දූෂී විෂ නිසා ඇතිවන නා නා විධ රෝග

නොවැම්බර් 20, 2020

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය භාරතය මෙන්ම බොහෝ රටවල පැතිරයමින් ජාතික වෛද්‍ය ක්‍රමයක් බවට පත්ව ඒ ඒ ජාතීන්ගේ සෞඛ්‍ය පරමාර්ථයන් ඉටුකරමින් අතීතයේ මෙන්ම වර්තමානයේ ද පවතී. එසේ වූ ආයුර්වේදය අංග අටකින් යුක්තය. එනම් එහි එක් අංගයක් වූ අගද තන්ත්‍රය යනු විෂ පිළිබඳ උගන්වන ශාස්ත්‍රයකි. මෙම විෂය තුළ උද්භිද විෂ, සත්ව විෂ, රසායනික විෂ ගැන ඉගැන්වේ. මේවා නැවත ස්ථාවර විෂ (චලනය නොවන ද්‍රව්‍ය එනම් ශාක සහ පාර්ථිව ද්‍රව්‍යවල පවතින විෂ) ජංගම විෂ (චලනය හා සතුන්ගේ විෂ) සහ සංයෝගජ විෂ (නොයෙකුත් ද්‍රව්‍ය මිශ්‍ර වී පවත්නා විෂ) ලෙස තුන් ආකාර වේ. තවදුරටත් සැලකීමේදී මෙම සංයෝගජ විෂ ගරවිෂ හෙවත් සතුන්ගේ මල මුත්‍ර ආදී කොටස් උපයෝගී කරගෙන මිනිසුන් විසින් නිෂ්පාදනය කරනු ලබන විෂ සහ කෘත්‍රිම විෂ ලෙස එනම් ස්වභාවික නොවන වෙනත් ද්‍රව්‍ය එක්කර නිෂ්පාදනය කරනු ලබන විෂ ලෙස කොටස් දෙකක් වේ. මෙම දූෂී විෂ යනු ස්ථාවර, ජංගම හෝ කෘත්‍රිම විෂ වර්ගයක් ශරීර ගත වී ශරීරයෙන් බැහැර නොවී ඉතිරිවීමෙන් ද විෂ නසන ඖෂධයන්ගෙන් දුර්වල බවට පත්වීමෙන් ද නැතහොත් සූර්ය තාපය වාතය වැනි ස්වභාවික හේතුවලින් විෂ හීනවීමෙන් ද පසුව දූෂී විෂ හට ගනී. මේවා ශරීර ධාතූන් දූෂණය කරන හෙයින් දූෂී විෂ නමින් හැඳින්වේ.

 

පොදුවේ දූෂී විෂ ශරීරගත වූ විට මිනිසාගේ බලය බිඳෙයි. අඟපසඟ විවර්ණ වෙති. ශරීරයේ දුගඳ බව, පිපාසය, මුසපත් බව, වමනය, ගොත බව, අප්‍රාණික බව යන රෝග ලක්ෂණ ඇති වන බව ආයුර්වේද වෛද්‍ය ග්‍රන්ථවල සඳහන් වේ.

වර්තමාන සමාජය දෙස බලන විට මෙම දූෂී විෂ විවිධාකාර ක්‍රම මඟින් ශරීරගත වී කාලයක් තිස්සේ සංචිත වීමෙන් නොයෙකුත් රෝගවලට මිනිසා ගොදුරු කර ගැනීමට සමත් වී ඇත. මේ සඳහා නූතන මිනිස් ජීවන රටාව ද ප්‍රධාන වශයෙන් බලපා ඇත. මෙම දූෂිත විෂ ආහාරවලට එකතු කරන ද්‍රව්‍ය ලෙස, කල්ගත වූ සකස් කළ ආහාර වර්ග ගැනීමෙන්, භාණ්ඩ පරිහරණයේදී කෘමිනාශක ලෙස මෙන්ම විවිධ ඖෂධ දීර්ඝ කාලයක් භාවිත කිරීමෙන්ද චක්‍රාකාරයෙන් ශරීරගත වේ.

