සු පාන් රාත්තලක් ගේන්න කිලෝමීටර් කාලක (මීටර් 250) දුරක් යන්නෙත් මෝටර් රථයෙන්. එහෙම නැත්නම් මෝටර් බයිසිකලයෙන්. ඇත්තටම ඇවිදින්න සමහර අය හරිම අකමැතියි. ඒත් ඇවිදීමේ වටිනාකම මිල කරන්න බැරි තරම් වටින බව දන්න අය ඇවිදින්න හරිම කැමතියි.

ඇවිදීමේ ප්‍රධාන වාසි.

වේගවත්ව ඇවිදීමෙන් අපට ලැබෙන්නේ ඉතාම උසස් ශාරිරික ව්‍යායාමයක්. ඉන් අපට ලැබෙන ප්‍රධාන වාසිය වන්‌නේ පෙනහළු පිරෙන්න ඔක්සිජන් වායුව ලැබීමයි. පෙනහළු ඔක්සිජන් වායුවෙන් පිරීමෙන් සිදුවන ප්‍රසාරණය නිසා පෙනහළු ඉතා හොඳීන් ශක්තිමත් වීමෙන් හෘද ස්පන්දනය නිරෝගි වී හෘදය ශක්තිමත් වෙයි. මෙම නිරෝගි බව හා ශක්තිය නිසා හිසේ සිට පාදාන්තය දක්වා ශරීරයේ සෑම තැනකටම අවශ්‍ය පිරිසුදු රුධිරය කිසිම බාධාවකින් තොරව ගමන් කරනවා. ඉන් සිදුවන සුවිශේෂී වාසිය තමයි දිගු කාලයක් නිරෝගීව ජීවත් වන්නට හැකිවීම. ඒ කියන්නේ ඇවිදීමෙන් දිගු ආයුෂ ලැබෙන බවයි.

නිවැරදිව ඇවිදින්නේ කොහොමද?

ඇවිදීම, දිවීම, වේගයෙන් දිවීම මේ ව්‍යායාම ආකාර තුනෙන්ම ඉතාම යහපත් සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් ලබන්න නිසැකවම පුළුවන්. ඒත් සමහරු හරියට ඇවිදින්න දන්නේ නෑ.ව්‍යායාම සඳහා ඇවිදින්න සුදුසු වේලාවන්. ඒ සඳහා පෙර සූදානම් විය යුතු ආකාරය ඇවිදීමේදී අනුගමනය කළ යුතු රටාවන්, ආදි වශයෙන් කරුණු රාශියක් අප විසින් නිවැරදිව දැන සිටිය යුතු වෙනවා. ඇවිදීමට වඩාත් සුදුසු වන්නේ උදය කාලයයි. හිරු එළිය පොළොවට මුලින්ම පතිත වන්නට පෙර අලුයම 5.30 ට පමණ ඔබට ඇවිදීම ආරම්භ කරන්න පුළුවනි නම් එය ඉතාම යහපත්, අලුයම 5.30 උදෑසන 7.00 අතර කාලය ඇවිදින්න යොදා ගැනීමේ වාසි ගොඩයි. සූර්යයාගෙන් ලැබෙන සෞඛ්‍ය සම්පන්න ආලෝකය මැනවින් සිරුර සිසාරා ලැබෙන්නේ මේ කාලය ඇතුළතයි. විටමින් ඩී ද මේ කාලය තුළදී යහමින් සිරුරට ලැ‌බෙනවා. ඒ විතරක්ම නෙමෙයි උදෑසනින් ගහකොළ වලින් වෑහෙන අම්ලකර වායුව ඉතාම ප්‍රශස්තයි. පිරිසුදුයි. නැවුම්. මේ හිතකර වායු අශ්වාස කිරීමෙන් හෘදය නිරෝගි වෙනවා.

ඇවිදින අතරතුර වතුර පානය කරන්න එපා.

