ආමාශගත රෝග – 2 - ලිපිය

මළ බද්ධය, පරිකර්පිකා සහ බඩේ දැවිල්ලට පිළියම්
සැප්තැම්බර් 4, 2020

අධික මළ බද්ධයෙන් සෑදෙන පරිකර්පිකා රෝගය හටගනු ලබන්නේ ගුද මාර්ගයේ අධික වේදනාව හා අධික මළ බද්ධය හේතුවෙනි.බඩ පිපුම්, වේදනාව හා මළ බද්ධය වසර ගණනාවක් තිස්සේ පැවතීමෙන් පසු ඇතිවන පරිකර්පිකා මළ පිට කිරීමේදී මළ මාර්ගය ආශි‍්‍රතව කිසියම් සීරුමකට ලක් කරවීම පාදක කොටගෙන මළ මාර්ගය ආශි‍්‍රතව කුඩා තුවාල හටගැනීමක් සිදු කරවයි. මෙය රෝගියාට මහත් වේදනාකාරි තත්ත්වයක් ගෙන දෙවන්නකි. 

ප්‍රථමයෙන්ම මළ බද්ධය නමැති රෝගී අවස්ථාව පිළිබඳව සලකා බැලීමේදි එය ඇතිවීම සඳහා හේතු කිහිපයක් බලපෑ හැකියි. ඒවා අතුරින් වර්තමානයේ තදින් පවත්නා ගැස්ට්‍රයිටීස් හා ජීර්ණ පද්ධතිය ආශි‍්‍රතව ඇති විවිධ දුර්වලතා මේ සඳහා බලපෑම් ඇති කරවයි. ළමා අවධියේ පටන්ම සිරුරේ හටගනු ලබන ඇතැම් ක්‍රියාකාරකම් ද මලබද්ධය ඇතිවීමට හේතු විය හැකි ය. 

දෙමාපියන් විසින් ළමුන්ට විවිධ බලපෑම් කරමින් සිරුරේ අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ආහාර ද්‍රව්‍ය ලබාදීම තුළින් ජීර්ණ පද්ධතියේ විවිධ අක්‍රමිකතා ඇතිවීම හේතුකොටගෙන මෙම මලබද්ධය පසුකාලීනව ඇතිවිය හැකි ය. 

විශේෂයෙන්ම මළ බද්ධය සඳහා අප විසින් ගනු ලබන ආහාර ප්‍රබල බලපෑමක් ඇති කරවනු ලබන බව කිව යුතුයි. දෛනික කාර්ය බහුලත්වය හේතුවෙන් ක්ෂණික කෑම, කෙටි කෑමවලට බොහෝ පිරිසක් යොමු වී සිටිති. එදා අපේ ආහාර වේලේ පැවති කෙඳි හෙවත් තන්තු බහුල ආහාර එනම් එළවළු, අල වර්ග, පලා වර්ග බොහෝවිට අද වන විට අප කෙරෙන් ඈත් වී ඇත. ඒ වෙනුවට අද පිටි කෑම හා තෙල් කෑම,අපේ අහාර වේල සම්පූර්ණ කරන අතර එහි අහිතකර බලපෑම වශයෙන් මළ බද්ධය ඇතිකරනු ලබයි. එමෙන්ම කෝපි හා චොකලට් නිතර ආහාරයට ගැනීම ද මළ බද්ධය ඇතිවීමට ප්‍රධාන හේතුන් ලෙස සැලකිය හැකි ය. 

මළ බද්ධය වශයෙන් සැලකෙන්නේ මළ පිට කිරීමේදී ඇතිවන අක්‍රමවත් තත්ත්වයකි. ඇතැම් අයට දින 2,3,4,5,6 කට වරක් මළ පිට කිරීම සිදුවන්නේ මෙම මළබද්ධය නිසාවෙනි. 

