සොඳුරු මුහුණ අඳුරු කරන කුරුලෑ කැළැල්

සැප්තැම්බර් 4, 2020

යෞවන යෞවනියන් වර්තමානයේ බොහෝ මානසික පීඩාවකට පත්ව ඇති රෝගී තත්ත්වයක් වන්නේ කුරුලෑ රෝගයයි. වර්තමානයේ පවතින කාර්ය බහුලත්වය නිසාම මෙම රෝගී තත්ත්වය පිළිබඳ සැලකිල්ලක් දැක්වීමටවත් ඔවුනට කාලයක් නොමැති තරම්ය.

 එමෙන්ම අද පවතින විවිධ ආලේපන වර්ග හා රූපලාවන්‍ය ක්‍රම අපගේ තරුණ පරපුර කුරුලෑ රෝගය තුළ අතරමං කරමින් පවතී. කුරුලෑ සඳහා වයස් භේදයක් නොමැත. බාල, මහලු, තරුණ, මැදි වියේ

කාට වුවද කුරුලෑ ඇති විය හැකි වුවද තරුණ පරපුර කුරුලෑ රෝගයට වැඩි වශයෙන් මුහුණ දෙමින් සිටී.

ආයුර්වේදයේ ‘ක්ෂුද්‍ර’ නම් රෝග කාණ්ඩයට අයත් වන කුරුලෑ රෝගය බොහෝ විට යෞවන යෞවනියන් අතර ඇතිවන බැවින් යෞවන පිඩකා තරුණ පිඩකා ලෙස ද හඳුන්වයි. මෙම රෝගය මුහුණ අවලස්සන කරන හෙයින් මුඛ දුශිකා නමින් ද ආයුර්වේදයේ හඳුන්වයි. සුශ්‍රැත ආචාර්යවරයා දක්වා ඇති ආකාරයට වා, පිත්, සෙම් වූ ත්‍රි දෝෂය කිපීම හා ලේ දූෂණයෙන් මුහුණේ ඇති වන ඉඹුල් කටු හා සමාන වේදනාවක් සහිත තෙල්වලින් පිරි බිබිලි විශේෂයක් වශයෙන් කුරුලෑ හඳුන්වයි. ත්‍රි දෝෂ කෝප කරන ආහාර විහරණ විවිධ මානසික තත්ත්ව කුරුලෑ සඳහා හේතු වන බව ආයුර්වේදයේ සඳහන් ව ඇත.

දරුවන් වැඩිවිය පත් වීමත් සමඟ වයස අවුරුදු 13-16 අතර පසුවන කාලය තුළ සිරුරේ ලිංගික හෝමෝන රැසක් ශ්‍රාවය වෙමින් ශරීරය ලිංගික පරිණත භාවයට පත් කිරීමේ ක්‍රියාවලියට භාජනය වීමත් සමඟම ස්වේද ග්‍රන්ථි මගින් අධිකව ස්වේදය (තෙල්) ස්‍රාවය ඉහළ නැංවෙන අතර එහිදී සිදුවන බැක්ටීරියා ආසාදනයන් මගින් කුරුලෑ ඇතිවේ. මුහුණට අමතරව බෙල්ල පිට තට්ටම් ආශ්‍රිත කුරුලෑ දක්නට ලැබෙන අතර, ඒ සඳහා බලපාන හේතු සාධක රැසකි.

කුරුලෑ සඳහා බලපාන හේතු සාධක ආහාර

තරුණ පරපුර අද වැඩි වශයෙන් අනුභව කරන කෘත්‍රිම හා ක්ෂණික ආහාර වර්ග

තෙල් /මේද අධික ආහාර, සීනි අධික ආහාර, උෂ්ණ අධික ආහාර වර්ග වැඩි වශයෙන්

පරිභෝජනය නිසා මේදය අධිකව ශරීරයේ තැන්පත් වීම හේතුවෙන් ත්‍රිදෝෂ කෝපය හේතුවෙනුත් කුරුලෑ ඇතිවේ.