ඇවිදීම ආරම්භ කරන්න කලින් මුලින්ම වතුර වීදුරුවක් පානය කරන්න. ඇවිදීම කරන අතරතුර ජලය පානය කිරීමේ අවශ්‍යතාවය මෙමඟින් වැළකී යනවා. එමෙන්ම ලේ නහර හොඳීන් පිරිසිදු වෙනවා. ඇවිදීම නැවතූ පසුවත් ශරීරයේ වෙහෙස මඳක් නිවාගෙන (ඛ්ධධත ඤධඹද) මිනිත්තු දහයකට පමණ පසු තවත් මිලිලීටර් 300ක පමණ පිරිසුදු වතුර වීදුරුවක් පානය කරන්න. මෙහිදී පිරිසුදු ජලය වෙනුවට ස්වභාවික පලතුරු යුෂ (සීනි රහිත) වීදුරුවක් වැනි දෙයක් පානය කළත් වරදක් නෑ. නමුත් තේ, කෝපි, කිරිපිටි, මෝල්ට් පාන වර්ග, ශක්තිය ජනක පාන, පැණි බීම ආදිය කිසිසේත්ම පාවිච්චි කරන්නම එපා. ඒ වගේම තමයි ඇවිදීම අවසන් වූ වහාම කෑම කන්න එපා. ඒ සඳහා ඇවිදීම නිමාකර විනාඩි 45 කින් පමණ පසු කාලය සුදුසුයි.

ඇවිදීමේදී භාවිත කළයුතු ඇඳුම් පැළඳුම්.

කිටි කිටියේ ඇඟට හිරවෙන ඇඳුම්, ශරීරයේ තැනින් තැන හිරවෙන පටි යෙදූ ඇඳුම්, විවිධ වර්ණ වල ඇඳුම් ඇවිදීම හෝ දිවීමේදී හෝ ඕනෑම ව්‍යායාමයක් කරන විට අඳීන්න එපා. සුදුසුම ඇඳුම වන්නේ කපු ඇඳුම්, ඊට අමතරව සුදුපාට, කී‍්‍රම්පාට වැනි ලා පාට ඇඳුම් ඉතාම සුදුසුයි. මේවායින් උෂ්ණත්වය (හිරු එළිය) මැනවින් පරාවර්තනය වෙනවා. මතක තබාගත යුතු තවත් වැදගත්ම කාරණයක් තමයි කලින් දිනයේ මදක් හෝ පාවිච්චි කළ හෝ නොසේදූ ඇඳුම් කිසිවක් ව්‍යායාම කිරීමට හෝ ඇවිදීම සඳහා තෝරා ගන්න එපා. හිස්වැස්ම වුණත් එහෙමයි. සෙරෙප්පු, සැන්ඩ්ල්ස්, මඳක් හෝ අඩි උස සපත්තු, හම් සපත්තු මෙවන් අවස්ථාවක කිසිසේත්ම පළඳීන්න එපා. ඇවිදීමට ව්‍යායාම් වලට කී‍්‍රඩා කිරීමට පළඳීන පාවහන් යුගලක් මිලදී ගන්න. ඒ සඳහා විශාල මුදලක් වැය වන්‌නේ නෑ. වේගයෙන් ඇවිදීමේදී සැන්ඩ්ල්ස් වැනි පාවහන් වගේම අඩි උස සපත්තු පැළඳීමෙන් විවිධ හානි හා අනතුරු බහුලව අපට සිදුවිය හැකිය.

ඇවිදීම කළ යුත්තේ කොපමණ කාලයක්ද?

අවම වශයෙන් විනාඩි 30ක් වත් දිනකට ඇවිදින්න. එහි උපරිමය පැයක් නම් ඉතාමත් යහපත්. ඇවිදීමේ දුර ප්‍රමාණය අවම වශයෙන් කිලෝමීටර් 1ක් වත් විය යුතුයි. මෙහිදී සමහරු කරන දෙයක් තමයි කිලෝමීටරයක් ඇවිදගෙන ගොස් නැවත තමා ආරම්භ කළ තැනට පැමිණීමට මෝටර් බයිසිකලයක හෝ වාහනයක උපකාරය ලැබීම, මෙය ඉතා වැරදියි. ඔබ ඇවිදින දුර කිලෝමීටරයක් නම් කිලෝමීටර් භාගයක් ඇවිදගෙන ගොස් ඉතිරි කිලෝමීටර් භාගය ඇවිදීම ආරම්භ කළ ස්ථානයට ඇවිදගෙන පැමිණීමෙන් මෙම වරද නිවැරදි කර ගන්න පුළුවන්.