මීට අමතරව බඩ පුරවා දැමීම, හිස කැක්කුම, නොරිස්සුම් ස්වභාවය, මුඛයෙන් දුගඳක් පිටවීම, මුහුණ අවපැහැවීම, සම දුර්වර්ණවීම, තුනටිය හන්දිපත් වේදනාව ආදි ලක්ෂණයක් ද මලබද්ධය හේතුකොටගෙන ඇති වෙයි. මෙම අහිතකර තත්ත්වයන් පිළිබඳව නිසි සැලකිල්ල යොමු කොට ක්‍රියා නොකළහොත් එම තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වී මහා රෝග තත්ත්වයක් කරා රෝගියා ගෙන ගොස් අර්ශස් ,භගන්දරා පවා වැළඳිය හැකියි. 

අධික මළ බද්ධයෙන් සෑදෙන පරිකර්පිකා රෝගය හටගනු ලබන්නේ ගුද මාර්ගයේ අධික වේදනාව හා අධික මළ බද්ධය හේතුවෙනි.බඩ පිපුම්, වේදනාව හා මළ බද්ධය වසර ගණනාවක් තිස්සේ පැවතීමෙන් පසු ඇතිවන පරිකර්පිකා මළ පිට කිරීමේදී මළ මාර්ගය ආශි‍්‍රතව කිසියම් සීරුමකට ලක් කරවීම පාදක කොටගෙන මළ මාර්ගය ආශි‍්‍රතව කුඩා තුවාල හටගැනීමක් සිදු කරවයි. මෙය රෝගියාට මහත් වේදනාකාරි තත්ත්වයක් ගෙන දෙවන්නකි. 

විශේෂයෙන්ම මෙම වේදනාකාරි තත්ත්වය ඇති කරවන්නේ මළ පහ කිරීමේදීය. ඇතැම් විටක මෙම වේදනාව මළ පහ කිරීමේ අවස්ථාවේදි පමණක් නොව දවස පුරාම පැවතිය හැකි ය. මෙහිදී රෝගියා මහත් උදාසීන බවකට ද පත් කරවනු ඇත. 

බටහිර වෙදකමට අනුව මෙයට ප්‍රතිකාරය ශල්‍යකර්මය වුවත් ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම අනුව ශල්‍ය කර්මයකින් තොරව රෝගය නිට්ඨාවටම සුව කළ හැකිය. ඒ අනුව උදර අභ්‍යන්තරික තත්ත්වය කෙරෙහි ද වෛද්‍යවරයා මූලික සැලකිල්ල යොමු කර ක්‍රියා කෙරේ. 

මළ බද්ධය හේතුවෙන් ඇතිවන පරිකර්පිකා රෝගයේදී බඩ පිපුම, සමඟ මළ බද්ධය, උදරගත වේදනාව, ශරීරය කෙට්ටුවීම, ආහාර දිරවීමේ අපහසුතාවය, මුත්‍රා ආබාධ සහ තෙහෙට්ටුව වැනි රෝග ලක්ෂණ පෙන්වයි. ගුද මාර්ගය කෙළවර සහ බඩවැල් ආශි‍්‍රතව සිරීම් තුවාල සහ සැරව එක්වීමෙන් ගුද මාර්ගය කෙළවර කිසියම් හිරවීමේ ගතියක් ද මතු කරවිය හැකිය. එපමණක් නොව කල්ගතවීමෙන් පසු මෙම රෝග තත්ත්වය භගන්දරා රෝගය දක්වා වර්ධනය වන්නට ද ඉඩ ප්‍රස්ථා ඇති බව සැලකිය යුතුයි. 

ප්‍රතිකාර වශයෙන් ගස්වල කොළ, පොතු තැම්බූ වතුර, විවිධ තෛල වර්ග සහ දේශීය ශාක සාර අඩංගු ආලේපන වර්ග ආයුර්වේද ප්‍රතිකාර තුළ දක්වා ඇත.

දේශීය වෙදකම උපයෝගී කර ගනිමින් ගුද මාර්ගයේ කෙළවර සිට බඩවැල් සිරීම් තුවාල සඳහා ලබා දෙන තෙල් බෙහෙත් ඖෂධ අභ්‍යන්තර සිරීම් තුවාලද ඇතුළත්ව සියලු තුවාල සඳහා ලබා දෙනු ලබයි. ඒවගේම රෝගියාගේ තුවාල වේදනා සමනය කරනවාත් සමඟම මළ බද්ධය යළි ඇති නොවීමට ද ආයුර්වේද ප්‍රතිකාර සිදු කරනු ලැබේ. 

