හිසරදයක් වූ හිස කැක්කුම

ජූලි 24, 2020

ශරීරයේ අංගෝපාංගයන් අතරින් හිසට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. එබැවින් එදිනෙදා සාමාන්‍ය කටයුතුවලදී පවා හිස රැක ගැනීමට අප විශේෂයෙන් වගබලා ගනියි. හිසට ඇතිවන රෝගපීඩා විවිධාකාර වෙයි. හිසකෙස් ඇතුළු හිසෙහි පවතින ඇස්, කන් නාසා ආදියෙහි ඇතිවන රෝග පීඩාද හිසෙහි රෝග ලෙස ඇතැමෙක් සැලකිය හැකි ය. 

මෙය කුමන ආකාරයේ පීඩාවක් වුවත් කායික හා මානසික රෝග ලෙස දෙයාකාරයකට දැක්විය හැකියි. හිසෙහි ඇති අංගෝපාංගයන්හි රෝගපීඩා හැර අන් පීඩාවන් පිළිබඳව අපි මෙහිදී අවධානය යොමු කරමු. ඇතැම් අවස්ථාවන්හිදී රෝගියාට ඇතිවන ශීර්ෂ රෝගය සැකෙවින්ම කායික රෝග තත්ත්වයක්ද නැතහොත් මානසිකමය තත්ත්වයක්ද යන්න රෝගියාට වටහාගත නොහැකි තත්ත්වයට පත්වේ. එවිට සුදුසු වෛද්‍යවරයෙකු වෙත යොමු වී අදාළ තත්ත්වය තේරුම්කරගත යුතු ය. 

සාමාන්‍ය උණක දී, විශේෂයෙන් වෛරස් ආසාදනවලදී, අසාත්මිකතාවලදී, ප්‍රතිශ්‍යාව, කැස්ස ආදී සුළු සුළු රෝග තත්ත්වයන් හමුවේද රෝග ලක්ෂණයක් ලෙස හිස කැක්කුම් ඇතිවේ. ඒවා නිසි ප්‍රතිකාර හා නිසි උපදෙස් පිළිපැදීමෙන් ඉතා ඉක්මනින් සුවකරගත හැකිවෙයි. අමතරව වැටීම, හිසට පහර වැදීම්, බර ඉසිලීම් හමුවේද ඇතිවන හිස කැක්කුම්(බරපතල නොවන අවස්ථාවලදී) අවශ්‍ය උපස්ථානවලින් පහසුවෙන් බැහැර කළ හැකි ය. 

වර්තමානයේ නිතර ඇහෙන කොරෝනා වෛරසය හමුවේද හිස කැක්කුම ඇති වේ. ඒ සමඟ උණ, කැස්ස, ප්‍රතිශ්‍යාව, උගුරේ අපහසුතාවය යන ලක්ෂණ හා විශේෂයන් සැක පහළ විය හැකි ඉතිහාසයක් ඇත්නම්, වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත දැනුම් දිය යුතු ය. එසේ කිරීමෙන් ඔබ රැකේවී, ඔබේ පවුල සමගම හා මුළු සමාජයම රැක ගැනීමේ මහඟු ගෞරවයෙහි දායකත්වයක් ඔබටද ලබාගත හැකි වෙයි. 

මීට අමතරව අධික වෙහෙසවීම, නිදි වැරීම, ශෝක කිරීම, කඳුළු වැගිරීම, විෂාද  තත්ත්වයන් ආදී මානසික පීඩා නිසා ද හිස කැක්කුම් ඇතිවිය හැකියි.  එවිට ඔබට අවශ්‍ය නම් වෛද්‍යවරයෙකු වෙත යොමු වී ඔහු තීරණය කරන ඖෂධ හෝ උපදෙස් ලබාගත හැකියි. නැතහොත්  මානසික පීඩාව, අසහනය, දුරු කරන ක්‍රියාකාරකම් නැතහොත් මානසික විවේකය ලැබෙන දෑ තුළින්ද ආයුර්වේදය තුළ ඇති හිස ගැල්ලුම්’’’, තෛල අභ්‍යංගය, තෛල හිසට යොදා සම්භාහනය කිරීම, ශිරෝධාරා වැනි ක්ෂුද්‍ර කර්මයන් ඔස්සේද එම පීඩාවන් වඩාත් හොඳින් සමනය කරගත හැකි වෙයි. 

ශිරෝ රෝග, ශිරඞශූල, ශිරෝහිතාප, ශිරෝවේදනා, හිසරදය, ඔළුව කැක්කුම යනාදී නාමයන් රැසකින් හිස කැක්කුම හඳුන්වනු ලබයි. හෙඩේක් යනු ඉංගී‍්‍රසි වහරයි. මෙය යම් යම් රෝගයන්හි රෝග ලක්ෂණයක් ලෙස හෝ ස්වක්ෂේත්‍ර රෝගයක් ලෙස ද ඇතිවිය හැකි යි. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>



subasetha

Comments