කාලයක් ගත වෙද්දී ටිකෙන් ටික ඇවිදින දුර දිනකට කිලෝමීටර් 3ක් පමණ දක්වා වර්ධනය කරගත හැකි නම් එය ඉතාමත් යහපත් තත්ත්වයක් බව කිව යුතුයි. මෙහිදී අතිශයින්ම ශරීරය වෙහෙසවීමත් නුසුදුසු බැවින් ඔබ දිනකට ඇවිදින දුර ප්‍රමාණය සෙමෙන් ඉවසීමෙන් මඳීන් මඳ වර්ධනය කර ගැනීම වඩාත් යෝග්‍යයි. ඇවිදින විට එකම වේගයෙන් ඇවිදින්න. ඇවිදීම යනු සාමාන්‍යයෙන් ඔබත් මාත් ඇවිදින වේගය නොවේ. සාමාන්‍යයෙන් ඇවිදින වේගයට වඩා 20%ක වැඩි වේගයකින් ඇවිදීම නියම ඇවිදීමයි.

ඇවිදීමේදී ආශ්වාස ප්‍රශ්වාස කළයුතු අන්දම හා පාද හැසිරවීම.

ඇවිදින විට කටින් හුස්ම ගැනීම කරන්න එපා. එය ඔබේ ව්‍යායාමයේ පූර්ණ ප්‍රතිඵල ඔබට අහිමි කරවන චර්යාවක්. ඇවිදින විට හොඳට නාස් විවර වලින් හුස්ම ගන්න. නාසයෙන් හුස්ම අරගෙන අවම වශයෙන් තත්පර 2 – 3 ක් පමණ කාලයක් වාතයෙන් පෙනහල්ල පුරවා තබාගෙන හුස්ම පිට කරන්න.

එය හදවතට විශාල සුවයකි. පාද හොඳීන් පොළොවේ ස්පර්ශ වන ආකාරයෙන් ඇවිදින්න. බිම බලාගෙන හෝ වටපිට බලමින් හෝ පසුපස හැරී බලමින් ඇවිදින්න එපා. ඉදිරිය කෙළින් බලා‌ගෙන ඇවිදින්න. කොන්ද කෙළින් තබාගෙන දෑත ඉණ තෙක් ඉහළට ගෙන වැළමිට නවා දෙඅත් ඉදිරියටත්, පසුපසටත් පැද්දෙන සේ ඇවිදින්න.

 

ඇවිදින්න පෙර මේ ගැනත් සිතන්න.

මුහුණ එල්ලාගෙන රවාගෙන, දත් ඇඳී තද කරගෙන, නිවසේ ඇති වූ පීඩාකාරී සිදුවීමක් ගැන සිතමින් ඇවිදින්න එපා. ඇස් වලට ඉදිරියෙන් පෙනෙන දේ විඳගෙන මඳ සිනහවකින් මුව සරසාගෙන නිදහස් මනසකින් ඇවිදින්න. ඇවිදීම ආරම්භ කිරීමට පෙර වතුර වීදුරුවක් පානය කරන්න. ඇවිදින අතරතුර ජලය පානය කරන්න එපා. ඇවිදීමේදී මතුවන දහඩිය පිස දැමීමට අවශ්‍ය නම් ඇඳුමේ පහසු තැනක පිරිසුදු කපු රෙදි කැබැල්ලක් තබාගන්න. ඇවිදින අතරතුර ජලය හෝ වෙනත් බීමක් පානය කරන්න එපා. එකම රිද්මයෙන් ඇවිදීම පවා ඉන් වෙනස් වෙනවා. අතරමැද දී ජලය පානය කිරීමෙන් දහඩිය පිටවීම තවත් අධික වෙනවා. එවිට තව තවත් ශරීරය විජලනයට පත් වෙනවා. එයින් සිදු වන්‌නේ විශාල හානියක්. ජලය පානය කළ යුත්තේ දවසේ නියමිත දුර ඇවිදීම නිමා වීමෙන් මද වේලාවකට පසුවයි. හිමිදිරියේම තමන් ඇවිදීමට තෝරා ගන්නා ප්‍රදේශය ඉතා හොඳීන් වාතාශ්‍රය ලැබෙන ස්ථානයක් වීමත් වැදගත්. ස්වාමියා, බිරිඳ, දරුවන් හා පවුලේ තවත් අය උදෑසන ඇවිදීමේදී සහභාගි කරවා ගන්න. ඇවිදීමෙන් පසු පවුලේ හැමෝම උදෑසනින්ම කොළ කැඳ වීදුරුවක් හෝ සීනි රහිත පලතුරු යුෂ වීදුරුවක් පානය කර උදේට සමබල ආහාර වේලකින් තෘප්තිමත් වී දවස අරඹන්න. එය මුළු පවුලේම සෞඛ්‍ය සම්පන්න බවට විශාල රුකුලක්.



subasetha

Comments