මානසික හේතු

යෞවනත්වයට පත් වීමත් සමඟ හෝමෝන ක්‍රියාකාරීත්වයේ සිදුවන මානසික ව්‍යාකූල

තත්ත්ව මෙන්ම තරුණ පරපුරේ පවතින අධ්‍යාපනික රැකියා කටයුතු සම්බන්ධ පවතින

කාර්ය බහුලත්වය හේතුවෙන් ඇතිවන මානසික ආතතිය, පීඩනය, අධික තරහව ආදී කරුණු ද බලපානු ඇත.

කායික සෞඛ්‍ය තත්ත්වය හිස්හොරි පැවතීම,  අපිරිසිදු බව හේතුවෙන් මුහුණේ දූවිලි දහදිය බැ¼දී පැවතීම මෙන්ම කේශ කුහරයන් ගේ මුඛ ආවරණය වීම, මලපහ නිසි ලෙස පිට නොවීම මෙන්ම ජානමය හේතු ද ඔසප් වීමේ අක්‍රමිකතා ද මීට බලපානු ඇත’

පාරිසරික හේතු

කාලගුණික දේශගුණික විපර්යාස

අවට ජීවත්ව පරිසරයේ නිවසේ බල්ලන්, බළලුන් කුරුල්ලන් වැනි සතුන් ඇතිකිරීම, අධික දූවිලි හා හිරු රශ්මියට නිරාවරණය වීම. ඉහත විවිධ හේතු කුරුලෑ රෝගය ඇතිවීම සඳහා බලපානු ඇත. මේ සඳහා බාහිර ප්‍රතිකාර ප්‍රමාණවත් නොවන අතර, කුරුලෑ සඳහා ආයුර්වේදයේ ඉතා ක්‍රමානුකූලව අභ්‍යන්තර හා බාහිර ප්‍රතිකාර ක්‍රම රැසක් නිර්දේශ කර ඇත. බොහෝ දෙනා තම සිත් පරිදි නිවසේ දී කුරුලෑ සඳහා දේශීය ආයුර්වේද බාහිර ප්‍රතිකාර ක්‍රම අනුගමනය කළ ද ඔබට එයින් සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගත නොහැකි වන්නට ඇත. මීට හේතුව ඔබට සාර්ථක අභ්‍යන්තර ප්‍රතිකාර සිදු වී නොතිබීම ය.

 මූලිකව වශයෙන් ම දූෂිත වූ ත්‍රි දෝෂය පිරිසිදු කර රක්ත ශෝධනය සිදුකර ශරීර දෝෂ සමතාවයට පත් කර ගත යුතුය. ඒ සඳහා, වමන කර්ම නස්‍ය කර්ම රක්ත මෝක්ෂණ වැනි පංචකර්ම ක්‍රම යොදා ගනී. තවද රක්ත ශෝධක, කසාය, ගුලි, කල්ක, චූර්ණ වර්ග මේ සඳහා ආයුර්වේදයේ නිර්දේශ කර ඇත.

මෙම ප්‍රතිකාර ක්‍රම සිදු කිරීමට ප්‍රථම ඔබ සුදුසු පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරයකු හමුවී

ඔබගේ සමේ ස්වභාවය, පීඩක ස්වභාවය දූෂිත දෝෂ හා දෝෂයන් මෙන්ම පවතින අනෙකුත් රෝගී තත්ත්ව හා ඔබ භාවිතා කළ හා කරන විවිධ ආලේපන හා ඖෂධ පිළිබඳ නිවැරදි පරීක්ෂාවකට භාජනය විය යුතුය. ඊට පසු වෛද්‍යවරයා ගේ මඟ පෙන්වීම යටතේ අවශ්‍ය අභ්‍යන්තර හා බාහිර ප්‍රතිකාර සිදු කළ යුතුය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 



subasetha

Comments