ආහාර වලට එකතු කරන ද්‍රව්‍ය ලෙස සත්ව ගොවිපළවලවලදී කුකුළන්, ගවයන්, ඌරන් යන සතුන්ට දෙන ආහාරවල ස්ථායි මාරාන්තික විෂ වර්ග අඩංගු වන බව සොයා ගෙන ඇත. මෙවැනි ද්‍රව්‍ය බිඳ නොවැටීම හේතු කොටගෙන ආහාර දාමයක එක් පුරුකක සිට අනෙක් පුරුකට මේවා සම්පූර්ණ වශයෙන් ගමන් ගනී. ඉහළ පෝෂී මට්ටමක සතුන් පහළ පෝෂී මට්ටමක සාමාජිකයන් එකකට වඩා වැඩි සංඛ්‍යාවක් මත යැපීම හේතු කොටගෙන ඉහළ පෝෂී මට්ටම් වලදී මෙම රසායනික ද්‍රව්‍යවල සාන්ද්‍රණය වැඩිවේ. එනම් සතුන්ගේ ආහාරයට එක්වන මෙම විෂ ද්‍රව්‍ය සත්ත්ව නිෂ්පාදන ආහාරයට ගන්නා විට .තවත් වැඩි සාන්ද්‍රණයකින් අපගේ සිරුරට ඇතුළු වනු ඇත.

උදාහරණ ලෙස ඉහත සඳහන් කළ සතුන්ට දෙන සත්ව ආහාරවල බහු ක්ලෝරිනිකෘත ද්වි පෙනිල (PCB -poly chlorinated Bipenils) සහ පිළිකාකාරක ඩයොක්සින් අඩංගු වන බව සොයාගෙන ඇත. මේවා මිනිසෙකුට දෛනිකව ගත හැකි අනතුරුදායක නොවන මට්ටම පිකෝග්‍රෑම් 1 ක් වුවද මෙම දූෂිත ආහාර නිෂ්පාදන පරිභෝජනය කළ අයෙකු තුළ එම මට්ටම හතළිස් ගුණයකින් පමණ වැඩි වීමේ අවදානම් තත්ත්වයක් උද්ගතව ඇත. PCB සහ ඩයොක්සින් යන දෙවර්ගයම අද ලොව බොහෝ කලක් නොනැසී පවතින මාරාන්තික විෂ රසායනික වර්ග වලට අයත් වේ. මෙම රසායනික ද්‍රව්‍යවල දක්නට ලැබෙන ස්ථායි බව සහ පරිසරය තුළ දිගු කලක් නොනැසී පැවතීමේ හැකියාව යන ලක්ෂණ ඒවායේ විනාශකාරි ස්වභාවය තවදුරටත් තීව්‍ර කිරීමට හේතු වේ. ඩයොක්සින් යනු මේදයේ දියවන සංයෝගයකි. එමෙන්ම එම සංකීර්ණ අණු සිරුරට උරාගත හැකි ආකාරයේ සරල අණු බවට බිඳ හෙළීම සඳහා වසර 7ක් වැනි දිගු කාලයක් ගත වේ. තවද ඩයොක්සින් ශරීරයෙන් බැහැර කළ හැක්කේ දරු ප්‍රසූතියේදී ඉවත්වන වැදෑමහ හෝ මව්කිරි හරහා පමණි. එම නිසා මෙම විෂ ද්‍රව්‍ය කෙළින්ම ළදරුවන්ගේ සිරුරු තුළට ඇතුළු වේ. එමඟින් ළදරුවන්ගේ සිරුරෙහි පවතින තයිරොක්සින් හෝමෝනය අඩපණ කිරීමට සමත් වේ. තයිරොක්සින් හෝමෝනය අඩුවීම හේතුකොටගෙන මානසික වශයෙන් පසුබට වීම ඇති දරුවන් බිහි විය හැක. PCB බහුක්ලෝරිනිකෘත ද්වි පෙනිල මගින් සම .තුවාලවීම ,අක්මාරෝග ආදිය හට ගනී. තවද මේවා දිගුකාලීනව ඉහළ මට්ටමක පවතින කාන්තාවන්ට පසුකාලීනව මානසික ආබාධ ඇතිවීම සහ ඉගෙනීමේ අපහසුතාවලින් පෙළෙන ළමයින් ඉපදීමේ ඇති ඉඩකඩ වැඩිය. PCB මට්ටම වැඩිහිටියන්ට බලපාන්නේ වෙනත් ආකාරයටය. එනම් ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හා ප්‍රජනන පද්ධතියට බලපෑම් ඇති කරයි.

