සිතට කයට වදදෙන රුධිරයේ මේද ප්‍රමාණය හෙවත් කොලෙස්ටරෝල් වැඩිවීම

සැප්තැම්බර් 25, 2020

ආයුර්වේද මේදෝ රෝග ලෙස හඳුන්වන වර්තමානයේ බෝ නොවන රෝග කාණ්ඩයට අයත් අධික ස්ථූලතාව, රුධිරයේ මේද ප්‍රමාණය හෙවත් කොලෙස්ටරෝල් වැඩිවීම මේ සමඟ ගළපා ගත හැකිය. මෙහිදී රුධිරයේ මේද ප්‍රමාණය වැඩිවීම මේදෝ දෝෂ ලෙස දක්වා ඇත.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව මේදෝ රෝග කොටස් 2කට බෙදා දැක්විය හැකි අතර එමගින් මේදෝ ධාතුව වෘද්ධි විීම නිසා ශරීරයේ බර වැඩි වීම නිසා අතිස්ථෞල්‍ය සහ රුධිරයේ මේද ප්‍රමාණය වැඩිවීම නිසා මේදෝ දෝෂ ඇති වේ. මේදෝ දෝෂවලදී රුධිර නාල තුළ පවතින රුධිරයේ මේද ප්‍රමාණය වැඩිවීම සහ ඒවා තුළ මේදය තැන්පත්වීම සිඳුවේ. නව්‍ය මතයට අනුව විශේෂයෙන් හෘදය,මොළය ආශ්‍රිත කුඩා රුධිර කේශනාලිකා තුළ මේදය තැන්පත්වීමෙන් ඒවායේ අවහිරතාවයක් හටගනී. එනම් එම නාල තුළ ඇතුළත කුහරය පටුවීම නිසා රුධිර කැටිති එය තුළ සිරවීම හෝ නාල තුළ පීඩනය වැඩි වී පුපුරා යාම සිදුවිය හැකිය.

ලෝකයේ මිලියන 17.7 ක් පමණ රුධිර නාල අවහිර වීම නිසා ඇතිවන රෝග නිසා මිය යන අතර එය ලෝකයේ මුළු මරණ ප්‍රතිශතය හා සැසඳීමේදී 31%ක් වේ. එයිනුත් මිලියන 7.4 ක් මිය යන්නේ හෘදයේ කුඩා කේශනාලිකාවල මේද තැන්පත් වීම සහ මිලියන 6.4 මිය යන්නේ මොළයේ කුඩා කේශනාලිකාවල මේද තැන්පත් වීමෙන් ඇතිවන ආබාධ නිසාය. මෙම රෝග අවස්ථා සඳහා නව්‍ය මතයට අනුව එක් ප්‍රධාන අහිතකර සාධකයන් වී ඇත්තේ රුධිරයේ මේද ප්‍රමාණ වැඩිවීමයි.

ශ්‍රී ලංකාව තුළ 2018 වර්ෂයේ වැඩිම රෝහල් මරණ සංඛ්‍යාවකට හේතු වී ඇත්තේ හෘදය හා සම්බන්ධ රුධිර කේශනාලිකා තුළ පවතින අවහිරතා නිසා ප්‍රධාන ඉන්‍ද්‍රියන්වලට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම නිසාය. මෙය මුළු මරණ ප්‍රතිශතයෙන් 15%ක් වේ. එය 1995 වසරේ සිට පළමු පෙළේ සිට මෙම තත්ත්වය වර්ධනය වී ඇත. එබැවින් රුධිරයේ මේද ප්‍රමාණය පාලනය සඳහා ඉතාමත් ප්‍රතිඵලදායක ආයුර්වේද ඖෂධ කරා යොමු වීම අත්‍යාවශ්‍ය බව හැඟී යයි.

දැනට අවුරුදු 5000ට පෙර සිට පැවත එන ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පදනම් කර ඇති සාහිත්‍ය ග්‍රන්ථ අතර චරක සංහිතාව, මාධව නිධානය, අෂ්ඨාන හෘදය, භෛසජ්‍ය රත්නාවලිය,චක්‍රදත්ත වැනි ග්‍රන්ථවල මෙම රෝග තත්ත්වය මැනවින් විස්තර කොට ප්‍රතිකාර ද දක්වා ඇත.

ඒ අනුව මෙම රෝග තත්වයට හේතු ලෙස ව්‍යායාම නොකිරීම, දහවල නිදාගැනීම, කඵ දෝෂය වඩවන ආහාර (මධුර රස) නිතර ගැනීම බොහෝ විට ස්නිග්ධ ගුණ ආහාර නිසා මේදය වර්ධනය වන බවත්ය. එමෙන්ම චරක ආචාර්යවරයාට අනුව මෙය බීජ දෝෂ නිසා පරම්පරාගතව ඇති විය හැකි බවක් දක්වා ඇත. මෙම වෘද්ධි වූ මේදස් ධාතුව මඟින් ඇතිවන මාර්ග අවහිරතාවයන් නිසා අනිකුත් ධාතූන් පෝෂණය නොවේ. එම නිසා මේද ධාතුව තවදුරටත් එක් රැස් වේ. එම නිසා තරබාරුව මෙන්ම රුධිර වාහිනී තුළ ද මෙම මේද කොටස් තැන්පත්වීම නිසා පුද්ගලයා සෑම වැඩකදීම අසමත් වේ.