විශේෂයෙන්ම අවශ්‍ය ප්‍රතිකාර කිරීමේදී කෙඳි සහිත ආහාර වර්ග බහුලව ලබාදීම , තෙල් කෑම හා පිටි කෑම වර්ග අවම කිරීම, මොණරකුඩුම්බිය කැඳ ඇතුළු විවිධ කොළ කැඳ වර්ග රෝගියාට ලබා දෙනු ඇත. 

අප සියලු දෙනා පාහේ නියමිත වේලාවට ආහාර නොගැනීම නිසා ඇතිවන රෝගයක් ලෙස බඩේ දැවිල්ල සඳහන් කළ හැකි ය. කෙසේ වෙතත් බඩ දැවිල්ල ඇති අයකු ජලය වැඩිපුර පානය කිරීම අවශ්‍ය කෙරේ. දියබත් හිස්බඩ ආහාරයට ගැනීම අතිශය ගුණදායකයි. 

එවගේම පිට පොත්ත ඉවත් කරන ලද කෝමාරිකා මදය මේස හැඳි 02 ක් උදේ සවස ආහාර ගන්නට පෙර ගැනීම ඉතා සුදුසුයි. කීකිරිඳිය යුෂ පිරිසුදු එළකිරි සමඟ මිශ්‍ර කර පානය කිරීම හෝ එළකිරි කෝප්ප භාගයකට කීකිරිඳිය යුෂ මේස හැඳි 02 ක් මිශ්‍ර කර උදේ සවස පානය කිරීම ද බඩේ දැවිල්ල සඳහා ඉතා ගුණදායකයි. 

ඊට අමතරව, කොළ කැඳ, කුරක්කන් කැඳ , හබල පෙති කැඳ, තණහාල් කැඳ, කිතුල් පිටි කැඳ. මෙනේරි කැඳ,ආදි කැඳ වර්ගත් ඉතා සුදුසුයි. 

මෙහිදී වැදගත්ම දෙයක් වශයෙන් සඳහන් කළ යුත්තක් වන්නේ රෝගී නිරෝගී සියලු දෙනාම පාහේ මාස 03 කට වරක්වත් පණුූ බෙහෙත් බොනවා නම් මෙම රෝග බොහෝමයක් හට නොගන්නා බවයි. 

බඩේ දැවිල්ලට – නෙල්ලි, ආඩතෝඩා , බාර්ලි තැම්බූ වතුර සීනි දමා උදේ සවස පානය කරන්න 

ඊටම – එළකිරි, තැඹිලි හෝ කුරුම්බා බීමට ගන්න. 

ඊටම – තැඹිළි, කුරුම්බා ගෙඩියක් ගෙන ඇස්ස කපා ඉරමුසු, සුදුහඳුන්, සැවැන්දරා මුල් ආදිය සමව ගෙන කෙටා එම ගෙඩියේ අඩස්සිකර සවස සාදා තබා පසුදින උදේට ගෙන පෙරා බී ඇල්දිය නෑමෙන් බඩේ සියලු දැවිලි රෝග සුව වෙයි. 

ඊටම – රසකිඳ, කොහොඹ පොතු, දුම්මෑල්ල තම්බා ගත් වතුර සීනි දමා බොන්න 

ඊටම – බෙලිදළු, වී පොරි, කබලෙන් බැදපු  කොත්තමල්ලි, තැම්බූ වතුර බොන්න 

ඊටම – රණවරා පොතු, කබලෙන් බැදපු කොත්තමල්ලි, තැම්බූ වතුර පානය කරන්න. 

ඊටම – තැඹිලි ගෙඩියක ඇස්ස කපා එයට සුදුහඳුන් කුඩු දමා රැයක් තබා උදේට බොන්න 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 



subasetha

Comments