PCB මට්ටම ඉහළයාම නිසා අක්මාවේ, පිත්තාශයේ සහ වසා පද්ධතියේ පිළිකා ඇතිවීමට පුළුවන.

තවද ආහාර රසකාරක හා වර්ණකාරක එකතු කරන ලද ආහාර භාවිතය සීඝ්‍රයෙන් වැඩිවී ඇත. මෙම රසකාරක හා වර්ණකාරක එක්කිරීමේදී ඒවාට අදාළ නියමිත ප්‍රමාණයක් හා භාවිතයේදී සීමා සඳහන් කර ඇත. එම සීමා ඉක්මවා යාමෙන් ඒවා එකතු කරනු ලබන ආහාර විෂවීමට පුළුවන. එමඟින් නොයෙකුත් ආකාරයේ පිළිකා සමේ රෝග ආදිය ඇතිවීමට පුළුවන.

වර්තමානයේ ජානමය වශයෙන් වැඩිදියුණු කළ ආහාර (Genetically modified) නිෂ්පාදනය ආරම්භ වී ඇත. විශේෂයෙන් සෝයා වලින් සකස් කළ ආහාර , බඩඉරිඟු වැනි ධාන්‍ය මගින් සකස් කළ ආහාර, තක්කාලි ඇසුරින් නිෂ්පාදනය කළ ආහාර ඊට උදාහරණ වශයෙන් සැපයිය හැක. ජානමය වශයෙන් වැඩිදියුණු කළ ආහාර සෞඛ්‍යයට අහිතකර බව දැන් ලොව පුරා ඇති මතයකි. මන්ද එමගින් විවිධ ආකාරයේ පිළිකා ආදිය ඇති වීමට හැකි නිසාය.

තවද ආසනික මිශ්‍ර ජලය පානය කිරීම නිසා විවිධ රෝග තත්ත්වයන් ඇති වන බව දැන් සොයා ගෙන ඇත. මෙම ආසනික් පානීය ජලය හා මුසුවීමට මිනිසාගේම යම් යම්් ක්‍රියකාරකම් බලපා ඇත. ආසනික් බොහෝදුරට හමුවනුයේ යකඩ හයිඩ්‍රොක්සයිඩ් නම් සංයෝගය හා බැදීය. මෙම සංයෝග පොළොවෙන් මීටර හතළිහක් පමණ වූ නොගැඹුරු ප්‍රදේශවල හමුවේ. මිනිසාගේ පරිසර විරෝධී ක්‍රියාමගින් වාතයේ ඇති ඔක්සිජන් වැඩි ප්‍රමාණයක් ජලයේ දියවීමට ලක් වේ. පොළොව තුළට ගලායන මෙම ඔක්සිජනීකෘත ජලය මගින් යකඩ හයිඩ්‍රොක්සයිඩ් යකඩ සහ ආසනික් බවට පරිවර්තනය කරයි. එමගින් පහසුවෙන් පානීය ජලය හා ආසනික් මිශ්‍ර විය හැක. මෙම ආසනික් මිශ්‍ර ජලය පානය කිරීම නිසා සම පුරා කැළැල් ඇතිවීමේ සිට පෙනහළු ආසාදන, චර්ම පිළිකා හා අක්මා ප්‍රධාන වැනි දරුණු තත්ත්වයන් දක්වා පුළුල් පරාසයක විහිදුණු රෝග ලක්ෂණ ඇතිවීමට පුළුවන.

