හදවත් රෝග

සැප්තැම්බර් 4, 2020

හෘද රෝගයන්ගෙන් ආරක්ෂා වී සිටීමට නම් මා ඉහත පවසා ඇති සෑම කාරණාවකම, මැඳුම් පිළිවෙළ අනුගමනය කිරීමත්, විශේෂයෙන්ම කෑමෙන් බීමෙන් ආරක්ෂාවීමටත් අප වග බලා ගත යුතුය. 

පහර වැදීමක් ආදී ක්ෂණික ක්‍රියාවන් මඟින් එකෙනෙහිම මරණය ගෙන දෙන ස්ථානයන් වන ත්‍රිමර්ම අතුරින් ප්‍රධානම තැන හිමිවන්නේ මේ අපේ හෘදය වස්තුවටයි .

හෘද රෝග කියා අප කථා කරන විට මොනවාද මේ හෘද රෝග, කෙසේද අපේ හෘදය රෝගී වී ඇති බව අප දැන ගන්නේ යන්න සොයා බැලිය යුතුය. මුලින් අපේ හෘදය වස්තුව ගැන කියනවා නම් එය කේතු හැඩාකාර විශේෂිත වූ පේශිවලින් සෑදුණු කුහරමය අවයවයකි. 

මෙය නිරන්තරයෙන්ම ක්‍රියා කරන අවයවයක් නිසා මෙහි එම ආවේණික හෘද්ක්‍රියාවට බාධා කරන මොනයම් හෝ රෝගී  තත්ත්වයක් ඇතිවේ නම් එය අපි හෘද රෝගයක් යැයි සලකනු ලබනවා. 

මුලින්ම තමාට ඇත්තේ හෘද රෝගයක් මැයි කියා තීරණය කිරීමට ප්‍රථම ඉතා සූක්ෂම ලෙස රෝග තත්ත්වයන් පිළිබඳ සොයා බලා විනිශ්චයකට එළඹිය යුතුය. මොකද උදාහරණයක් ලෙස නූතන සමාජයේ බහුලව පවතින අම්ලපිත්තය හෙවත් ගැස්ට්‍රයිටිස් රෝගී අවස්ථාවත් සමඟ එක හා සමාන රෝග ලක්ෂණ බොහෝවිට පවතින හෙයින් එම රෝගියාව වෛද්‍යවරයෙකු හෝ ඊට අදාළ පරීක්ෂණ ක්‍රම මාර්ගයෙන් ඔබට එය නිරාකරණය කරගත හැකි වනු ඇත. දැන් අපි බලමු හෘද රෝග ලක්ෂණ මොනවාද කියා. 

පපුව හිරවීම, හුස්ම ගැනීමේදී අපහසුව, නිතර පවතින හති ගතිය, සුළු වැඩකින් පවා අධික වෙහෙසක් ගතට දැනීම, හෘදයට ලී උලකින් අනින්නාක් වන් වේදනාවක් දැනීම, ගුලියක් මෙන් පපුවේ ඉදිරිපස සිට පසුපසට යන්නා සේ වේදනාවක් දැනීම, පපුවේ අධික වේදනාවත් සමඟ හීනියට හිසට, ගතට දාඩිය දමා වේදනාව ක්‍රමයෙන් අඩුවී යාම, යම් වේදනාවක් අත දිගේ එහා මෙහා දිවයනවා සේ දැනීම, පාදයේ වළලුකර සන්ධිය තඩිස්සි වීම, කඳුනැඟීමේ, පඩි නැගීමේදී අපහසුතාවය, වම් අතේ හිරියක් පැවැතීම, රාත්‍රී නින්දේදී හුස්ම ගැනීමේ අපහසුතාවය, නිතර බඩ පුරවා දැමුවා සේ දැනීම, පොඩි තැතිගැන්මකදී පවා හෘදය අසාමාන්‍ය සේ  ස්පන්දනය වැඩිවීම, හෘදයේ දැවිල්ලක් සමඟ මුඛයේ තිත්තගතිය, ඇඹුල් රසට ඔක්කාරයට ඒම, අන්ධකාර ගතිය යන ලක්ෂණ පහළවී ඇත්නම් ඔබට නුදුරේදීම හෝ හෘද රෝගයකට නතුවීමේ ඉඩකඩ පවතින බව වහාම දැනගත යුතුය. දැන් අපි බලමු මෙලෙස අප හෘදය ලෙඩ වීමට බලපාන කරුණු මොනවාද කියා, 

අධික රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝධි මට්ටම ඉතා අධික වීමත් මෙයට ප්‍රධානම හේතුවක් ලෙස දක්වන්නට පුළුවන. අපේ රුධිරයේ අඩු ඝනත්ව ලිපෝ ප්‍රෝටීන් මට්ටම වැඩිවූ විට ඒවා ගිහින් අපේ කිරීටක ධමණි හා අනෙකුත් ධමණි බිත්ති මත තැන්පත් වෙනවා. එම හේතුව නිසා ධමණි නාල කුහරයන් පටු කර දමන අතර, එවිට රුධිරය පරිවහනය කිරීමට අධික වෙහෙසක් දැරීමට සිදුවේ. 

අප හෘදය කුහරමය අවයවයක් හේතුවෙන් එයට අවශ්‍ය පමණ ව්‍යායාම නොලැබීමද අර පෙරකීසේම අති ව්‍යායාමය ආදී කරුණු නිසා එනම් ආතතිය නිසාද හෘදය වැඩියෙන් ස්පන්දනය වී හෘදය ලෙඩ කිරීමට බලපෑම් ඇති කරනවා . තවද මානසික උද්වේග ශෝක, ක්‍රෝධ,  බිය, ද්වේශ ආදී දස අකුසල කර්මයන්ට අයත් පාප කර්මද, ආහාරයට ගිජු බව හෙවත් ආහාර වැඩිපුර භෝජනය ද, ආහාර අල්ප භෝජනය ද කෑපිටම එම ආහාර දිරවීමට ප්‍රථම නැවත කෑමද, නිරන්තරයෙන් අධික ලෙස සිරුර වෙහෙසෙන වැඩකිරීමද, කය නොවෙහෙසා සිත පමණක් වෙහෙසමින් අධිකසේ තම ගතට සුව පහසුවම සපයමින් සුව පහසු ආසන ආදී දෑ පරිභෝජනය කරමින් වෙසීමද, අධික මෛථූනයද, තමාට හෘද රෝගයක් ඇත්නම් ඒ බව නිරත නිතර මෙනෙහි කරමින් සිතුවිලි වල නිමග්නව සිටීමද, පරම්පරාවෙන් හෘද රෝග පැවැත ඒමද , දුම් පානය, කාන්තාවන්ගේ බීජධාරා ඉවත් කිරීම, විවිධ වූ දන්ත රෝගයන්ගෙන් පීඩා විදීමද යන ක්‍රියා හා හේතූන් නිසා අපගේ හෘදය රෝගී කරවීමට මාර්ගය අප විසින්ම සකස් කරගනු ඇත. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>



subasetha

Comments