මතක වර්ධනයට උදවු කරන සුපිරි පළාව ගොටුකොළ

සැප්තැම්බර් 25, 2020

ගොටුකොළ යනු අපි කවුරුත් දන්නා හඳුනන මහඟු ගුණ ඇති පළාවකි. මැල්ලුමක් සලාදයක් හා කැඳ ලෙස ද භාවිත කරයි. 

ශාක අතර, විටමින් ඒ බහුලව අඩංගුය. කැල්සියම්, ප්‍රෝටීන්, යකඩ, පොස්පරස්, විටමින් ඒ, ජී, කේ සහ  මැග්නීසියම් ඉතා ඉහළ ලෙස අඩංගු වෙයි. ගොටුකොළ නිතරම ආහාරයට ගැනීමෙන් ලෙඩ රෝගවලින් වැළැකී සිටීමට ප්‍රතිශක්තිකරණය වර්ධනයට ඉවහල් වෙයි. ගොටුකොළ පත්‍ර, නටුව, මුල් හා සෑම අංගයක්ම ඖෂධ සඳහා යොදා ගැනෙයි. ආයුර්වේද ඖෂධයක් ලෙස ඉතාමත් ප්‍රයෝජනවත් ගොටුකොළ මුල් හා සමස්ත ශාකයම වියළා හෝ නැවුම් තත්ත්වයෙන් ඖෂධීය ප්‍රතිකර්ම සඳහා පාවිච්චි කරනු ලැබේ.වියළා වායුරෝධක වීදුරු බෝතල්වල අසුරා තැබීමෙන් අවශ්‍ය වේලාවට පාවිච්චියට ගැනීමට හැකියි.

ඖෂධීය ගුණ

ඖෂධීය ගුණයෙන් ඉහළ වෙල්වල හැදෙන හීංගොටුකොළයි, ගොටුකොළ ශාකයේ ඖෂධීය

ගුණය වැඩියෙන්  ගත හැකි වන්නේ ගොටුකොළ අමුවෙන් භාවිත කිරීමෙනි. ශරීරගත ලෙඩ රෝග බොහොමයකට හෙළ ඔසුවකි. බිළිඳුන්ගේ කැස්සට, ධාරණ ශක්තිය වැඩි කිරීමට, පණු රෝග, ශරීරයේ දැවිල්ල, සෙම් රෝග ආදී රෝග බොහෝමයක් සුව කිරීමට ගොටුකොළ හේතුවනු ඇත. ඇස්වල පෙනීම මෙන්ම සම පැහැපත් කිරීමට ද බලපාන ඖෂධයකි. කුඩා දරුවන්ගේ කටහඬෙහි මිහිරි බව රැක ගැනීමට ද උදවු වෙයි. කුඩා දරුවන් සිටින කිරිදෙන මවුවරුන්ගේ මවුකිරි වැඩි කිරීමට ද ගොටුකොළ හේතු වෙයි. මුත්‍ර වර්ධකයක් සේ ක්‍රියාත්මක වන ගොටුකොළ මුත්‍ර මාර්ගයේ ආසාදන වළක්වාලීමට මෙන්ම උපදංශය, රක්තවාතය, ලාදුරු රෝගය, අතීසාරය, දියවැඩියාව, ඇදුම, ප්‍රදාහය, අක්මා රෝග වැනි රෝග රැසක් සුව කිරීමට හා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට ඉතාම ගුණදායකය. කෑම රුචිය වර්ධනය සඳහා ගොටුකොළ යුෂ පානය ඉතාම සුදුසුය.

මොළයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි.

ගොටුකොළවල ඇති මතකය වඩවන ගුණය ඉතාම ඉහළය. එනම් දේශීය වෙදකමට අනුව ගොටුකොළ ලොකු කුඩා සෑම අයකුගේම ධාරණ ශක්තිය සහ ස්මරණ ශක්තිය, බුද්ධිය වර්ධනය කරයි. ඒ නිසාම අධ්‍යාපන කටයුතුවල නියැළෙන දරුවන්ට මතක ශක්තිය වැඩි කර ගැනීමට

ගොටුකොළ නිතර ආහාරයට ගැනීම ඉතාමත් ගුණදායකයි. අපේ අත්තම්මලා දරුවන්ට උදෑසනට ගොටුකොළ මිටක් අඹරා ඉස්ම පෙවීමට පුරුදුව සිටියේ මෙම වටිනා ගුණය දැන සිටි නිසාය. ගොටුකොළ ඉස්ම එළකිරි සමඟ පානය කිරීම තවත් ගුණදායකය. මතක තබා ගන්න මේ වටිනා ගුණාංගය බහුලව පවතින්නේ හීංගොටුකොළ වල පමණකි.

ස්නායු රෝග සුවපත් කරයි.

වයස්ගත වීමේදී ඇතිවන මතක ශක්තිය හීන වීමේ රෝගයට ද ගොටුකොළ ගුණදායී ඖෂධයකි. උන්මාදය, මීමැස්මොරය රෝග සඳහා ඉතා ගුණදායකයි. එසේම ස්නායු රෝග වලින් පීඩා විඳීන රෝගීන්, මානසික රෝගවලින් පීඩාවිඳීන රෝගීන් ගොටුකොළ මැල්ලුමක්, සලාද ලෙස, කැඳ වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් රෝග සුවපත් කර ගැනීමට උපකාරි වෙයි.

එනම් එම රෝගීන් සඳහා ගොටුකොළ යුෂ මේස හැඳී දෙකකට එළඟිතෙල් මේස හැඳී දෙකක් මිශ්‍ර කර දිනකට එක් වරක් බැගින් දිනපතා පානය කිරීමෙන් එම රෝග සඳහා සුවය ලැබේ. පටකවලට අදාළ ස්නායු හෙවත් ලේ නහර වර්ධනය කිරීම නිසා මොළේ ක්‍රියාකාරීත්වය වැඩි කරයි. මනසේ පීඩනය, මානසික ව්‍යාකූලතාව දුරු කරයි.

පීනස් රෝගීන්ට ගුණයි.

ශීර්ෂ රෝග හෙවත් හිස ආශ්‍රිත රෝග සඳහා ගොටුකොළ වටිනා ඖෂධයකි. පීනස රෝගීන් සඳහා ගොටුකොළ කොටා මිරිකා යුෂ කෝප්පයක් පානය කිරීම ඉතාමත් ගුණදායකය. එසේම පීනසයෙන් පීඩා විඳීන රෝගීන් සඳහා ගොටුකොළ වැඩිපුර රතුලූනු සමඟ සලාද ලෙස සතියකට දින හතරක් හෝ පහක් ආහාරයට ගැනීමෙන් එම රෝගී තත්ත්වය මඟහරවා ගත හැකියි.

රුධිර සංසරණයට හිතකරයි.

ශරීරයේ රුධිරය සංසරණ ක්‍රියාවලිය ක්‍රමවත් කරයි. එම නිසා අධිරුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග සඳහා හොඳ ආහාරයකි. රුධිර සංසරණ පද්ධතිය කෙරෙහි ඉතා හොඳ බලපෑමක් ඇති කළ හැකි ඖෂධීය පැළෑටියක් ලෙස ගොටුකොළ හඳුනාගෙන ඇති අතර, අධි රුධිර පීඩන තත්ත්වයට ප්‍රතිකාර වශයෙන් යොදා ගනු ඇත. ශිරා සහ කේශනාළිකා හරහා ශරීරය පුරා ඉතා හොඳ පීඩනයකින් යුතුව රුධිරය ගලා යෑමකට ගොටුකොළ හේතුවනු ඇත.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 



subasetha

Comments