භාණ්ඩ පරිහරණයේදී මෙම දූෂී විෂ වර්ග ශරීරගත වන ආකාරය පිළිබඳ සැලකීමේදී වර්තමානයේ ප්ලාස්ටික් ඉතා තදින් මිනිස් ජීවිත හා බැඳී පවතී. අද වෙළඳපොළේ ඇති ආහාර අසුරණ වලින් වැඩි කොටසක්ම නිම වී ඇත්තේ ප්ලාස්ටික් එසේත් නැතිනම් පොලිතින් වලිනි. මෙයින් සමහරක් පොලිතින් තවත් සමහරක් පොලි වයිනයිල් ක්ලෝරයිඩ් හෙවත් පී.වී.සී. නම් ප්ලාස්ටික් වර්ගයෙන් නිමවා ඇත. මෙම පී.වී.සී. ප්ලාස්ටික් වර්ගය ආහාර හා ඖෂධවලට සම්බන්ධ කර ගැනීම සෞඛ්‍යයට එතරම් හිතකර නැත. මන්ද පී.වී.සී. ප්ලාස්ටික් වර්ගයට එක් කරන මෘදු කාරකයක් වන තැලේට් නම් රසායනික වර්ගයයි. මෙම තැලේට් පහසුවෙන් ප්ලාස්ටික් වර්ගයෙන් ඉවත්වී ඇසුරුමේ අඩංගු ආහාර වර්ගයට එක්වීමේ අවදානමක් පවතින බව සොයාගෙන ඇත. මෙම තැලේට් මගින් අක්මාව, හෘදය,වකුගඩු හා වෘෂණවලට හානිකර බව සොයා ගෙන ඇත. තවද කුඩා දරුවන්ගේ ක්‍රීඩා භාණ්ඩ සාදන සමහර ප්ලාස්ටික් වර්ගවල ඇඩිපේට් නම් රසායනික වර්ගය අඩංගු වන බව සොයා ගෙන ඇත. මෙම ක්‍රීඩා භාණ්ඩ නිතරම කුඩා දරුවන් තම මුව තුළ රඳවා ගැනීමට පෙලඹෙන නිසා එමගින් ඔවුන්ට නොයෙකුත් රෝග ඇතිවන බව සොයාගෙන ඇත.

තවද අද සමාජයේ සෙවිලි තහඩු ලෙස භාවිත කරන ඇස්බැස්ටෝස් ඉතා දරුණු රෝගාබාධ රැසකට මුල්වන බව සොයාගෙන ඇත. සාමාන්‍ය ඇස්බැස්ටෝස් විද්‍යාත්මකව හඳුන්වන්නේ ක්‍රිසොටයිල් ඇස්බැස්ටොස් නමිනි. මෙය ඛනිජයකි. එහි අඩංගු මූලද්‍රව්‍ය වන්නේ ඔක්සිජන්, හයිඩ්‍රජන් ,මැග්නීසියම් හා සිලිකායි. මෙහි අඩංගු මැග්නීසියම් මගින් ඇස්බැස්ටෝස් වලට ආවේණික කෙඳිති ව්‍යුහය ලැබී ඇත. මෙම ඇස්බැස්ටෝස් කෙඳි ආශ්වාස කළ විට ඒවා මගින් පෙනහලු වල ඇති ඇදෙන සුළු ගතිය (පුඵ්‍යාස්ථ බව) අඩු කරයි. මෙවිට ඇතිවන රෝග තත්ත්වය හඳුන්වනු ලබන්නේ ඇස්බැස්ටෝසියා නමිනි. මෙහිදී හෘදයට හානි සිදු විය හැකිතාක් මෙන්ම පෙනහලුවලට ද පිළිකා ඇති කරයි.