මේ නිසා කුඩා හතිය හෙවත් සුළු වෙහෙසකදී පවා ඇතිවන හුස්ම ගැනීමේ අපහසුතාවය, පිපාසය, මුළාවට පත්වීම, නිදිමත මෙන්ම හේතුවක් නැතිව එකවර හුස්ම ගැනීමේ අපහසුතාවය, අත් පා පණ නැතිවීම ඇති වේ. තවද බඩගිනි වැඩිවීම, දහඩිය ඉතාමත් දුර්ගන්ධයෙන් යුක්ත වීම මෙන්ම මෛථූන ශක්තිය අවම වීම නිසා අවසානයේ අල්ප ආයුෂ ඇත්තෙක් ද වේ.

මෙම හේතූන් මේදෝ ධාතුව සිරුරේ උදරය කුඩා ඇටවල ද තැන්පත් වී ඇත. එමගින් උදරය මහත් බව ඇති වේ.

මෙහිදී මේදය විසින් අවුරණ ලද්දා වූ මාර්ග ඇති හෙයින් වාත දෝෂය කෝපයට පත් වී උදරය තුළ කුසගින්න වැඩිපුර දල්වයි. එමනිසා කන දෙය ඉක්මණින් ජීර්ණයට පත් වී නැවත කුසගිනි ඇති කරයි. එවිට පුද්ගලයා නවැත නැවත ආහාර ගැනීමට පුරුදු වෙයි. මෙම තත්ත්වය රෝග ගණනාවකට හේතු වේ.උදා:- දියවැඩියාව, මෙම තත්ත්වය වනයේ හටගත් ලැව්ගින්න සුළඟ මගින් එය තව තවත් වර්ධනය කරන්නාක් මෙන් කුපිත වූ වාතය මඟින් පුද්ගලයා තවදුරටත් රෝගීභාවයට පත් කරයි. මේ නිසා තට්ටම්, උදරය, ස්ථන ග්‍රන්ථි ප්‍රමාණය ඉක්මවා වැඩීගොස් එල්ලා වැටෙන තත්ත්වයට පත් වේ.

මෙම රෝගය වළක්වා ගැනීමට ආහාර විහරණ සහ ඖෂධ යන තුන් ආකාරය ගැන අවධානය යොමු කළ යුතුය. විහරණ පිළිබඳ සැලකීමේදී ව්‍යායාම කිරීම, උදා:-යෝග ව්‍යායාම ලෙස පවන මුත්තාසනය, සූර්ය නමස්කාරය, උත්ථාන පාදාසන,අනුලෝම විලෝම ප්‍රාණායාම දැක්විය හැක.

නවීන පර්යේෂණවලට අනුව මානසික ආතතිය, රුධිරයේ මේද ප්‍රමාණය වැඩිවීමට බලපාන බව සොයාගෙන ඇත. මානසික ආතතිය පවතින විට මොළය මඟින් යම් යම් හෝමෝන වර්ග නිපදවීම නිසා රුධිරයේ සීනි ප්‍රමාණය වැඩි වී අවසානයේ රුධිරගත මේදය බවට පරිවර්තනය වී රුධිර නාල මත තැන්පත් වන බව සොයාගෙන ඇත. එබැවින් මානසික ආතතිය අඩු වූ විට රුධිරයේ තැන්පත් වන මේද ප්‍රමාණය අඩුවේ. එම තත්ත්වය මගහැරීමට මානසික ආතතිය අඩුවන යෝග දර්ශන තුළ ප්‍රාණායාම හා යෝග ආසන කර ඇත. උදාහරණ ලෙස භ්‍රාමරී ප්‍රාණායාම, අනුලෝම විලෝම ප්‍රාණායාම, ශවාසනය දැක්විය හැක.

වර්තමානයේ මනුෂ්‍යයා කෙමෙන් කෙමෙන් තම දෛනික ක්‍රියාකාරකම් පහසුව සොයා හැකි මෙවලම් එනම් විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික් උපකරණ භාවිතයට පුරුදු වී ඇත. මේ නිසා ස්වභාවික ව්‍යායාම අඩු වන අතර ශරීරයෙන් පිටවන කැලරි ප්‍රමාණය අඩු වී තැන්පත් වන ප්‍රමාණය වැඩි වී ඇත. එබැවින් වෛද්‍ය උපදෙස් මත දෛනිකව ව්‍යායාම සඳහා යොමු විය යුතුය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 



subasetha

Comments