එමෙන්ම වයසට වඩා තරුණ පෙනුමක් ළඟා කර ගැනීම සඳහාත් විලාසිතාවක් වශයෙනුත් විවිධ ඩයි වර්ග භාවිත කර තිබේ. කෙස් පාට කර ගැනීම අද සමාජය තුළ ජනපි‍්‍රය වී ඇත. සෛල හිසකෙස් වර්ණ ගැන්වීම සඳහා ස්ථිර ඩයිවර්ග භාවිත කිරීම නිසා මුත්‍රාශයේ පිළිකාවලට ගොදුරුවන බව සොයාගෙන ඇත. එමෙන්ම එවැනි ඩයි වර්ග නිරතුරුවම අතපත ගාන කොණ්ඩා මොස්තර ශිල්පීන් සහ කරණවෑමියන් වැනි පුද්ගලයින් මුත්‍රාශ පිළිකාවලට ගොදුරුවීමේ අවදානම සාමාන්‍ය පුද්ගලයින්ට වඩා පස් ගුණයකින් පමණ ඉහළ බව සොයා ගෙන ඇත.

තවද පළිබෝධනාශක කොටස් තුනකි. එනම් වල් පැළෑටි නාශක, කෘමිනාශක සහ දිලීර නාශක වේ. කෘෂි රසායන නමින් පළිබෝධනාශක සහ පොහොර වර්ග භාවිතා කෙරේ. මේවා නිසා මරණවලට වැඩි වශයෙන් හේතු වී ඇත්තේ ඔගැනෝ පොස්ෆේට් හා කාබනේට් යන කෘෂි රසායන ශරීර ගත වීමෙන් බව සොයා ගෙන ඇත. එයට හේතුව වී ඇත්තේ කෘෂි රසායන ඇතුළු එදිනෙදා භාවිතා කරන විෂ ද්‍රව්‍ය සාමාන්‍ය ද්‍රව්‍ය ලෙස භාවිතා කිරීමට යාම බව ද සොයාගෙන ඇත. කාෂිකර්මය වැඩිපුර කරන ප්‍රදේශවල මෙම විෂවීම අධිකය. එමෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ කෘමිනාශක ඉසින පුද්ගලයන් තුළ මේවා සංචිත වී පවතී. උදාහරණ ලෙස වල්පැළෑටි නාශක ලෙස භාවිත කරන ග්‍රැමොක්සෝන් නිසා පෙනහලුවල පටක ඝනවීම්, මුත්‍රාරෝග ආදිය ඇතිවේ. ඕගැනෝ පොස්ෆේට් කෘමිනාශකය කෙළින්ම ස්නායු පද්ධතියේ රෝගවලට හේතු වේ. එනම් කල්පනාව අඩුවීම, වැඩ කිරීම දුර්වල වීම, සිහිය නැතිවීම ආදිය ඇති වේ. එමෙන්ම ඕගැනෝ, ක්ලෝරීන් යටතේ ගැනෙන ච්.ච්.3 ආදිය නිසා ස්වසන පද්ධතියේ රෝග පේෂි දුර්වලතාවය, හිසරදය, ගැස්ම ආදිය ඇති වේ.

මේ ආකාරයට, දූෂී විෂ ශරීර ගතවීමෙන් විවිධාකාරයේ රෝග ඇති වේ. මෙම දූෂී විෂ නිසා හටගන්නා රෝග සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ ප්‍රතිකාර ඇත. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ දූෂී විෂ නසාලන ඖෂධවලින් වමන, විරේචන කර්ම මගින් ශරීරය ශෝධනය කළ යුතු බව සඳහන් වේ.

මේ ආකාරයට ඖෂධවලින් දූෂිත විෂ නිසා හටගන්නා රෝගවලට ප්‍රතිකාර කළත් වර්තමාන සමාජ ක්‍රමය, ජීවන රටාව, කාර්මීකරණය ආදි බොහෝ කරුණුූ මෙම රෝගවල පැවැත්මට හේතු සාධක වේ.



subasetha

Comments